2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

නරක ආරංචිය (Braking a bad news)

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 263

ජීවිතය කියන්නෙ රෝස මල් යහනාවක් නොවේ. අපි සැමදෙනාටම අටලෝ දහමට මුහුණදෙන්න සිදුවේ. දුක, සැප, යහපත, අයහපත, දොම්නස, සොම්නස, එපාවීම, කලකිරීම, නින්දා, ප්‍රශංසා, මේ සියල්ලම බැලූ බැල්මට ජීවිතයේ මුහුණදීමට සිදුවන අභියෝගයන් ලෙසත් බාරගන්න පුළුවන්. අභියෝගයන්ට මුහුණදීම ඉතා අපහසු කාර්යයක් ලෙස පෙනී ගියත් කිසිම අභියෝගයක් නොමැතිව ජීවත්වන්නකු පිළිබඳව ඔබ මොහොතකට සිතා බැලුවොත් එම ජීවිතයත් මහා හිස් ගොඩක් බව ඔබට දැනෙනවා නොඅනුමානය. මොහොතකට සැප පහසු පුටුවක වාඩිවෙන්න. මොහොතකට ඔබේ මනස සිහින ලෝකය තුළට ගෙනියන්න. ඔබ සිතූ පැතූ සියල්ලම ඔබේ ළඟට ලැබෙනවා යැයි මොහොතකට සිතන්න. ක්ෂණිකව ඔබට සතුටක් දැනෙනවා නොඅනුමානය. නමුත් බොහොම ටික වේලාවකින් කිසිම අභියෝගයක් නැති එම ජීවිතය මහා හිස් ගොඩක් වනු ඇත.

මරණය, ලෙඩවීම, හදිසි අනතුරු, බලාපොරොත්තු නොවූ මොහොතක සිදුවන වියෝවීම් අපට හමුවන අභියෝගයන්ය. මෙම අභියෝගයන් අතර හදිසියේම නරක හෝ අසුබ ආරංචියක් ඔබේ පවුලට හෝ ළඟම හිතමිතුරකුට කියන්න අවස්ථාවක් ලැබුණොත් එම ආරංචිය ඔවුනට රුගෙන යන ආකාරය ඔබ දන්නවද? එම ආරංචිය වැරදි ලෙස සන්නිවේදනය කළහොත් සිදුවිය හැකි විපත් කිහිපයක් සත්‍ය කතා අසුරෙන් පැහැදිලි කර ගනිමු.

ඔහුගේ නම සුමනදාස. සුමනදාස මත්පැනට ගොදුරු වී සිටි අයෙක්. ඉතා ඉක්මනින් කලබලයට පත්වීම, නිතර කිපෙන සුළු බව, ආවේගශීලී බව ඔහුගේ පෞරැෂයේ දුර්වලකම් විය. සුමනදාසගේ ලොකු පුතා මයුර ඩුබායිහි කාර්මික ශිල්පියකු ලෙස සේවය කළේය. මෙසේ සේවයෙහි සිටින අතර එක් දිනක් රිය අනතුරකට ගොදුරු වී මයුර මරණයට පත් විය. මෙම මරණය ගැන මුලින්ම ආරංචිය ලැබුණේ මයුරගේ මවටය. මයුරගේ මව ආරංචිය ලැබුණු විගසින් කලබලයට පත්වීමෙන් එය සුමනදාසගේ කනේ තැබීය. ඉතා සංවේදී පුද්ගලයකු වූ සුමනදාසට මේ ආරංචිය දරාගැනීමට නොහැකි විය. එදා රෑ පදමට මත්පැන් ගත් සුමනදාස ඊට පසු දා උදෑසන තම නිදන කාමරය තුළම ගෙල වැළදාගෙන ජීවිතය නැති කරගෙන තිබිණ.

මෙම කතාව කියවීමේදී අපට වැටහෙනුයේ සුමනදාසගේ මානසිකත්වය නිසි ලෙස අවබෝධ නොකරගෙන තම පුතා පිළිබඳ නරක ආරංචිය ඔහුගේ කණේ තැබීමයි. නරක ආරංචියක් මෙසේ ක්ෂණිකව හෙළිකිරීම (The full disclosure model) වැරදි ක්‍රමයකි. තවත් මෙවැනි කතාවක් බලමු.

