2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

පියාගේ දුම්වැටියෙන් හැදුණු පුතාගේ හිසරදය

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

ඔබ දුම් නොබොන කෙනකු වුවත් තවත් කෙනකුගේ දුම්බීම නිසා හෝ එවැනි පරිසරයක ජීවත් වීමට ලැබීම නිසා නොදැනුවත්වම රෝගියකු විය හැකිය. සමහරවිට මෙය සිදුවිය හැක්කේ ඔබගේ නිවෙස තුළදීමය. දරුවන් දුම් නොබොන නමුත් පියා හෝ අනෙකුත් සහෝදරයන් දුම්බොන පරිසරවල ජීවත් වීමට බොහෝ දරුවන්ට අද එය සිදුවී ඇත. පියා නිවෙස තුළ දුම්බොන විට අසරණ වන දරුවාට හෝ බිරිඳට එය වැළැක්වීමට හැකියාවක් නොමැත. සමහරවිට ඔබ අවන්හලක් තුළදී අකමැත්තෙන් වුවත් තවකෙකුගේ දුම්වැටියට නිකරුණේ ගොදුරු විය හැකිය. පියාගේ දුම්බීම නිසා දරුවකු ලෙඩවුණු ආකාරය පහත සඳහන් සත්‍ය කතාව ඇසුරෙන් බලමු.

පසිඳුගේ වයස අවුරුදු 12 යි. ඉතා හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගෙන යන පසිඳු නිතර පවතින හිසේ කැක්කුමකට ගොදුරු විය. ඒ සමඟම නොනවතින වියළි කැස්සක්ද ඇතිවිය. පාඩම් වැඩ කටයුතු කිරීමට තිබූ උනන්දුව අඩුවිය. නිතර තරහ යන සහ ඉවසුම් නැති ස්වභාවයක්ද ඇතිවිය. ස්නායු පිළිබඳ විශේෂඥයන් කීපදෙනකුගෙන් ප්‍රතිකාර ගත්තද හිසේ කැක්කුම අඩු නොවීය. අපි ළඟට යොමුවූ පසිඳුගේ විස්තර ඉතිහාසය ගත්විට පියාගේ දුම්වැටියට ඔහු නිතර ගොදුරැවන බව හොඳින් පැහැදිලි විය. උපදේශනය සහ ප්‍රතිකාරවලට යොමුවී පසිඳුගේ පියා දුම්බීම නතර කළේය. මාස කීපයක් යාමටත් පෙර පසිඳුගේ හිසරදය සහ වියළි කැස්ස නැතිවී ගියේය.

තවකෙකුගේ දුම්බීම නිසා ඔබ ගොදුරැවිය හැකි වෙනත් රෝග

අමෙරිකාව තුළ අනෙක් අයගේ දුම්වැටියට ගොදුරැවීමෙන් පෙනහළු පිළිකාවලින් මරණයට පත්වන සංඛ්‍යාව වර්ෂයකට 7000ක් පමණ වේ.

රුධිරයේ ඇති මේද ප්‍රමාණය වැඩිවන අතර අංශභාගය සහ දරුණු රෝගාබාධවලට ගොදුරුවීමේ හැකියාවද වැඩිය.

උපදින දරුවන්ගේ බර අඩුවීම, අඩු මාසවලින් ඉපදීම, මළදරු උපත් සිදුවීම සහ උපදින දරුවන්ගේ නොයෙකුත් විකෘතිතා ඇතිවීම.

පෙනහළු ආබාධවලට ගොදුරුවීමේ හැකියාව වැඩිවේ. ඔබ ඇදුම රෝගියකු නම් මෙම රෝගය උත්සන්න වීමෙන් රෝහල්ගත වීමට තිබෙන හැකියාව වැඩිවේ.

