2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

වයස් භේදයක් නැතිව ලෙඩ දෙන එපාකරපු පිළිකාව

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 869

පිළිකාව ගැන නිතර අහන්නට ලැබෙන කාලයක් මේ. ඒ අතරේ සාකෝමාව කියන්නේ වැඩියෙන් නම නොකියවෙන දුර්ලභ ගණයේ පිළිකාවක්. නමුත් මේ පිළිකාව නිසාත් සිදුවෙන හානියේ වෙනසක් නැ. කලින් හඳුනාගත්තොත් මේ පිළිකාවෙනුත් ගැලවෙන එක ලෙහෙසියි.

අපේ සිරුරේ එක එක වර්ගයේ සම්බන්ධක පටකවල, ඒ කියන්නේ හමේ ගැඹූරේ පඨක, මාංශ පේශි, කණ්ඩරා, කාටිලේජ, ස්නායු, මේද පටක සහ අත්වල හා කකුල්වල රුධිර නාලිකාවල මේවා හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයේ ඕනම තැනක සාකෝමා හැදෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම වයසක කෙනෙක්ටත් හැදෙන්න පුළුවන්. 

සිරුරේ පිළිකාව හටගන්නා තැන අනුව සාකෝමා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

1. හම ගැඹුරේ මාංශ පේශී කණ්ඩරා වගේ මෘදු පටකවල හැදෙන සාකෝමාව (Soft tissue sarcoma)

2. අස්ථි ආශ්‍රිතව හටගන්නා සාකෝමාව (Osteosarcoma)

ජිවිත කාලේ ඕනම වයසකදී මේ පිළිකාව හැදෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 35ට වඩා අඩු අයට තමයි වැඩිපුර හැදෙන්නේ. ඒත් සමහර සාකෝමා වර්ග වඩාත්ම සුලභ පුංචි ළමයින්ගේ. සැත්කමක් කරලා ගෙඩිය අයින් කරන එක තමා මේකෙදි කරන මූලිකම ප්‍රතිකාරය.

අවදානම් සාධක

සාකෝමා හැදෙන්න මූලික හේතුව නම් තාම හොයාගෙන නෑ. ඒ වුණාට මෙන්න මේ කරුණු නිසා සාකෝමා හැදෙන්න තියෙන අවස්ථා වැඩියි.

1.  සාකෝමා හැදිලා තියෙන කෙනෙක් තමන්ගේ පවුලේ ඉන්න එක.

2.  අස්ථි පිළිබඳ රෝග තත්ත්ව (ex:- Paget’s disease)

3.  ජානමය රෝග (ex :- Neurofibromatosis, Gardener Syndrome, Retinoblastoma )

4.  විවිධ වර්ගයේ විකිරණවලට ශරීරය නිරාවරණය වෙන එක.

රෝග ලක්ෂණ

මෘදු පටක සාකෝමාව

1.මේ පිළිකා හඳුනාගන්න අමාරුයි. මොකද ශරීරයේ ඕනම තැනක වර්ධනය වෙන්න පුළුවන් නිසා.

2.අපිට දකින්න ලැබෙන මූලිකම ලක්ෂණය තමා වේදනාවක් නැති ඉදිමුමක් නැත්තම් ගෙඩියක්.

3.මේ ඉදිමුම ටිකෙන් ටික වර්ධනය වෙනකොට ඒ ළඟ තියෙන මාංශ පේශි, ස්නායු වගේ දේවල් තෙරපෙන නිසා වේදනාවක් හෝ හුස්ම ගන්න අමාරු ගතියක් හෝ ඇති වෙන්න පුළුවන්.

අස්ථි ආශ්‍රිත සාකෝමාව 

1. වරින්වර අස්ථිවල ඇතිවෙන වේදනාව නිසා මේ සාකෝමා වර්ගය නම් ඉක්මනින් හඳුනාගන්න පුළුවන්. මේ වේදනාව රාත්‍රී කාලයේදී වැඩි වෙනවා.

