2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ලෙඩ පිට ලෙඩ දෙන ප්ලීහාව ඉදිමීම

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 5553

අපේ උදර කුහරයේ වම්පසට වන්නට 9 සිට 12 වැනි තෙක් පිහිටි පර්ශුවලින් ආවරණය වී පවති. ආමාශයට පිටුපසින් සහ තීර්යක් මභාන්ත්‍ර ප්‍රදේශයේ විදුර කෙළවරට ඉහළින් සහ වම් වෘක්කයන්ට ඉහළින් සහ පාර්ශ්විකව පිහිටි ග්‍රෑම් 150ක් පමණ බරක් සහිත සෙන්ටි මීටර් 11 පමණ දිගින් යුත් මෘදු අවයවයකි.

ප්ලිහාව මඟින් නිපදවන සුදු රුධිර සෛලත් විෂ බීජ ගිලදැමීම හෙවත් භක්ෂක සෛල ක්‍රියාකාරීත්වය දක්වනවා. ඒවා මඟින් රුධිරය වෙත පැමිණෙන අපට ලෙඩ හදන බැක්ටීරියා වෛරස වගේ ක්ෂුද්‍රජීවීන් සහ හානිකර ප්‍රතිදේහජනකය සහ මියයන පටක කොටස් ආදිය බිඳහෙළීම සිදුකරනු ලබයි. වයස්ගත වූ සහ අසාමාන්‍ය රුධිර සෛලයන් මෙන්ම අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් සහිත ආගන්තුක ද්‍රව්‍යයන් බිඳහෙළීම මඟින් රුධිරය පිරිසුදු කිරීමත් කරනු ලබයි.

එසේම ප්‍රතිදේහ නිපදවීම සඳහා වැදගත් වන වසා සෛල නිපදවීමත් සිදුකරනු ලබයි. කළල අවධිය තුළදී දේහයට අවශ්‍ය රුධිර සෛල නිපදවීම සිදුකරන මූලික අවයවයක් ලෙස ක්‍රියාකරන්නේ ප්ලිහාවයි. දේහයේ නිපදවන රතු රුධිර සෛලයන්ගෙන් 8%ක් පමණ ප්ලිහාව තුළ අන්තර්ගත වන බැවින් රතු රුධිර සෛල රඳවාගන්නා සංචායකයක් ලෙසද ක්‍රියා කරනු ලබයි.

මේ තරම් සේවයක් කරන ප්ලීහාවත් යම් යම් හේතූන් නිසා බරෙන් වැඩි වී ඉදිමීමට ලක්විය හැකිය.

ප්ලිහාව බරෙන් වැඩිවීම නැති නම් ඉදිමීම :-

• නීරෝගි පුද්ගලයකුගේ ප්ලිහාව සාමාන්‍යය උදර පරීක්ෂාවක් මඟින් පිටතින් ස්පර්ශ කළ නොහැකිය. නමුත් ප්‍රමාණයෙන් විශාල වූ ප්ලිහාවක් උදර පරීක්ෂාවක් මඟින් වෛද්‍යවරයකුට පහසුවෙන් හඳුනාගත හැකිය.

• වෛද්‍ය විද්‍යාත්මක අර්ථකතනයන්ට අනුව ප්ලිහාව ග්‍රෑම් 400 - 500 යන ප්‍රමාණයකට වඩා බරෙන් වැඩි වීම ප්ලිහාව ඉදිමීමක් ලෙස හඳුන්වනු ලබයි. මැලේරියාව, තැලසීමියාව වැනි රෝග තත්ත්වයකදී ප්ලිහාව ග්‍රෑම් 1000ක ප්‍රමාණයකටත් වඩා විශාල වීමක් සිදුවිය හැකිය.

• බරෙන් වැඩි වීම ප්ලිහාව සෑමවිටම එහි රෝගී තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.  එය සිය සාමාන්‍යය ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අන්දමට ප්ලිහාව කාය විද්‍යාත්මකව සකස් වීමේ ප්‍රතිඵලයක් ලෙසද බරෙන් වැඩි වීම දැක්විය හැකිය.

මේ එවැනි අවස්ථා කිහිපයකි :-

• ආසාදන අවස්ථාවක දී ක්ෂුද්‍රජීවීන් සහ ප්‍රතිදේහජනකයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස බරෙන් වැඩි වීම සිදුවේ. සමහර වෛරස් ආසාදන, පරපෝෂිත අසාදන සහ බැක්ටීරියා ආසාදන තත්ත්වයන්වලදී මෙය දක්නට හැකිය.

