2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ජීවිතය විඳවන දුම්වැටිය

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 414

ශ්‍රී ලංකාව තුළ එක දිනකට ලක්ෂ 15ක ජනතාවක් සිගරට් මිලියන 11ක් දල්වන බව වාර්තා වෙනවා. එමෙන්ම වාර්ෂිකව 25000ක් පමණ දෙනා මිය යන්නේ දුම්වැටි ආශ්‍රිත රෝගවලින් බව හෙළිවී ඇත. මේ මරණවලින් 10%ක් මිය යන්නේ ඔවුන් දුම්බොන නිසා නොව අන් අයගේ දුම්වැටි නිසාය.

සිගරට්, සුරුට්ටු ආදිය නිපදවන්නේ  වේලුන දුම්කොළවලින්ය. මේවායේ රසවත් භාවය සහ සුවඳ වැඩි කිරීමට නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එකතු කරනු ලැබේ. දුම්වැටියක් ගතහොත් ඒ තුළ තිබිය හැකි රසායන ද්‍රව්‍ය දහසකටත් වැඩිය. මේවායින් පිළිකා කාරක ලෙස හැඳින්වියහැකි රසායනික ද්‍රව්‍ය 70ක් පමණ තිබෙන බව සොයාගෙන ඇත. මේවායින් කිහිපයක් නම් නිකොටීන්, හයිඩ්‍රිජන් සයනයිඩ්, ෆෝමැල්ඩිහයිඩ්, ඊයම්, ආසනික්, කාබන් මොනොක්සයිඩ්, බෙන්සීන් යනාදියයි.

සියලුම පිළිකාවලින් 19%ක් පිළිකා ඇති වන්නේ දුම්වැටිය හේතුවෙනි. සියලුම පිළිකාවලින් මිය යන සංඛ්‍යාවෙන් 29% මිය යන්නේ දුම්වැටිය ආශ්‍රිත පිළිකා නිසාය. දුම්වැටියට හෝ සිගරට්වලට ඔබ ඇබ්බැහි වී ඇත්දැයි සොයාගත හැකි ක්‍රමය පහත සඳහන් ප්‍රකාශවලින් අවම වශයෙන් ප්‍රකාශ දෙකක්වත් ඔබට ගැලපේ නම් ඔබ දුම්වැටියට ඇබ්බැහි වූවකු ලෙස සැලකේ.

1. පාලනයක් නොමැතිව දුම්බීම, 2. නතර කරන්න ආසයි ඒත් කරගන්න බෑ, 3. මොනව කරන්න ගියත් ඉස්සරලම හිතට එන්නෙ දුම්වැටිය ගැන, 4. දුම්බීම සමඟ එදිනෙදා වැඩකටයුතු අඩාල වීම. 5. වෙනදා ආශාවෙන් කළ විනෝද වැඩ පසෙකලා දුම්බීමට මුල් තැන දීම. (Ex: වෙනදා බෝල ගැහුවා දැන් එම කාලය තුළ යාළුවන් සමඟ එකතු වී දුම් බීම.) 6. නුපුරැදු ස්ථානවලදී දුම් බීම. (Ex:- බසය තුළ, නිදාගන්න විට) 7. දුම්බීමෙන් ඇති වන කායික සහ මානසික විනාශය දැන දැනම දුම්බීම. 8. දුම්බීම නැවැත් වූ විට දැනෙන අසහනය මඟහැරීමට දුම්බීම. 

දුම්බීමට ඇබ්බැහි විය හැකිද?