2. ගොඩක් වෙලාවට වේදනාවක් දැනිලා සතියකට විතර පස්සේ ඉදිමුමක් නැත්තම් ගෙඩියක් ඇති වෙනවා.

3. මේ පිළිකාව හැදිලා තියෙන්නේ කකුලේ නම් කොර ගැසීමක් දකින්නත් පුළුවන්.

4. තරුණ පිරිසට වඩා ළමුන් සහ මුල් යොවුන් වියේ පසුවන අය අතර අස්ථි සාකෝමා සුලභයි.

රෝගය හඳුනා ගැනීම

1.  සැක කරන ලද ගෙඩියෙන් ගත්ත සෛල සාම්පලයක්. මේ පරීක්ෂණයට බයොප්සියක් (Biopsy) කියලත් කියනවා.

2.  CT scan, Ultrasound, MRI, PET Scan කරන්නත් පුළුවන්.

3. Bone scan වලින් අස්ථි සාකෝමා අඳුරගන්න පුළුවන්.

මේ රෝගයට ප්‍රතිකාර කරන ක්‍රමය,

1.  සාකෝමා වර්ගය

2.  පිළිකාව ශරීරයේ තියෙන තැන

3.  වර්ධනය වුණු ආකාරය

4.  ශරීරයේ අනික් අවයවවලට පැතිරී තිබීම හෝ නො තිබීම

වගේ කරුණු කිහිපයක් අනුව වෙනස් වෙනවා.

ප්‍රතිකාර ක්‍රම

1. ශල්‍යකර්මයක් සිදු කිරීම.

සැත්කමක් මඟින් මේ ගෙඩියත්, එය අවට තිබුණු නිරෝගි පටක ස්වල්පයකුත් ඉවත් කරනවා. 
 (සමහර අවස්ථාවල ගෙඩිය ඇති අත හෝ කකුල ඉවත් කිරීමට ද සිදු වෙනවා.)

2. විකිරණය ( Radiation )

ශල්‍යකර්මයක් කරන්න කළින් මේ ගෙඩිය කුඩා කරන්න හෝ ශල්‍යකර්මයක් කළාට පස්සේ ඉතිරි වෙන පිළිකා සෛල විනාශ කරන්න හෝ මේ ක්‍රමය භාවිතා කරනවා.  සැත්කමක් කරන්න බැරි අවස්ථාවලදී ප්‍රධාන ප්‍රතිකාරය තමා විකිරණ ක්‍රම භාවිතා කරන එක.

3.  රසායනික චිකිත්සාව

ශල්‍යකර්මයක් වෙනුවට හරි එහෙමත් නැත්තම් ශල්‍යකර්මයක් කළාට පස්සේ හරි මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. පිළිකාව ශරීරය පුරා පැතිරැණාම රසායනික චිකිත්සාව තමා මූලිකම ප්‍රතිකාරය. මේ ක්‍රමයෙන් සැළකිය යුතු විදිහට රෝගී තත්ත්වය සුවපත් කරනවා.

4.  ඉලක්කගත චිකිත්සාව

මේක අලුත්ම ප්‍රතිකාර ක්‍රමයක්. මේකෙන් කරන්නේ කෘත්‍රිම හදාගන්න ප්‍රතිදේහ හරි ඖෂධ හරි භාවිතා කරලා පිළිකා සෛලවල වර්ධනය අවහිර කරන එක. මේ ක්‍රමයේ වාසිය තමා සාමාන්‍ය නීරෝගී සෛලවලට කිසිම හානියක් සිද්ද නොවීම.
රෝගයෙන් සුවවීම

පිළිකාව ශරීරයේ අනිත් තැන්වලට වර්ධනය වෙලා නැත්තම් ශල්‍යකර්මයෙන් පමණක් බොහෝ වෙලාවට සුව කරන්න පුළුවන්.  සුව වීමේ ප්‍රතිශතය 60% – 80% අතර පවතිනවා. ඉතා ආක්‍රමණශීලී සාකෝමා නම් සම්පූර්ණයෙන් සුව කරන්න අමාරුයි.

-Web MD