2017 පෙබරවාරි 05 වන ඉරිදා

විනාඩි 20න් ටක්කෙට කියන බෙහෙත් නැති ලෙඩේ

 2017 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 11:35 1008

 

කාලගුණික වෙනස්කම් සමඟ වෛරස් රෝග පැතිරීයාම ඉහළ ගොස් තිබේ. ඩෙංගු ඒ අතරින් ප්‍රධානය. ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100ක පමණ ජානපදික (Endermic) තත්ත්වයට පත්ව ඇත. ආබො වෛරස් නම් පවුලේ ෆ්ලේවි වෛරස් ගණයට අයත් වෛරසයක් මගින් මෙම රෝගය ඇති කරයි. මෙම වෛරසයේ දර්ශ 4ක් (DENV 1, 2, 3, 4) ඇත. එබැවින් යම් පුද්ගලයෙක් ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වන්නේ ආසාදනය වූ දර්ශයට විරුද්ධව පමණි.  එබැවින් ඉතිරි දර්ශවලින් නැවත ආසාදනය වීමක් සිදුවිය හැක. වරක් ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයෙක් වෙනත් දර්ශයක් මගින් ආසාදනය වූ විට ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. 

ඩෙංගු වෛරසයේ ප්‍රධාන වාහකයා ඊඩිස් ගනයට අයත් මදුරුවන් වන අතර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය රැඳෙන ස්ථාන උන්ගේ අභිජනන ස්ථාන වේ.

වසර 50ක පමණ කාලයක සිට ඩෙංගු රෝගය ලංකාව තුළ පැවතියත් පළමු වරට වසංගත තත්ත්වයක් වාර්තා වූයේ 1989 දීය. එය කොළඹ දිස්ත්‍රික්කයට සීමා වූ අතර 200කට අධික පිරිසකට රෝගය වැළඳී එයින් 20ක් පමණ මිය යන ලදී. පසුගිය වසර 5 තුළම වසංගත තත්ත්වයන් ඇති වූ අතර වසරකට රෝගීන් 40000කට වඩා වාර්තා විය. මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 500ක් පමණ වාර්තාවේ. මේ වසරේ මුල් මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2584ක් වාර්තා වී තිබේ. මේ නිසා ඩෙංගු රෝගයෙන් බේරීමට නම් ඒ ගැන නිසි දැනුමක් ලබාගන ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවීම අවශ්‍යය. මේ ලිපිය ඒ වෙනුවෙනි.

රෝග තත්ත්වය හා රෝග ලක්ෂණ

ඩෙංගු වෛරසය ශරීරගත වූ අයගෙන් බොහෝමයක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් බීජෞෂණ සමය දින 3 සිට 14 අතර කාලයේදී පහත ලෙස එක් ආකාරයකින් රෝගී තත්ත්වය පෙන්විය හැක.

1.සාමාන්‍ය සුළු උණ තත්ත්වය
2.ඩෙංගු උණ
3.ඩෙංගු රක්තපාත උණ
4.අසාමාන්‍ය ඩෙංගු උණ

ඩෙංගු නොමැති රටක සිට පැමිණෙන විදේශිකයෙකුට මුල්දින 3 ඇතුළත වැළඳෙන උණ ඩෙංගු විය නොහැක.
ඩෙංගු නොමැති රටකට විදේශගත වන ලාංකිකයෙකුට දින 14කට පසුව ඇතිවන උණ ඩෙංගු විය නොහැක.

රෝග නිශ්චය

• ඩෙංගු රෝගය නිශ්චය ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ මත සිදු වේ. එහෙත් රසායනාගාර පරීක්ෂණ ද ඒ බව තහවුරු කරගැනීමට උදව් කර ගනී.

• FBC (Full Blood Count) පරීක්ෂාවේදී සුදු රුධිරාණු 5000/ mm3ට වඩා අඩුවීම, රුධිර පට්ටිකා 150000/ mm3ට වඩා අඩුවීම.

• රුධිරයේ dengue NS 1 පරීක්ෂාව මගින් රෝගයේ මුල් දිනවලදී බොහෝමයක් රෝගීන් හඳුනා ගතහැක.

• Dengue PCR පරීක්ෂණයද රෝගයේ උණ සහිත මුල්දින කීපයේදී ඉතා සංවේදී වේ.