• අසාමාන්‍ය රතු රුධිර සෛලයන් බිඳ හෙළීම සඳහා ක්‍රියාත්මක වන අවස්ථාවේදී, (තැලසීමියාව සහ spherocytosis වැනි රෝග තත්ත්ව)

• සාමාන්‍ය පරිදි රතු රුධිර සෛල නිපදවීම සඳහා ප්ලිහාව සක්‍රීය වන අවස්ථාවේදී,  (ඇට මිදුළු සම්බන්ධ රෝග තත්ත්වයන්, මැලේරියාව)

• ප්‍රතිදේහ නිපදිවීම සඳහා වෛරස් ආසාදනවලදී ක්‍රියාත්මක වන අවස්ථාවේදී,

• එමෙන්ම ප්ලිහාව සම්බන්ධ විශේෂිත රෝග තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙසද ප්ලිහාව ඉදිමීම සිදුවේ.

• අක්මාවේ සීරෝසිස් වැනි රෝග තත්ත්වයන්හි සංකූලතාවයක් වශයෙන්.

• ලියුකේමියා වැනි සුදු රුධිර සෛල ආශ්‍රිත පිළිකා තත්ත්වයන්වලදී සහ Lymphoma වැනි වසා පද්ධතිය ආශ්‍රිතව හටගන්නා පිළිකා තත්ත්වයන්වලදී මෙන්ම ප්ලිහාවේ ද්විතියිකපිළිකා තත්ත්වයන්වලදී.

• ප්ලිහාවේ විවිධ බැක්ටීරියා ආසාදනයන්ගේ ප්‍රතිඵලක් ලෙස ඇතිවන සැරව පිරී කෝෂ්ඨ සෑදීම නිසා.

• සමහර ඖෂධ වර්ග මඟින් ද ප්ලීහාව ඉදිමීමට ලක්වේ.

ප්ලිහාව ඉදිමීම නිසා රුධිරයේ ඇතිවන විශේෂිත තත්ත්වයන් :-

• නිරක්තිය හෙවත් ලේ හිඟ තත්ත්වයත්, සුදු රුධිර සෛල මට්ටම අඩුවීම සහ රුධිර ගත පට්ටිකා ප්‍රමාණය අඩු වීම. (පට්ටිකා ප්‍රමාණයෙන් 30%ක් පමණ ප්ලිහාව තුළ එක්රැස්වී පවති.)

• ප්ලිහාව අසාමාන්‍ය ලෙස ඉදිමීම නිසා උදරයට සිදුවන අනතුරුවලදී ප්ලිහාවට අනතුරු සිදුවීම සහ එය පුපුරා යාමක් එමඟින් විශාල රුධිර වහනයක් සිදුවීමත් වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය.

බහුල රෝග ලක්ෂණ :-

• උදරයේ වම්පස ඉහළ කැක්කුම සහ එය උරහිස දෙසට පැතිරයාම, කිසිවක් නොකෑවත් බඩ පිරුණු, පිම්බුණු බව වැනි අපහසුතාවයක් ඇතිවීම. නැතිනම් ආහාර ගත් පසු ඉදිමුණු ප්ලිහාවේ කොටසක් බඩේ වැදෙන ලෙස දැනීම. නිතර නිතර රෝගී වීම. නිතර දැනෙන වෙහෙස මහන්සිය වැනි රෝග ලක්ෂණයන් ද දැකිය හැකිවේ.

ප්ලිහාව ඉදිමීම සඳහා වන ප්‍රතිකාර කවරේද?

ප්ලිහාව ඉදිමීම සහ එමඟින් හටගන්නා සංකූලතාවයන් තීරණය කරනු ලබන්නේ ඒ සඳහා හේතුවන රෝග තත්ත්වයේ ස්වභාවය අනුවය. මුල් රෝග තත්ත්වය සඳහා සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීම මඟින් ප්ලිහාවේ විශාල වීම. සාමාන්‍ය තත්ත්වයකට හරවාගත හැකිය.
නමුත් සමහර රෝග තත්ත්වයන්වලදී ප්ලිහාව ඉවත් කිරීම (Splenectomy) අත්‍යාවශ්‍යවේ.                        

 උදා :- Spherocytosis, තැලසීමියාව, පට්ටිකා අසාමාන්‍ය ලෙස බිඳ වැටීමකදී.

ප්ලිහාව ඉවත් කිරීමෙන් පසු ඉන් දේහයට ලැබෙන ස්වභාවික ප්‍රතිශක්තීකරණ යාන්ත්‍රණය නොලැබෙයි. එබැවින් විවිධ ආසාදනයන්ට ලක්වීම සඳහා වන ප්‍රවණතාවය වැඩිවේ. විශේෂයෙන් කොපු හෙවත් කැප්සියුලයක් සහිත බැක්ටීරියා (Streptococcus,  haemophilus වැනි) ආසාදනයන්ට ලක්වීම බහුලවේ. එබැවින් ප්ලිහාව ඉවත්කරන ලද රෝගීන් හට මේ සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමට සිදුවේ.

සුගත්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00