ඔව්... අපි බලමු කොහොමද කියලා. ඉතා ප්‍රබල ලෙස ඇබ්බැහි වීමට පුළුවන. මෙහි තිබෙන ප්‍රබල ඇබ්බැහි වීමේ රසායනිකය තමයි නිකොටින්. (Nicotine) නිකොටින්වලට සංවේදී ප්‍රතිග්‍රාහක (Nicotine Acetylcholine receptors) ඇත. මෙම ප්‍රතිග්‍රාහක තිබෙන්නේ ඩෝපමීන් (Dopamine) ශ්‍රාවය කරන ස්නායු සමඟයි. දුම්බොන කෙනෙකුගේ සතුට සහ ඇබ්බැහි වීම දෙකම ඇතිවනුයේ මෙම සතුට ගෙන දෙන රසායනිකයක් වන ඩෝපමීන් නිසයි. දිගටම දුම්බොන කෙනෙකුට දුම්බීම නවතා පැය 24ක් වැනි කාලයක් තුළ පහත සඳහන් අපහසුතා ඇති විය හැකියි.

1. තරහ යාම සහ නොසන්සුන්කම. (Irritability, Frustration and anger)
2. දැඩි ආතතියක් දැනීම. (Anxiety)
3. කල්පනා කිරීමේ හැකියාව අවුල් වීම. (Difficulty Concert rating)
4. ආහාර රුචිය වැඩි වීම. (Increased appetite)
5. මානසික ශක්තිය බිඳ වැටීම. (Depressed Mood)
6. නින්ද නොයාම. (Insomni
a)

දුම්වැටියට ඇබ්බැහි වූවෙකුට ප්‍රතිකාර කළ හැකිද?

ඔව්... මෙහිදී ඖෂධ ප්‍රතිකාර වගේම මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමද භාවිතා කරනවා. දුම්වැටියට ඇබ්බැහි වූවෙකුට කිසිම උදව්වක් නැතිව තම කැමැත්තෙන්ම දුම් බීම නවත්වා ගතහැකි බව සමහර සමීක්ෂණවලින් පෙනීගොස් තිබෙනවා. නමුත් මෙය සාර්ථක ක්‍රමයක් නොවන බවද සංඛ්‍යා ලේඛනවලින් පෙනීගොස් තිබෙනවා. මෙය සාර්ථක කරගෙන ඇත්තේ මෙසේ උත්සාහ කරන අයගෙන් 3%ක සිට 5% පමණ අතර සංඛ්‍යාවකි. මින් වැඩි දෙනෙක් වැඩිම වුණොත් දවස් 8ක් දුම් නොබී සිටීමට සමත් වූවත් නැවත එය පටන්ගෙන තිබෙනවා.

දුම්වැටියට ඇති ආශාව අඩු කිරීමට ඖෂධ ප්‍රතිකාර ක්‍රම කීපයක්ම තිබෙනවා.

1. නිකොටින් ආදේශක භාවිතා කිරීම. (Nicotine – replacement therapy)
2. බියුප්‍රොපියෝන් (Beupropion) සහ වෙරනිසිලීන් (Vareniciline) යන ඖෂධ දෙක භාවිතා කිරීම.

සමීක්ෂණවලට අනුව ඖෂධ භාවිතයෙන් දුම්බීමට ඇති ආශාව අඩු කිරීමේ හැකියාව 20%ක් 30%ක් අතර බව වාර්තා වෙනවා. 

මනෝ චිකිත්සක ප්‍රතිකාර ඉතා සාර්ථක බව පෙනී ගොස් තිබෙනවා. මෙහිදී ප්‍රධාන ප්‍රතිකාර දෙකකි.

1. සිතුවිලි ප්‍රතිකාරය. (C.B.T.)
2. තෑගි දීමෙන් මනස උත්තේජකරන ප්‍රතිකාර. (Contingency management)

සිතුවිලි ප්‍රතිකාර ක්‍රමයේදී දුම්බීමට හිතෙන අවස්ථා මනසින් ඈත් කිරීමේ ක්‍රමවේද, දුම්බීම සමඟ ඇති වන මානසික ගැටලු දෙස විවෘත මනසකින් බැලීමට පුරැදු කිරීම. සිතුවිලි ප්‍රතිකාරය අනුව දුම්බීම යනු පරිසරයෙන් ඉෙගන ගත් හානිකර හැසිරීමකි. මෙහිදී ඇබ්බැහි වූ තැනැත්තාට හානිකර සිතුවිලි හා හැසිරීම් වෙනුවට නිවැරදි හැසිරීම් සහ සිතුවිලි රටාවන්ට පුහුණු කරනු ලැබේ.