ඇගේ නම සුමාලි. සුමාලි මැදපෙරදිග රටක සේවය කළාය. මේ සිද්ධිය වනවිට සුමාලිගේ මවද මෙලොව හැරගොස් තිබුණි. මව මියගොස් ඇත්තේ සුමාලි කුඩා කාලයේදීමය. ඉන් පසු සුමාලිට අධ්‍යාපනය දී හොඳින් බලාගෙන ඇත්තේ තම පියාය. සුමාලි ඉතා තදින්ම පියාට ආදරය කළාය. ඇය රට රැකියාවකට ගියවිට පියා ජීවත් වූයේ තමාගේම නැන්දා කෙනකු සමඟය. මෙලෙස කාලය ගෙවීයන අතර සුමාලිගේ පියාට හෘදයාබාධයක් වැළඳුණි. ළඟම ඇති රෝහලෙන් ප්‍රතිකාරද ලබාගත්තේය. සුමාලිගේ පියා සහ නැන්දණිය පියාගේ අසනීපය පිළිබඳ සුමාලිගෙන් වසන් කරගෙන සිටියහ. එක් දිනක් පියාගේ හෘදයාබාධය උත්සන්න වී මරණයට පත් වූයේය. මේ ගැන රට සිටින සුමාලිට දැනුම් දුන්නේය. ඊට පසුදාම සුමාලි ලංකාවට පැමිණියාය. තම පියාගේ මරණය පිළිබඳ ඇය මහත් සේ කම්පාවට පත් වූවාය. පියාගේ අසනීපය ඇයට නොදැන්වීම පිළිබඳ තම නැන්දා කෙරෙහි කෝපයක් සහ වෛරයක් ඇතිවිය. මේ දුක සහ කම්පනය දරාගැනීමට නොහැකි වූ සුමාලි ජීවිතය කලකිරී, එපාවී, මානසික අවපීඩනයට ගොදුරු වී ජීවිතය නැතිකරගැනීමට බෙහෙත් පෙති බී රෝහල්ගත කර සිටියදී අපට හමුවිය.

මෙම කතාව කියවීමේදී අපට වැටහෙනුයේ සුමාලි වඩාත්ම ආදරය කළ තම පියාගේ රෝගය පිළිබඳ ඇයගෙන් වසන් කර තබා ඇති බවය. මනෝ විද්‍යාව තුළ මෙය හඳුනාගෙන ඇත්තේ යම් අසුබ ආරංචියක් නොදී සියලු කරුණු ආදරය කළ අයගෙන් වසන් කිරීමයි. (Non-disclosure model) මෙයද වැරදි ක්‍රමයකි.

සැබැවින්ම නරක හෝ අසුබ ආරංචියක් පවුලේ කෙනකුට හෝ ළඟම ඥාතියකුට හෝ මිතුරකුට රැගෙන යන්නේ කොහොමද? මෙය එක්තරා විද්‍යාත්මක ක්‍රමවේදයකි. එම ක්‍රමවේදය පියවරෙන් පියවරට අපි සොයා බලමු. 

අපි මෙහෙම සිතමු. ඔබේ පවුලේ ඥාතියකුට දිගටම බඩේ අමාරුවකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා යැයි සිතමු. මෙසේ කාලයක් ප්‍රතිකාර කරන අතර එම ඥාතියාට බඩේ පිළිකාවක් තිබෙන බව වෛද්‍යවරු සොයාගෙන තිබේ. තවමත් එම රහස මෙම රෝගියා දන්නේ නැත. නමුත් ඥාතීහු දැනගෙන සිටිති. මෙම රහස ගැන රෝගියාව දැනුවත් කරන්නේ නම් එය කෙසේ කළ යුතුද?

පියවර 1

රෝගියා තම රෝගය පිළිබඳ කොතෙක් දුරට අවබෝධ කරගෙන තිබේද? එම බඩේ අමාරැව පිළිකාවක්ද විය හැකි බවට යම් අවබෝධයක් හෝ ඉඟියක් රෝගියාට තිබෙනවාද? මෙවැනි පණිවිඩයක් ඔහුට දුන්නොත් මෙය පිළිගැනීමට අවශ්‍ය මානසිකත්වයක් රෝගියාට තිබෙනවාද? මින් අදහස් කරනුයේ ඔහු හෝ ඇය ක්ෂණිකව කලබලයට පත්වී නොසන්සුන්භාවයට පත්වන අයෙක්ද?