අග්න්‍යාශයේ ඇතිවන පිළිකා, ගර්භාෂයේ ග්‍රීවයේ ඇතිවන පිළිකා, මුත්‍රාශයේ ඇතිවන පිළිකා වැඩිවීමේ ප්‍රවණතාවයක්ද ඇතිවේ

යම් දරුවකු ඉගෙන ගැනීමේ අපහසුතා, තීරණ ගැනීමේ සහ කල්පනා කිරීමේ හැකියාව සමඟ හැසිරීමේ නොයෙකුත් ගැටලු ඇතිවිය හැකිය. මීට ප්‍රධාන හේතුව දුම්වැටියේ ඇති නිකොටීන් සහ කාබන්මොනොක්සයිඩ්ය.

අනෙකෙකුගේ දුම්වැටියෙන් ඔබට හානියක් වන බව සොයාගත හැකිද? ඔව්. පුළුවනි. මෙහිදී කොටිනීන් (cotinine) ඔබගේ ලේවල, කෙළවල හෝ මුත්‍රාවල තිබේදැයි සොයා බැලිය හැකිය. එසේත් නැත්නම් කෙස්ගස් කීපයක් ගෙන ඒවා තුළ කොටිනීන් තිබේදැයි සොයා බැලිය හැක. කොටිනීන් යනු නිකොටීන් (Nicotine) බිඳවැටිමෙන් ඇතිවන අතුරැ රසායනයකි. මෙය සොයාගැනීමෙන් තහවුරැ වනුයේ ඔබ මාස තුනකට වැඩි කාලයක් තවකෙකුගේ දුම්බීමට ගොදුරු වී ඇති බවයි.

ජීවිතය විඳින්න.. දුම්බීම නතර කරන්න. නතර කිරීමට අපහසු නම් මනෝ වෛද්‍යවරයකු හමුවන්න.

සිගරට්ටුව නැවැත්වීමත් සමඟ ඔබට ලැබෙන ශාරීරික හා මානසික ප්‍රතිලාභ. 

සිගරට් එක නැවැත්වීමෙන්...

1. මිනිත්තු 20කට පසු 

ඔබේ රුධිර පීඩනය සහ හෘදය වස්තුවේ අනවශ්‍ය ස්පන්ධනය අඩු වේ.

2. පැය 12කට පසු 

රුධිරයේ ඇති විෂ සහිත කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය අඩුවේ. 

3. මාස 3කට පසු 

රුධිර සංසරණය වැඩි දියුණු වන අතර පෙනහළු ක්‍රියාකාරීත්වයද වැඩිවේ.

4. මාස 9කට පසු

කැස්ස, සෙම සහ හුස්ම ගැනීමේ අපහසුතා අඩුවී පෙනහළු ආසාදන තත්ත්වයන්ද අඩුවේ.

5. මාස 12කට පසු

තවමත් දුම් බොන කෙනෙකු සමඟ සසඳන විට හෘදය බාධයක් ඇතිවීමේ හැකියාව 50%කින් අඩුවේ.

6. අවුරැදු 5කට පසු

මුඛය, උගුර, ගලනාලය සහ මුත්‍රාශය තුළ පිළිකා වැළදීමේ හැකියාව 50%කින් අඩුවේ. එමෙන්ම යෝනි මාර්ගය තුළ ඇති වන පිළිකා සහ අංශභාගයට ගොදුරැ වීමට ඇති හැකියාව දුම් නොබොන කෙනෙකුගේ තත්ත්වයට පත්වේ.

7. අවුරුදු 10කට පසු

පෙනහළු පිළිකාවකින් මරණයට පත් වීමට ඇති හැකියාව දුම්බොන කෙනෙකු හා සසඳන විට 50%කින් අඩුවේ.

8. අවුරුදු 15කට පසු

හෘදයාබාධයකට ගොදුරු වීමට ඇති හැකියාව සාමාන්‍ය පුද්ගලයකු හා සමාන වේ.

දුම් බොන කෙනෙකුගේ ජීවිත කාලය සාමාන්‍ය කෙනකුගේ ජීවිත කාලයට වඩා අවු. 10කින් කෙටි වේ. ඔබට අවු. 40ට ප්‍රථමව ඔබේ දුම්බීම නවත්වා ගැනීමට හැකි නම් දුම්වැටිය නිසා ඇති වන රෝගයකින් මිය යාමට ඇති හැකියාව 90%කින් අඩුවේ.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00