2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අක්මාවට ලෙඩ දමන හෙපටයිටීස්

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 1055

හෙපටයිටීස් කියන්නේ ඉතාම පුළුල් පරාසයක විසිරුණු රෝග ගණනාවක් කියලා හඳුන්වන්න පුළුවන්. පොදුවේ මෙය අක්මාවේ පටක ඉදිමීමට ලක්කරමින් එහි ක්‍රියාකාරීත්වයට බාධා කරන රෝගයක් විදිහට හඳුනාගත හැකි වුණත් මෙහි විවිධ ප්‍රභේද බෝ වන ආකාරය, ක්‍රියාකාරීත්වය, හානිදායක බව, අවශ්‍ය ප්‍රතිකාර වගේ බොහෝ අංශවලින් වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවේ නිතරම කතාබහට ලක්වෙන, හැමෝම වගේ දන්නා රෝගයක් නොවුණත් හෙපටයිටීස් කියන්නෙත් ඇත්තෙන්ම සැලකිය යුතු ගැටලුවක් බවට පත් වී තිබෙන රෝගයකි. හෙපටයිටීස්වල විවිධාකාර ප්‍රභේද ගණනාවක් තියෙනවා වගේම ඒවායින් ඇතැම් ඒවා ජීවිත තර්ජනයක් ඇති කරන්නට පවා සමත් වෙනවා. 

හෙපටයිටීස් ආසාදනය මගින් ඍජුවම අක්මාවට විශාල බලපෑමක් සිදුවෙනවා. අධික ලෙස අක්මා සෛල මියගොස් අක්මාවේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කරන්න මේ වෛරසවලට හැකියි. හෙපටයිටීස් වෛරස මගින් ඍජුවම අක්මා සෛල විනාශ නොකළත් අක්මාව ආසාදනය වීමත් සමගම අපේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්මාවේ ආසාදිත සෛල ආගන්තුක ද්‍රව්‍යයන් ලෙස සලකා විනාශ කර දමන්න පටන් දන්නවා.

මේ අන්දමට කාලාන්තරයක් තිස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ අක්මාව අතර සටන පවතින්න පුළුවන්. මේ විදිහට හානියට ලක් වන සෛල ප්‍රමාණය ප්‍රතිස්ථාපනය නොවී ගොඩගැසීම නිසා කාලයක් යනකොට අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වී යන්න පුළුවන්. ඒ තත්ත්වයට ගියවිට අනිවාර්යයෙන්ම අක්මා බද්ධයක් කිරීමට සිදුවෙනවා. ඇතැම්විට අක්මාවේ පිළිකා තත්ත්ව ඇතිවීමට, වෙනත් රෝග උත්සන්න වෙන්න වගේම සමහර විට මරණය පවා ගෙන දෙන්නත් හෙපටයිටීස් ආසාදනයකට හැකියි.

හෙපටයිටීස් රෝගය පැතිරී යන්න ප්‍රධානතම හේතුව වෛරස වුණත් අධික ලෙස මත්පැන් පානය (දිනකට වීදුරැ තුනකට වඩා නිරන්තරයෙන්ම) වගේම වෙනත් රෝගවල අතුරු ප්‍රතිඵලයක් ලෙසත් විවිධ විෂදායක සංඝටක ශරීර ගතවීම සහ ඇතැම් බෙහෙත් වර්ග විෂවීම (විශේෂයෙන්ම පැරසිටමෝල් අධික මාත්‍රා නිතර ගැනීම), ප්‍රතිශක්ති පද්ධතියේ ගැටලුත් (විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්මා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීම) විවිධ හෙපටයිටීස් ප්‍රභේද වැළඳෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේම අධික මත්පැන් භාවිතයට අමතරව වෙනත් හේතු නිසා අක්මාවේ මේද අධික ලෙස තැන්පත් වීම නිසා ඇති වන ඇල්කොහොල් රහිත මේදයආශ්‍රිත හෙපටයිටීස් ද හෙපටයිටීස් ප්‍රභේදයක් ලෙසයි සැළකෙන්නේ. මීට අමතරවත් තවත් හෙපටයිටීස් ප්‍රභේද ගණනාවක්ම තිබෙනවා.

රෝග ලක්ෂණ 

සෙංගමාලය හෙවත් සම සහ ඇස් කහ පැහැ වීම.

හෙපටයිටීස් ආසාදනයෙන් කාලයක් යනතුරුම රෝග ලක්ෂණ දකින්න නොලැබෙන්න පුළුවන්. කෙසේ නමුත් ඇතැම් අයට සෙංගමාලය (කහ උණ) හෙවත් jaundice තත්ත්වයේ ලක්ෂණයක් වන සම සහ ඇස්වල සුදු ඉංගිරියාව කහ පැහැ ගැන්වීම දකින්න ලැබෙනවා. මීට අමතරව උදරයේ නොනවතින වේදනාව, දිගුකාලීන ආහාර අරැචිය, නිතරම වෙහෙසක් හා ශක්තිය අඩු බවක් දැනීම, බඩ සහ දෙපා ඉදිමීම, නිතරම දුඹුරැ පාටට හුරැ තද පැහැයෙන් මුත්‍රා පිටවීම, මළපහ ඉතාම ලා පැහැයක් ගැනීම වගේ රෝග ලක්ෂණ ඇති වනවා.  