සිතුවිලි ප්‍රතිකාරය යොදා ගන්නා ආකාරය පුංචි කතාවක් ඇසුරෙන් බලමු.

ඔහු සුමල්. වයස අවු. 18යි. දවසකට සිගරට් 10කට වඩා බොනවා. ඔහු සිගරට් බොන්න පටන් ගත්තෙ අවු. 17දී. සුමල්ගේ ආදර සම්බන්ධතාවය බිඳ වැටුණු පසු තමයි මේ විදිහට සිගරට් බොන්න පටන් ගත්තෙ. ඔහු මෙහෙම කියනවා. “මගේ girl Friend මට නැති වුණා. මට හුඟාක් දුකයි, පීඩාකාරීකමයි මට වද දෙනකොට මම සිගරට් බොනවා. ඇත්තටම මට එතකොට සහනයක් එනවා. ඒත් ඉතින් ඉස්සර වගේ නෙවෙයි. මගේ මනසටත් ශරීරයටත් හරිම මහන්සියි. පුංචි පඩිපෙළක්වත් නගින්න බෑ. මට ඉක්මනින් හති වැටෙනවා. මගේ යාළුවෝ තමයි මට මේ සිගරට් එක පුරැදු කරේ. එයාලා මට කීවේ ප්‍රශ්නයක් ආවම හිත සැහැල්ලු කරගන්න නම් සිගරට් එකක් බොන්න කියලා.

මෙහි එන සුමල් දැඩි ආතතියකින් සහ පීඩනයකින් සිටින බව හොඳින්ම පෙනෙනවා. මිත්‍යා විශ්වාස සහ ආකල්ප නිසා එම පීඩනය අවම කරගැනීමට දුම්වැටිය හොඳ ක්‍රමවේදයක් ලෙස ඔහු විශ්වාස කරනවා. මෙම විශ්වාසයෙන් සුමල් එළියට ගැනීමට සිතුවිලි ප්‍රතිකාරය යොදාගත් ආකාරය පිළිවෙළින් පිළිවෙළ බලමු.

A. දෙගිඩියාව තුළින් මනස එළියට ගැනීම. දුම්බීමේ වාසි අවාසි සුමල් සමඟ සාකච්ඡා කිරීම. ඔහුට ඒ පිළිබඳ ගැඹුරින් සිතීමට අවස්ථාවක් ලබාදීම. දුම්බීම ආතතිය අවම කිරීමේ ක්‍රමයක් නොවන බව ඔහුට ඒත්තුගැන්වීම.

B. දුම්බීමට ආසාව ඇති කරන අවස්ථා සොයාගෙන ඒවායෙන් මඟ හැරෙන ක්‍රමවලට ඔහු යොමු කිරීම. 

සුමල් බොහෝ විට දුම්බීවේ ඔහුගේ යහළුවන් සමඟයි. එය බොහෝ විට සිදුවූයේ හවස 5ත් 7ත් අතර කාලයේදීය. සුමල් වොලිබෝල්වලට ආශා කළ තරුණයෙකි. දුම්බීමට ආශාව ඇතිවන සවස 6ත් 8ත් අතර කාලය තුළදී වොලිබෝල් කණ්ඩායමක් සාදාගෙන එම ක්‍රීඩාවේ යෙදීමට සැලැස්වීම.

C. ඔහුට නිතර ඇති වන ආතතීන් සොයාගෙන ඒවා කළමනාකරණය කිරීමට මනස පුරැදු කිරීම. මෙහිදී සිතුවිලි දින පොත, තරහ පාලනය කර ගැනීමේ ක්‍රම වේද, මනස සැහැල්ලු කිරීමේ ව්‍යායාම ආදියට ඔහු පුරුදු කිරීම.
D. ආත්ම විශ්වාසය ඇති කිරීම හා අනාගත අරමුණු ගොඩ නැගීම.

ඉතිරි කොටස ලබන සතියට.....

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00