• රෝගියා පදිංචි ප්‍රදේශයේ මෙම කාලය තුළම තවත් රෝගීන් වර්තා වී තිබීමද ඩෙංගු රෝගය බවට සැක කිරීමට උපකාරී වේ.

• Dengue ප්‍රතිදේහ (IgM & IgG) පරීක්ෂාව රෝගය වැළඳී තිබූ බවට පෙන්නුම් කරන පරීක්ෂාවකි.

• ඩෙංගු රක්තපාත උණ ඩෙංගු උණ තත්ත්වයෙන් නිවැරදිව සහ පැහැදිලිව වෙන් කර ගන්නේ ultra sound scan පරීක්ෂාව මගිනි.

• ඉතා ඉක්මණින් ඩෙංගු රෝගය වැළඳුණු බව දැනගත හොත් සංකූලතා අවම කරගත හැක.

ඉතා ඉක්මණින් ඩෙංගු රෝගය වැළඳුණු බව දැන ගතහැකි පරීක්ෂණ.

1.Dengue Rapid Antigen test (NS 1)

• විනාඩි 20කින් ප්‍රතිඵල ලබාගත හැක
• සුළු රුධිර ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ. (ඇඟිල්ල විද)
• අවශ්‍ය වන්නේ අවම තාක්ෂණික දැනුමකි රෝහල් වාට්ටුව තුළදීම කළහැක.
• මේ සඳහා භාවිත කරන Test strip එක නිවරදිව ගබඩාකර තිබිය යුතුය. (1-250C)
• පළමු දිනයේ - උණ 1000Fට වඩා වැඩි බව උණ කටුවකින් බලා තහවුරැ කරගෙන පළමු පැය 24 තුළ පරීක්ෂණය සිදුකළ හොත් එහි නිවැරදි සංවේදීතාව 99%කට වඩා වැඩිවේ.
• පස්වන දින 50%කට අඩු ප්‍රමාණයක් ලෙස සංවේදීතාව අඩු වේ.
මේ අනුව 5වන දින මෙම පරීක්ෂාණය සිදුකළ හොත් 50%කට ආසන්න ප්‍රමාණයකට ඩෙංගු වැළඳී ඇති බව හඳුනාගැනීමට මෙම පරීක්ෂණය අපොහොසත් වේ.

ප්‍රමාද වී පරීක්ෂණ කිරීම ඵලදායී නැත.

ඩෙංගු සෑදුණු බව උණ සෑදී මුල් දින කීපය තුළදී දැනගැනීමෙන් ඩෙංගු මරණ අඩුකර ගත හැක.

Full Blood Count කිරීමට සුදුසු අවස්ථාව

• උණ සෑදී 3වන දින සිට FBC පරීක්ෂාව කිරීම වැදගත් වේ. සාමාන්‍යයෙන් 3වන දිනයේදී 
WBC අඩුයි 5000/ mm3

Platelet අඩු 200000/ mm3 ලෙස විය හැක

මෙය වෙනත් වෛරසවලදීද දැකගත හැක. එබැවින් තව දුරටත් මෙම FBC පරීක්ෂාව නැවත කිරීමට සිදු වේ. (සුළු රෝගීන් ප්‍රමාණයකගේ WBC හා Platelet සැලකිය යුතු ලෙස අඩු නොවී තිබිය හැක එයින් ඩෙංගු නොමැති බව තහවුරු නොවේ.)

• FBC - උණ බැස ගිය පසු FBC කිරීම අත්‍යාවශ්‍යද, ඩෙංගුවලදී ප්‍රශ්න මතුවන්නේ බොහෝවිට උණ බැස ගිය පසුවය. එබැවින් HBC පරීක්ෂණය නැවත සිදු කළ යුතුය.

• උණ නොමැති වුවත් නැවත FBC නොකර සිටීමට එය හේතුවක් නොවේ.

• රෝගී තත්ත්වය දිගටම පවතීනම් (උණ බැස නොගොස් කෑම රුචිය වර්ධනය නොවී ශරීර වේදනාව පවතී නම්) FBC Repeat කළ යුතුය.

