2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

තනි වුණොත් ලෙඩ වුණා

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

සමහරු සමාජයෙන් ඈත්වෙලා තට්ට තනියම ජීවත්වෙන අවස්ථා දකින්නට පුළුවනි. නමුත් මේ කියන තනි අලියා පැවැත්ම ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර ලෙස බලාපාන බවයි උතුරු කැරෝලිනා සරසවියේ පරීක්‍ෂකයන් පෙන්වා දී තිබෙන්නේ.

සමාජ සබඳතා අඩුවෙන් පවත්වාගෙන යන, නිශ්ශබ්ද සහ බාහිරයට වැසුණු චරිත දරන අයහට හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි හෘද රෝග පමණක් නොවේ පිළිකාවන්ට ගොදුරු වීමේ අවදානමත් ඉහළ බවයි එයින් සනාථ වී ඇත්තේ.
කලින් සිදුකළ පර්යේෂණ මඟින් එළිදරව් වී තිබුණේ, නෑ හිතමිතුරන් අසල්වැසියන් සමඟ හොඳ සමාජ ආශ්‍රයක් ඇතිව ජීවත්වන ක්‍රියාශීලී වයස්ගත උදවිය වැඩි කාලයක් නිරෝගීව ජීවත්වන බවයි. 

මෑතක සිදුකළ අලුත් පර්යේෂණ මඟින් සොයාබලා ඇත්තේ ජීවිතේ විවිධ වයස් මට්ටම්වලදී පුද්ගලයකුගේ සමාජ සබඳතා මඟින් ඔහුගේ ශරීර සෞඛ්‍යයට මොන වගේ බලපෑමක් සිදුකරනවාද යන්නයි.
මේ සොයාබැලීමේදී වාර්තා වුණේ ආහාරපාන රටාව, ව්‍යායාමය, ප්‍රමාණවත් සුව නින්ද, දියවැඩියාව වගේ සෞඛ්‍යයමය කාරණා තරම්ම බරසාර අන්දමට කෙනෙක්ගේ සමාජ සබඳතා ජාලය ඔහුගේ සෞඛ්‍යයට බරපතළ ලෙස වගකියන බවයි.

විශේෂයෙන්ම මුල් තරුණ වියේදී සහ ජීවිතයේ අවසන් වැඩිහිටි සමයේදී හොඳ පුළුල් සමාජ සබඳතා ජාලයක් පවත්වා ගැනීම අධිරුධිර පීඩනය ඇතුළු හෘදයාබාධ මෙන්ම පිළිකා තර්ජනය වළක්වා ගැනීමට ඉවහල් වෙන බවයි මෙම පර් යේෂණය සනාථ කර ඇත්තේ.

කෙනකුට ඇති සමාජ සබඳතා ජාලයේ විශාලත්වය නොව ගුණාත්මක භාවය මෙහිදී ඉතාමත් වැදගත් බවයි කියන්නේ. මනා වැටහීමක් ඇති, තමන්ට ලැදි, උසස් අදහස් සහිත කුඩා කණ්ඩායමකට බෙහෙත් ගෝනියකටවත් කළ නොහැකි සුවපත් කිරීමක් කරන්නට හැකි බවයි මේ පර්යේෂණය මඟින් පෙන්වා දී ඇත්තේ.

ජීවිතයේ මුල් තරුණ වියේදී හොඳ සමාජ සබඳතා පවත්වාගෙන යන අය පසුකාලීනව අධිරුධිර පීඩනය බඳු හෘදරෝගවලට ගොඳුරුවීමේ අවදානම 54 කින් පමණ අඩුවන බවයි මෙහිදී සොයාගෙන ඇත්තේ.
ඒ වගේම ජීවිතයේ සැඳෑ සමයේ සමාජ සේවාවන්හි යෙදෙමින් හොඳ සමාජශීලී ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීම ලෙඩ දුක්වලින් මිදෙන්නට වගේම වයසට යාමෙන් වැළකෙන්නටත් හොඳම මඟ බවයි උතුරු කැරෝලිනා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

 WAS/News

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00