2017 පෙබරවාරි 05 වන ඉරිදා

තහනම් ඇපල් සොයා යන්නේ ඇයි?

 2017 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 11:28 920

 

ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී වුවත් එය වසංගතයක ආකාරයට පැතිරී යාමට හේතු වී තිබේ.නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය, දිළිඳු බව, කාන්තාවන් විදේශගත වීම, ඇඟලුම් කම්හල් සහ නිදහස් වෙළෙඳ කලාපයේ කාන්තාවන් රැකියාවන්හි නියුක්ත වීම, සංචාරක ව්‍යාපාරය, නවීකරණය, යුද්ධය, ව්‍යාප්ත වූ පවුල් වෙනුවට න්‍යෂ්ඨික පවුල් ඇතිවීම නිසා පවුල් සංස්ථාව බිඳ වැටීම, අශ්ලීල ප්‍රකාශන ආදී වශයෙන් මෙකී නොකී සියල්ල අඩු වැඩි තරමින් ගණිකා වෘත්තිය පැතිරීමට හේතුසාධක වී තිබේ.

මිනිසුන් ගණිකාවන් වෙත යන්නේ ඇයිදැයි සොයා බැලීම ද වටී. තමන්ගේ ලිංගික සහකාරියගෙන් වෙන්ව ජීවත් වෙනවිට, ලිංගික සහකාරිය මියගිය විට, වෙනත් සහකාරියක නොමැති විට, තම ලිංගික සහකාරිය ලිංගික සම්බන්ධතාවන් ප්‍රතික්ෂේප කරන විට, තම ලිංගික ජීවිතයේ ඒකාකාරී බවක් දැනෙන විට සහ තමාගේ අස්වාභාවික ලිංගික අපේක්ෂාවනට තම ලිංගික සහකාරිය අවනත නොවන විට පිරිමින් ගණිකාවන් සොයා යාමට පෙළඹෙන බව පෙනේ. 

ගණිකා වෘත්තියේ යෙදී සිටින්නන් විසින් ලබාදෙන සේවාව බොහෝ විට තම පෞද්ගලික ලිංගික සහකාරියගෙන් ලබාගැනීමට අපහසු ය. තම සේවාදායකයාගේ සිතැඟි පරිදි හැසිරීමට ගණිකාවන් සූදානමින් සිටී. තමන්ට වැඩිපුර මුදල් හමුවන්නේ එවිට ය. පරපීඩක කාමුකත්වය සහ ස්වපීඩක කාමුකත්වය, මුඛ සංසර්ගය, ගුද සංසර්ගය, කිහිප දෙනකු සමඟ එකවර සංසර්ගයේ යෙදීම වැනි ලිංගික ක්‍රියාවන් සඳහා ගණිකාවන් සූදානමින් සිටී. එවැනි සුවිශේෂ ලිංගික ක්‍රියාවන් මගින් ලබාගන්නා තෘප්තිය බොහෝ විට තම ස්ථිර ලිංගික සහකාරියගෙන් ලබාගැනීමට නොහැකි වනු ඇත.
ගණිකා වෘත්තිය යනු මිනිසුන් දුශ්චරිතයට පොළඹවනු ලබන සමාජ පිළිලයක් ලෙස බොහෝ දෙනකු සලකනු ලැබේ. එහෙත් වෛද්‍යවරුන් ගණිකා වෘත්තිය දෙස බලන්නේ ඊට වෙනස් ආකාරයකට ය. ගණිකා වෘත්තිය නිසා ඇතිවන අයපත් ප්‍රතිඵලයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔහුගේ යුතුකම වන්නේ ය.

ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ගේ සෞඛ්‍යය පිළිබඳව ද වෛද්‍යවරුන්ට අවධානය යොමුකිරීමට සිදුවේ. ගණිකාවන්ගෙන් සේවාදායකයාට බෝවිය හැකි රෝග සහ සේවාදායකයන්ගෙන් ගණිකාවට බෝවිය හැකි රෝග වැළැක්වීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳව ද වෛද්‍යවරයාට කටයුතු කිරීමට සිදුවේ.