Dengue Antibody Test කිරීමට සුදුසු අවස්ථාව වන්නේ

• උණ සෑදී දින 7න් පසු
• NS 1 Antigen test නොකළ අයගේ දින 5න් පසුව Positive විය හැක.
• සමහර විට Positive වීමට උණ සෑදී දින 10ක් පමණ ගතවිය හැක.
• ඩෙංගු රෝගය සෑදී තිබූ බවට තහවුරැ කරගැනීමට සුදුසු පරීක්ෂාවකි. මෙය ප්‍රතිකාර කිරීමේදී එතරම් වැදගත් නොවේ.

රෝහල් ගතකළ යුතු වැඩි අවදානමක් සහිත ඩෙංගුයැයි සැක කරන රෝගීන් වන්නේ
• වයස අවුරුද්දට අඩු ළදරුවන්
• වයස 70ට වැඩි රෝගීන්
• තරබාරු රෝගීන්
• ගර්භණී මව්වරුන්
• නිධන්ගත රෝග සහිත රෝගීන් (දියවැඩියාව, ඇඳුම, වකුගඩු රෝග, රුධිරය සම්බන්ධ රෝග)
• වෙනත් බරපතළ රෝග පිළිකා වැනි දුෂ්කර ජීවන තත්ත්වයන්, (තනිකඩ ජීවත් වීම, සෞඛ්‍ය සේවා ඉක්මණින් ලබා ගැනීමට අපහසු රෝගීන්)

ඩෙංගු සම්බන්ධ උවටැන් ගැන සැලකිය යුතු කරුණු

• රෝහල් ගත කිරීමට අවශ්‍ය නොවන ඩෙංගු ආසාදිත රෝගීන්ට නියමිත ප්‍රමාණයට දියර වර්ග පානය කිරීමට සලස්වන්න. වැඩිහිටි රෝගියෙකු පැය 24ක් ඇතුළත 2500ml පමණ දියර ප්‍රමාණයක් බර 50kgවලට වඩා වැඩි රෝගීන්ට 50ml/kg හෝ 2ml/kg/hr ලෙස දියර ලබාදිය යුතුය.

• උණට අමතරව වමනය පාචනය වැනි තත්ත්වයන් ඇති වුවහොත් රතු දුඹුරු පැහැති ආහාර (තේ කෝපි තදපාට පැණි බීම චොක්ලට් බීට්) ලබාදීමෙන් අභ්‍යන්තර රුධිර වහනයකදී වමනය, මළපහ කළු පැහැ වීම වෙන්කර හඳුනාගැනීම අපහසු වන බැවින් එවැනි ලබාදීමෙන් වළකින්න.

• රෝගියා විවේක සුවයෙන් තබන්න.

• උණ දිගටම පවතී නම් 3වන දිනයේ සිට දිනපතා FBC කිරීමට සිදුවන බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.

• උණ පාලනයට නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ලබා දෙන්න. (දරැවන්ගේ බර අනුව 10-15mg/kg බැගින් පැය 6කට වරක්)

• තදින් උණ පවතී නම් පිරිසිදු රෙදිකඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ අත් පා දෙසින් පටන් ගෙන ශරීරය දෙසට තැවීම සිදුකරන්න. අවසානයේ නළල බෙල්ල කිහිලි හා පපුව ඉදිරිපස හා පසුපස තැවීම සිදුකරන්න. මේ සඳහා සීතල වතුර භාවිත නොකරන්න.

• උණ රෝගීන්ට Ibuprofen, Diclofinac, Mefanamic acid, වැනි NSAIDS වැනි බෙහෙත් aspirin, හෝ steroids වැනි බෙහෙත් වර්ග ලබාදීමෙන් රුධිර වහනය සිදුවිය හැකි බැවින් එවැනි බෙහෙත් ලබා නොදීමට වගබලාගන්න.

• අවශ්‍ය අවස්ථාවන්හිදී වමනය පාලනය කිරීමට හා ආමාශයේ ඇසිඩ් ශ්‍රාවය පාලනය කිරීමට අදාළ ඖෂධ ලබාදිය හැක.

ඩෙංගු රෝගය පාලනය කළ හැක්කේ කෙසේද?
• රෝග වාහක මදුරුවන් මර්දනය කිරීම.
• මදුරුවන් දෂ්ඨ කිරීම අවම කර ගැනීම.

♦ උපදෙස් : ඩෙංගු සායනික කළමනාකරණ මධ්‍යස්ථානය

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00