පියවර 2

මෙම රෝගියාට තම බඩේ අමාරුව යම් ලෙසකින් පිළිකාවක්ද විය හැකි බවට යම් අවබෝධයක් පවතී නම් මෙම රහස පහසුවෙන් ඔහුට පැවසිය හැකිය. නමුත් ඔහු එවැනි අනතුරක් කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නේ නම් මෙම රහස ක්ෂණිකව ඔහුට පැවසීම අනතුරුදායකය. මෙවැනි අවස්ථාවක ක්‍රමක්‍රමයෙන් ඔහුට පිළිකාවක් තිබෙන බව මනසට ඇතුළු කළ යුතුය. එය මෙසේ කළ හැකිය.

උදා: ඔබට සිදුකළ සමහර පරීක්ෂණවල ප්‍රතිඵල එච්චර හොඳ නෑ. තවත් ඉස්සරහට තව පරීක්ෂණ තියෙනවා. අපි ඒ පරීක්ෂණත් බලලා ස්ථිර වශයෙන්ම මේ ලෙඩේ හොයාගන්න ඕන

මේ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මනසට තාමට පිළිකාවක් ඇතිබව ඒත්තු ගැන්විය යුතුය.

පියවර 3

තමාට පිළිකාවක් ඇතැයි දැනගත් විට රෝගියා අතිශයින් කම්පනයට සහ ආතතියට පත්වන බව අවබෝධ කරගත යුතුය. මෙවැනි අවස්ථාවක ඔහුගේ දුක, කම්පනය ප්‍රකාශ කිරීමට ඉඩ දිය යුතුය. ඔහු කතා කරන විට ඔබ බාධා නොකළ යුතුය. ඔහු අඬන විට අඬන්න එපා යැයි කියමින් ඊට බාධා නොකළ යුතුය. රෝගියාට බොරු බලාපොරොත්තු දී සැනසීමට උත්සාහ නොකළ යුතුය. රෝගය පිළිබඳ සත්‍ය කරුණු රෝගියාට මෙන්ම පවුලේ අයටද ඉතා හොඳින් තේරැම් කර දිය යුතුය.

පියවර 4

රෝගියා සහ පවුලේ අය ප්‍රතිකාර පිළිබඳ පියවරෙන් පියවර දැනුවත් විය යුතුය. ලබාගන්නා ඖෂධවල අතුරැ ආබාධ පිළිබඳ නිසි දැනුමක් ලබාගත යුතුය. පිළිකාවලට දෙන ඖෂධවල ඉතා තදබල අතුරැ ආබාධ ඇත. උදා: ලේසර් කිරණ ප්‍රතිකාරයේදී කොණ්ඩය සම්පූර්ණයෙන්ම වගේ වැටීම සිදුවේ. මෙය කිරණ නිසා ඇතිවන බව රෝගියා දැනගත යුතුය. නැතහොත් රෝගියා බියවනු ඇත.

පියවර 5

මෙවැනි අවස්ථාවකදී රෝගියා සහ පවුලේ අය දැඩි මානසික පීඩනයකට භාජනය වේ. එසේ ඇතිවන පීඩාකාරී මානසික තත්ත්වයන් නිසි ලෙස අවබෝධ කර ගැනීම සහ ප්‍රතිකාරවලට යොමුකිරීම නොසඟවා කළ යුතුය. මෙවැනි අවස්ථාවකදී රෝගියා මෙන්ම පවුලේ අය ගොදුරු වන මානසික පීඩනයන් හඳුනා නොගැනීම සහ ඒවා සඟවාගෙන සිටීම නිසා මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ගොදුරු වී මානසිකව මෙන්ම ආර්ථිකවද බිඳවැටීමට පුළුවන.

නරක හෝ අසුබ ආරංචියක් පවුලට හෝ රෝගියකුට දැනුම් දීමේදී ඔබ සැලකිය යුතු මනෝ විද්‍යාත්මක කරැණු රාශියක් මෙම ලිපියෙන් පැහැදිලි කර දුන්නෙමු මෙවැනි ආරංචියක් රෝගියා පමණක් නොව මුළු පවුලම සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කළ යුතුය.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක