2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

කොඳුඇට පෙළේ පිළිකාව හඳුනා ගනිමු

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1642

කොඳු ඇට පෙළ ආශ්‍රිතවත් පිළිකා හටගන්නා අවස්ථා තිබෙනවා. පිළිකාවක් ගැන මුල්ම සලකුණ තමා වේදනාව. කොඳු ඇට පෙළේ හටගන්නා ඉදිමුමක් හේතුවෙන් හෝ එහි සංවේදී ස්නායු තෙරපුමට ලක්වීමෙන් මේ වේදනාව ඇතිවිය හැකියි. කොඳු ඇට පෙළ නිසි පරිදි පිහිටා නැතිවීම නිසා ශාරීරිකව බාහිරව කැපී පෙනෙන කුදු බව වැනි ලක්‍ෂණත් දකින්නට හැකියි. ගැහැනු, පිරිමි භේදයක් නැතිව වයසට යනකොට මේ තත්ත්වයට ගොදුරැ වීමේ අවදානම වැඩියි. නමුත් කොඳු ඇට පෙලේ පිළිකා නිසාද මෙබඳු වේදනා එහිදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

මොනවද රෝග ලක්‍ෂණ

• ඇවිදීමේ අපහසුව
• ස්පර්ශය නොදැනීම.
• අංශයක පණ නැති බව
• මුත්‍රා එකවර පහ කිරීමේ අපහසුව
• පාදවල සහ අත්වල මස්පිඬු වේදනාව හෝ හිරිවැටීම.
• වේදනාව - කොන්දේ සහ ගෙලේ වේදනාව, අතේ හෝ පාදයේ වේදනාව
• මළපහ කිරීමේ අක්‍රමිකතා, දරා සිටීමට නොහැකි වීම.
• හිටගෙන සිටීමේ අපහසුව හෝ වේදනාව
• කොඳු ඇට පෙළේ අස්වාභාවික හැඩය

පිළිකාව වැළඳීමට හේතුවන සාධක සමහරක්

• ප්‍රොස්ටේට්, පෙනහළු හෝ පියයුරු පිළිකා වැනි වෙනත් පිළිකාවකින් අනතුරැව සිටි විටක ඒවා කොඳු ඇට පෙළටද පැතිරිය හැකියි.

• ප්‍රතිශක්තිය අඩු අයටත් මෙම පිළිකා වැළඳීමේ අවදානම වැඩියි.

• සමහර ප්‍රවේණික රෝග හේතුවෙන්ද මෙය ඇතිවෙයි.

• විකිරණ ප්‍රතිකාරවලදී විකිරණවලට නිරාවරණය වීම හෝ කාර්මික රසායණ ද්‍රව්‍ය ශරීරගත වූ විටත් මෙම පිළිකාව සෑදීමට හැකියි.