2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පපුවේ අමාරුව තරම්ම දරුණු ලෙඩේ ඇදුම

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 1373

මේ කාලයේ බහුල ලෙස අහන්නට ලැබෙන රෝගයක් තමා ඇදුම. වායු දූෂණය වගේම දුම්පානය බඳු වැරදි, හානිකර චර්යා රටා නිසා දැන් මේ රෝගය වැඩියෙන් වාර්තා වෙනවා. ඇදුම කියලා කියන්නේ ශ්වාස නාළ ඇකිලෙන, ඉදිමෙන සහ අනවශ්‍ය විදිහට ශ්ලේෂ්මල (සොටු) නිපදවෙන තත්ත්වයක්.

හුස්මගැනීමේ අපහසුතා, කැස්ස, පපුවේ රාං රූං ශබ්දය, හුස්ම කෙටිවීම රෝග ලක්ෂණ විදිහට දකින්න පුළුවන්. මේ රෝගය ඒ තරම් නොසලකා හැරිය හැකි තත්ත්වයේ සිට දවසේ එදිනෙදා වැඩවලට බාධා ඇතිවන බැරෑරැම් තත්ත්වය දක්වා පරාසයක විහිදෙනවා. මූලිකවම හඳුනාගත් පසු මෙය තමන්ගෙ ජීවිතයට බාධාවක් නොවෙන අන්දමට පාලනය කරගන්නට හැකියාව තියෙනවා. ඇදුම නිට්ටාවටම සුවකරන්න නම් අමාරැයි. රෝග ලක්ෂණ පාලනය කරන්න තමයි පුළුවන්. හේතුව තමයි කාලයත් එක්ක මේ රෝගය වෙනස්වෙන එක. නමුත් ඇදුමත් සමඟ පාලනයක් ඇතිව ජීවත්වෙලා ලොකු ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩා තරැ පවා දකින්නට පුළුවන්. රෝග ලක්ෂණ හොඳින් හඳුනාගත් වහාම වෛද්‍ය සහ චර්යා ප්‍රතිකාර ඇරුඹීමයි කළ යුතුවන්නේ. 

රෝග ලක්ෂණ! 

එක් එක් රෝගියාට අනුව මේ රෝග ලක්ෂණ වෙනස් වෙනවා.

කෙටි හුස්ම, හුස්ම ගැනීමේ අපහසුතා, පපුව හිරවෙන ගතිය, නින්දට බාධාවීම, කැස්ස, පපුවේ රාං රූං ශබ්දය

සමහර අයට විවිධ අවස්ථාවලදී රෝග ලක්ෂණ වැඩිවෙනවා දකින්න පුළුවන්.

මේ අය වෛද්‍යවරකු හමුවෙන්න ඕනේ කොයි වගේ අවස්ථාවකද?

ජීවිතයට වුවත් තර්ජනයක් එල්ලවෙන උග්‍ර ඇදුම අවස්ථාවකදී.

පපුවේ රාං රෑං ශබ්දය සහ කෙටි හුස්මගැනීම දරැණු අතට හැරැණොත්.

ඉක්මනින් සහනයක් ලැබෙන ඉන්හේලරයක් පාවිච්චි කළත් රෝග ලක්ෂණ අඩු නොවුණොත්.

ඉතා සුළු ශාරීරික ක්‍රියාකාරකමක් කළත් කෙටි හුස්මගන්න සිද්ධවෙනවා නම්.

ඇදුම ඇතිවීමට බලපාන මූලික කරුණු

මේ රෝගය හැදෙන්නේ පාරිසරික සහ ජානමය සාධකවල එකතුවකින්. ආසාත්මිකතා ඇතිවෙන්න මූලිකවෙන එක එක වර්ගයේ ද්‍රව්‍යවලට හෝ විවිධ අවස්ථාවලට නිරාවරණය වීම නිසා රෝග ලක්ෂණ පහළ වෙනවා. මේ රෝග හේතුන්ද  පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.

වාතයේ ඇති මල්වල පරාග, බීජාණු, දූවිලි අංශු, කැරපොතු අපද්‍රව්‍ය 

ශ්වසන පද්ධතියේ රෝග (හෙම්බිරිස්සාව)

ශාරීරික ක්‍රියාකාරකම්

සීතල වාතය, දුම් වර්ග

සමහර බෙහෙත් වර්ග

ප්‍රබල හැඟීම් සහ ආතතිය

අමාශයේ දැවිල්ල

අවදානම් සාධක

ඔබට, ඇදුම වැළඳීමට හේතුවන කාරණා මෙහෙමයි.

ඇදුම රෝගය ඇති ලේ ඥාතියෙක් සිටීම.