හෙපටයිටීස් ආසාදනයක් තිබෙනවාද යන්න රැධිර පරීක්ෂාවක් මගින් දැනගත හැකියි.  

වෛරස මගින් බෝ වන හෙපටයිටීස්

වෛරස් මගින් බෝ වන හෙපටයිටීස්වලත් අනු කාණ්ඩ 5 ක් තිබෙනවා. ඒවා තමයි පිළිවෙලින් හෙපටයිටීස් A, හෙපටයිටීස් B, හෙපටයිටීස් C, හෙපටයිටීස් D සහ හෙපටයිටීස් E. මේවා අතරින් හෙපටයිටීස් A සහ E කාණ්ඩ බෝ වීම ප්‍රධාන වශයෙන්ම සිදුවෙන්නේ වෛරසය අඩංගු විය හැකි ජලය සහ ආහාර හරහායි. හෙපටයිටීස් B සහ C දෙකම රැධිරය සහ ශාරීරික තරල මිශ්‍රවීම මගින් බෝවන රෝග දෙකක්. හෙපටයිටීස් D වල විශේෂත්වය තමයි එය වැළඳීම සිදුවන්නේ දැනටමත් හෙපටයිටීස් B ආසාදනය වී සිටින අයට පමණක් වීම.

හෙපටයිටීස් A

ශ්‍රී ලංකාව තුළ හෙපටයිටීස් A ආසාදනය තරමක් වැඩිපුර දකින්න ලැබෙනවා. හෙපටයිටීස් A වලට තවමත් නිසි ප්‍රතිකාරයක් නොමැතිවීම මෙයට එක හේතුවක්. හෙපටයිටීස් A වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රතිදේහය කුඩා දරැවන් තුළ පවතින ප්‍රතිශතයේ යම් අඩුවීමක් තිබෙන බව තමයි දකින්න ලැබෙන්නේ. 2001 දී සිදුකරන ලද පර්යේෂණයට අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරැවන් 288 කින් 33 දෙනෙකුගේ රැධිරයේ පමණක් මේ ප්‍රතිදේහය ඇති බව සොයාගෙන තිබුණා. මෙය ශ්‍රී ලංකාව තුළ වරින් වර හෙපටයිටීස් A පැතිරී යාමට හේතු වෙන්න ඉඩ තිබෙනවා. නීරෝගී පුද්ගලයන් හැමෝටම වගේ මෙයින් සුවය ලබන්නට හැකි වුණත් ඇතැම් වෙනත් රෝග තත්ත්ව උත්සන්න වීමේ අවදානම නම් තිබෙනවා.

හෙපටයිටීස් B

හෙපටයිටීස් B තරමක් භයානක රෝගයක්. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එය දිගු කාලීන තත්ත්වයට ගිය පසුව සුව කරන්නට නොහැකි වීමයි. කොහොම නමුත් හෙපටයිටීස් B වලින් ආරක්ෂා වීමට එන්නතක් පවතිනවා. 2003 අවුරුද්දේ සිට ශ්‍රී ලංකාව තුළ හෙපටයිටීස් B එන්නත සියලුම දරැවන්ට නොමිලේම ලබාදීම ආරම්භ කෙරැණා. මේ නිසා සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව පුරාම බැලුවාම හෙපටයිටීස් B අවදානම තියෙන්නේ බොහොම අඩු මට්ටමක බව පෙනෙන්න තිබෙනවා. හෙපටයිටීස් B එන්නත අනිවාර්යයෙන්ම ලබාගැනීම තමයි ඉතාම සුදුසු වෙන්නේ.

හෙපටයිටීස් C

හෙපටයිටීස් C කියන්නේ ඉතාම භයානක රෝගයක්. නිසි ප්‍රතිකාර නොලැබුණොත් ඉතා පහසුවෙන්ම මෙය දිගුකාලීන අක්මා ආබාධවලට හේතු වෙන්න පුළුවන්. හෙපටයිටීස් C ආසාදනය දිගුකාලීන තත්ත්වයට යාමේ අවදානම 85% කටත් වඩා ඉහළයි. අක්මා ආබාධවල විනාශකාරීම අවස්ථාවක් වන සිරෝසීස් (cirrhosis) සහ අක්මාවේ පිළිකා පවා අතුරැ ආබාධ ලෙස ඇති කරන්න කල්පවතින තත්ත්වයට පත් වූ හෙපටයිටීස් C ආසාදනයකට ඉහළ හැකියාවක් තිබෙනවා. කෙසේ නමුත් මුල් තත්ත්වයේදී ප්‍රතිකාර මගින් සුවකරන්න තිබෙන හැකියාව නිසා මේ අවදානමෙන් බේරෙන්න හැකියාව තිබෙනවා. හෙපටයිටීස් E ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ ඉතාම සුළු වශයෙන්.

 සුගත්