ඒඩ්ස් මාරාන්තිකය. උපදංශය යනු නිධන්ගත වන රෝගයකි. එය වැළඳුණු අයට ශාරීරික විකෘතිතා ඇතිවිය හැකි ය. උපදංශය වැළඳුනු කාන්තාවකගේ කුසයේ සිටින දරුවා මානසික සහ කායික ආබාධිත තත්ත්වයට පත්විය හැකි ය. ගොනෝරියාව ගණිකාවන් හරහා ශීඝ්‍රයෙන් බෝවිය හැකි රෝගයකි. මුත්‍රා දැවිල්ල සහ හන්දි ප්‍රදාහයත් ඒ මගින් ඇති වේ. ජෙනිටල් හර්පිස් නිසා ලිංගේන්ද්‍රියන්ගේ බිබිලි ඇති වේ. ඒවා වේදනාකාරී ය. කැඩී ගිය විට දැවිල්ල ඇති වේ. ලිංගික ඉන්නන් ද කරදරකාරී රෝගයකි. ඒවා නිසා පසු කලෙක ගර්භාෂයේ ගෙලේ පිළිකා ඇතිවිය හැකි ය.හෙපටයිටිස් බී සහ සී ලිංගිකව ද සම්ප්‍රේෂණය විය හැකිය. එය මගින් සෙංගමාලය ඇති වේ. පසු කලෙක අක්මා පිළිකා ඇති වීමට ද පුළුවන. සමාජ රෝගවලින් පෙළෙන විවිධ පුද්ගලයන් ගණිකා ඇසුරට පැමිණිය හැකිය. රෝගය ඇති තැනැත්තා සහ තැනැත්තිය හඳුනාගැනීමේ ක්‍රමයක් ගණිකාවන්ට නොමැත. එබැවින් ගණිකාවන්ට මෙම රෝග වැළඳීමට ඇති ප්‍රවණතාව වැඩිය. එබැවින් ගණිකාවන්ට සමාජ රෝග වැළඳී තිබේදැයි වරින්වර පරීක්ෂා කර බැලීම දෙපාර්ශවයේම සෞඛ්‍යයට හිතකරය. සෞඛ්‍ය දෙපාර්තමේන්තු මගින් සෑම ප්‍රධාන රෝහලකටම අනුබද්ධව ලිංගික සම්ප්‍රේෂණය වන රෝග සායනයන් (STD clinics) ද පිහිටුවා ඇත්තේ එබැවිනි.

ගණිකාවන්ගෙන් බෝවිය හැකි සමාජ රෝග තමන්ට බෝවීම වළක්වාගත හැකි හොඳම ක්‍රමය නම් ඔවුන් වෙත නොයෑම ය. ඊළඟට ඒවා බොහෝ දුරට වළක්වාගත හැකි ක්‍රමය නම් ගණිකාවන් සමඟ ලිංගික හැසිරීමේදී ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීම ය. කොන්ඩම් භාවිතය මගින් ඒඩ්ස් ඇතුළු බොහෝ සමාජ රෝග බෝවීම වළක්වා ගත හැකිය.

දැන් පිරිමින්ට භාවිත කළ හැකි “පිරිමි කොන්ඩම මෙන්ම කාන්තාවන්ට තම යෝනි මාර්ගයට ඇතුල් කළ හැකි ගැහැනු කොන්ඩම ද නිෂ්පාදනය කර තිබේ. කොණ්ඩමය භාවිතා කිරීම දරුවන් පිළිසිඳ ගැනීම වැළැක්වීමේ පවුල් සංවිධාන ක්‍රමයක් මෙන්ම ලිංගික සම්ප්‍රේෂණය වන රෝග බෝවීම වැළැක්වීමේ ක්‍රමයක් ද වන්නේය. එබැවින් කොන්ඩම භාවිතය නිසා ගණිකා වෘත්තියේ යෙදී සිටින කාන්තාවන්ට ලිංගිකව බෝවන රෝගවලින් මෙන්ම ගර්භණී වීමෙන් ද ආරක්ෂා වී සිටීමට හැකිය.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ. ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00