පීනස ආදී වෙනත් ආසාත්මිකතා තිබීම.

විවිධ වායූ දූෂකවලට නිතර නිරාවරණය වීමට සිදුවීම.

අධිබර සහිත අයෙකු වීම.

දුම්බීම හෝ නිතර දුමට නිරාවරණය වීම.

වගාකිරීමේදී, රූපලාවන්‍ය කටයුතුවලදී සහ කර්මාන්තවලදී භාවිතා වන රසායනික දුමාරවලට නිරාවරණය වීමට සිදුවීම යන කාරණා හේතුවෙන් ඇදුම හැදෙන්න තියෙන අවස්ථාව වැඩිවෙනවා.

සංකූලතා

නින්දට, එදිනෙදා වැඩවලට, පාසල් කටයුතුවලට බාධාවන රෝග ලක්ෂණ හටගනියි.

ශ්වාස නාළවල සිදුවන ස්ථිර හැකිලීම්.

ඇදුම උග්‍ර අතට හැරීම.

දීර්ඝ කාලයක් ඖෂධ භාවිත කිරීම නිසා ඇතිවන අතුරැ ආබාධ යනාදිය ඇදුම නිසා ඇතිවන අතුරැ ආබාධ හැටියට දක්වන්න පුළුවන්. 

නියමිත කාලයක් තුළ නිසි ප්‍රතිකාර ලබාගන්නවා නම් මේ කෙටි සහ දීර්ඝකාලීන සංකූලතා වළක්වාගන්න පුළුවන්.

රෝගය හඳුනාගැනීම

දැන් මේ සඳහා පරීක්ෂණ ප්‍රධාන රෝහල් හැම එකකදීම වාගේ සිදුකරගත හැකියි. හුස්මගන්නකොට පිටවෙන සහ ඇතුළුවෙන වාතය ආශ්‍රිත කරගෙන පෙනහළුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරලා අපිට පුළුවන් ඇදුම තත්ත්වය හඳුනාගන්න. ඒ සඳහා ප්‍රධාන පරීක්ෂා 2ක් දැක්විය හැකියි. 

1. Spirometry ක්‍රමය – ශ්වාස නාළ හැකිලී තිබෙන ප්‍රමාණය මනින පරීක්ෂණයක්.

2. Peak flow meter ක්‍රමය – හුස්මගන්න පුළුවන් ප්‍රමාණය පරීක්ෂා කරන්න මේ ක්‍රමය යොදාගන්නවා.

ශ්වාස නාළ හැකිළෙන එක වළක්වන්න බෙහෙත් ලබාදෙන්න පෙර හා පසුව මේ පරීක්ෂණ කරලා ඇදුම තත්ත්වය තහවුරැ කරගන්න පුළුවන්.

ප්‍රතිකාර කිරීම

ඇදුම තත්ත්වය වළක්වාගැනීම සහ දීර්ඝකාලීනව මැඩපැවැත්වීම තමයි බෙහෙත් ලබාදීමේ මූලිකම අරමුණ.

වයස, රෝග ලක්ෂණ සහ රෝගයේ හටගන්නා හේතු සාධක මත ලබාදෙන බෙහෙත් වර්ගය, ප්‍රමාණය රඳා පවතිනවා.

බෙහෙත් මගින් ප්‍රදාහ තත්ත්වය අඩුකරනවා වගේම හැකිලුණු ශ්වාස නාළිකා විවෘත කිරීමත් සිදුකරනවා.

ප්‍රධානම සාධකය ලෙස ජීවන රටාවේ වෙනස්කම් ඇතිකරගැනීම දැක්විය හැකියි.

මෙහිදී මූලිකම කාරණාව තමා රෝග මතුකරන හේතුසාධකවලට නිරාවරණය වීමෙන් වැළකී සිටීම.

1.  වායු සමීකරණ භාවිතය. 
2.  දූවිලිවලට නිරාවරණය නොවීම.
3.  නිතරම නිවස පිරිසුදු කිරීම.

එදිනෙදා සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම.

දිනපතා ව්‍යායාම් සිදුකිරීම.

උසට සරිලන නිසි බර පවත්වාගැනීම.

ආමාශයේ දැවිල්ල ඇතිවීම වළක්වාගැනීම.

දුම්පානය අත්හැරීම.  

මූලික අවස්ථාවේදීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම මෙහිදී අතිශය වැදගත් බව මතක තබාගත යුතුයි. විශේෂයෙන්ම මතක තබාගන්න, ඇදුම සඳහා කෙම්ක්‍රම, කෙටි විසඳුම්, අත්බේත් නෑ! 

 සුගත්