2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ජාන විකෘතියෙන් හැදෙන උපන්ගෙයි ලෙඩ!

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 1250

අපිට නොයෙක් ක්‍රමවලට ලෙඩරෝග හැදෙනවා. ඒවා බෝවෙන රෝග සහ බෝ නොවෙන රෝග හැටියට වෙන්කරලා තියෙනවා. අපට ඇතිවන බෝවන රෝගවලට හේතුව පිටතින් සිරුරට ඇතුළුවන බැක්ටිරීයා, වෛරස වගේ ආගන්තුක විෂබීජ. බෝ නොවන රෝග බොහෝවිට අපේම වැරදි චර්යා රටා නිසා තමා හටගන්නෙ. ඒ වගේම හදිසි අනතුරැ නිසාත් ලෙඩ හටගන්නවා. නමුත් මේ අතර සමහරක් උපතේදීම ඇතිවන රෝග දකින්නට පුළුවනි. අපි නිකම් කතාවට කියන්නෙ, ලබාඋපන් හැටි කියලා. වෛද්‍ය විද්‍යාත්මකව මේවා හඳුන්වන්නේ ජානගත රෝග ලෙසයි. උපතේදී අයෙකුට හිමිවන ජාන එකතුවේ යම් යම් දුර්වලතා හෝ විකෘති හේතුවෙන් එවැනි රෝග හටගන්නවා. ඒවා ඉතා කලාතුරකිනුයි ඇති වෙන්නෙ. නමුත් ඒ නිසා විඳින්න වන අපහසුතාව සුළු පටු නෑ. ගියවර අපි දේශය පාඨක ඔබට මේ වගේ රෝග 2ක් ගැන කිව්වා. අද මේ ලිපියෙන්ද අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ එවැනි ජානගත රෝග කිහිපයක් පිළිබඳ තොරතුරුයි.

ජානගත රෝග ගැන සැලකීමේදී මතක තබා ගතයුතු කරුණක් නම් ඒවා බහුතරයක් ඇතිවන්නේ එක් ජානයක සිදුවන විකෘතිභාවයක් නිසා බවයි. කෙසේ නමුත් වඩා බලවත් රෝගාබාධ ගෙන දෙන ජානගත රෝග ඇතිවීමට ජාන කිහිපයක විකෘතිතා හේතු වෙනවා. තත්ත්වය මීටත් වඩා දරුණු වන්නේ සම්පූර්ණ වර්ණදේහයක් විකෘති වීමෙනුයි. මයිටකොන්ඩ්‍රියා විකෘතිතා නිසා ඇති වන සමහර රෝගද ජානගත කුලකයට අයත් ලෙස සැලකෙනවා. දැන් අපි මේ එකිනෙක ගැන විස්තර දැන ගනිමු. 

එක් ජානයක විකෘතිය නිසා ඇති වන රෝගාබාධ

දෑකැති සෛල රක්තහීනතාව, වර්ණ අන්ධතාව, හීමෝෆීලියාව, තැලසීමියාව වැනි රෝගාබාධ මේ ආකාරයට ඇතිවන ජානගත රෝගයන්ය.

ජාන කිහිපයක විකෘතිය නිසා ඇති වන රෝගාබාධ

මේවා හටගන්නේ ජාන දෙකක් හෝ කිහිපයක විකෘතිතා නිසායි. මේ හටගන්නා රෝගාබාධ සමහරක් අඩු වැඩි වශයෙන් සමාජයේ දක්නට ලැබෙන, සුලභ රෝගාබාධ ලෙස සැලකෙනවා. උදාහරණ වශයෙන් පියයුරු පිළිකාවලට නැඹුරැතාව දක්වන ජාන විකෘති ගැන පෙන්වා දිය හැකියි.

ස්ථුලතාවත් එලෙස ප්‍රවේණිකව පැමිණිය හැකි මුල්පෙළේ රෝගයක්. බහු ජාන  විකෘතිතා නිසා යමෙක් හෘදරෝග, අධි රුධිර පීඩනය, ආතරයිටීස්, දියවැඩියාව, පිළිකා වැනි රෝගවලට ගොදුරු වීම සඳහා දක්වන නැඹුරැතාවද ඉහළයි. කෙතරම් ආහාර පාලනය කළත්, ව්‍යායාමවල නිරත වූවත් ස්ථුලභාවය අඩුකර ගැනීමට අපහසුතා ඇති පුද්ගලයින් සමාජයේ හමුවෙනවා. මෙයට හේතුවත් බොහෝ විට ඔවුන්ගේ උපතින්ම පැවත එන බහු ජාන විකෘතියක් විය හැකියි.

වර්ණදේහවල ඇති වන විකෘතිතා නිසා හටගන්නා රෝග

ජාන එකතුවක් වන ඩී.එන්.ඒ. හා ප්‍රෝටීනවලින් සෑදී ඇති වර්ණදේහවල ඇතිවන විකෘතිතා නිසාද විවිධ රෝගාබාධ ඇති වෙනවා. කවුරැත් දන්නා ප්‍රධානම නිදසුන  හැටියට ඩවුන්ස් සහසාධකය Down syndrome (DS) සහිත දරුවන් පෙන්වා දෙන්න හැකියි. ඩවුන්ස් සහ සාධකය සහිත දරුවන් බිහිවන්නේ 21 වන ජානයේ වර්ණදේහ යුගලක් වෙනුවට ත්‍රිත්වයක් ඇතිවීම නිසායි. මේ ආකාරයෙන් ඇති වන තවත් සුප්‍රසිද්ධ රෝගාබාධ හැටියට ටර්නර් සහසාධකය හා ද්වීලිංගික ලක්ෂණ ඇති කරන ක්ලයින්ෆෙල්ටර් සහසාධකය හඳුන්වාදිය හැකියි.

මයිටකොන්ඩ්‍රියාවල විකෘතීන් නිසා ඇති වන රෝගාබාධ

මිනිස් සිරුර සැදී ඇති සෛලවල ශක්ති බලාගාරය හැටියට මයිටකොන්ඩ්‍රියා සැලකෙනවා. සෛල තුළ ජලය වැනි ප්ලාස්මයේ විසිරි පවතින කුඩා ගෝලාකාර හෝ යෂ්ටියාකාර වස්තූන් වන මේවා, සෛලයක ශ්වසනය සඳහා සහභාගී වන අතර සත්ත්ව හා ශාක සෛල දෙවර්ගයේම පවතිනවා.

මයිටකොන්ඩ්‍රියා ඩී.එන්.ඒ.වල සිදුවන විකෘති හේතුවෙන් ඇති වන රෝගාබාධවලට උදාහරණ ලෙස ලෙබර්ස්ගේ ආරෙට එන ඇස් ලෙඩේ Leber’s hereditary optic Neuropathy නම් අක්ෂි රෝගය දක්වන්න පුළුවනි. සමහර අපස්මාර තත්ත්වයන්ද මෙයට නිදසුන් හැටියට දැක්විය හැකියි. මයිටකොන්ඩ්‍රියා ඩී.එන්.ඒ. විකෘතිතා නිසාම ඇති වන ඩිමෙන්ෂියා තත්ත්වයකුත් තිබෙනවා. ඩිමෙන්ෂියාව විටෙක ඉතා භයානක විය හැකි මානසික සංකූලතා තත්ත්වයක් ලෙස හඳුනාගන තිබෙනවා.

Gene disease forum