2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

මනසේ සැඟවුණු රහස් (DEFENCE MECHANISM)

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1664

අපගේ ජීවිතය එදිනෙදා ගෙවන විට නොයෙකුත් පුද්ගලයන් සමඟ ඇතිකරගන්නා කතාබහ, ක්‍රියාකරන ආකාරයන් හොඳින් අධ්‍යයනය කරොත් ඔබ කවුදැයි ඔබට සොයාගැනීමට අපහසු නොවනු ඇත. අප එදිනෙදා ගතකරන ජීවිතය නොයෙකුත් ආතතීන්ගෙන් (Anxieties) පිරී ඇත. මෙම ඇති වන ආතතීන්ගෙන් ඇතිවන හානිය අවම කර මනස ආරක්ෂා කිරීමට අවම කර මනස ආරක්ෂා කිරීමට නොයෙකුත් ආරක්ෂණ විධි සහ ක්‍රම (Defense Mechanisms) තිබෙන බව මුලින්ම සොයා ගත්තේ 1874 දී සිග්මන් ප්‍රොයිඩ් නම් ඔස්ට්‍රියානු මනෝවිද්‍යාඥයා විසිනි. මෙම සොයාගැනීම් තවදුරටත් දියුණු කළේ ප්‍රොයිඩ් ගේ දියණිය වන ඈනා ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥවරිය විසිනි. ප්‍රොයිඩ්ට අනුව මනස කොටස් තුනකි.

I උඩු සිත (Superego)
II මැද සිත (Ego)
III යටි සිත (ID) 

උඩු සිත අපි සදාචාරාත්මක සංස්කෘත්‍රීමය රටාවන් කෙරෙහි සිතුවිලි සහ හැසිරීම යොමු කරන අතර යටිසිත ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය යන ආශාවන් අමු අමුවේ අපේ සිතුවිලිවලට එකතු කරයි. නමුත් අපි එදිනෙදා ගතකරන ජීවිතයට අවශ්‍ය සිතුවිලි සහ හැඟීම් පාලනය කරනුයේ මැද සිතයි. මෙය උඩු සිතේ ඇති සාදාචාරයත් යටි සිතේ ඇති ආශාවනුත් දෙකම පෙරා වෙන් කරගෙන සමාජයට අවශ්‍ය ලෙස ගොඩනගනු ලබයි. නමුත් ක්ෂණිකව අපට ඇති වන ආතතීන් පාලනය කරගත නොහැකි වූ විට පහත සඳහන් ලෙස විස්තර වන මනසේ ආරක්ෂණ විධි සහ ක්‍රම (Defense Mechanisms) නිර්මාණය කර ආතතිය පාලනය කරනුයේ අපේ මැද සිතයි. (Ego) මෙය අප නොදැනුවත්ව සිදුවේ. මේවා මොනවාදැයි අපි දැන් සොයා බලමු.

1. අප්‍රසන්න හෝ වේදනාකාරී සිතුවිලි යටපත් කිරීම (Repression)

සිග්මන් ප්‍රොයිඩ්ට අනුව අපේ සිත උඩු සිත (Superego), මැද සිත (Ego), සහ යටි සිත (ID) යනුවෙන් කොටස් තුනකට බෙදෙනවා. සමහර විට අපේ එදිනෙදා ජීවිතයේ සිදුවන සමහර සිදුවීම් අප්‍රසන්න හෝ පීඩාකාරී හෝ වේදනාකාරී විය හැකියි. මේවා උඩු සිතට දරා ගැනීමට නොහැකි වූ විට අපට නොදැනෙන සේ (Unconsciously) යටි හිතට තල්ලු කරයි. මෙම මානසික ක්‍රියාවලිය අප නොදැනුවත්ව සිද්ධ වේ. මෙයද අපගේ මනස ආරක්ෂා කරන යාන්ත්‍රණයකි. උදාහරණයකින් මෙය අපි පැහැදිලි කර ගනිමු.

ධනුෂිගේ කතාව -

ධනුෂි සුපුන් සමඟ විවාහ වී දැනට වසර 5යි. අවු. 2ක දරුවෙක්ද සිටී. මීට මාස 12කට පමණ පෙර දෙදෙනා අතර පොඩි සැකයක් අරඹයා දරුණු ලෙස රණ්ඩු දබර විය මෙහිදී තම තරහ පාලනය කරගත නොහැකි වූ සුපුන් දරැණු ලෙස අතින් පයින් පහර දුන්නේය. මෙහිදී ධනුෂිගේ එක් දතක් ද ගැලවිනි. නමුත් දැන් දෙදෙනා කිසිදු ගැටලුවක් නැතිව සතුටින් සිටින අතර ඇයට එම පහර දීම හා එක් දතක් ගැලවීම සිදුවූ ආකාරය පිළිබඳ කිසිදු මතකයක් නැත. 

2. පිළිගැනීමට අකමැති වීම (Denial)

මෙය තවත් මනස තුළ නොමේරෑ ආරක්ෂණ ක්‍රම වේදයකි. සිග්මන් ප්‍රොයිඩ්ගේ දුව වන ඈනා ප්‍රොයිඩ් සවිස්තරව විග්‍රහ කරන ලදී. අපට එදිනෙදා ජීවිතයේ ඇති වන සමහර කම්පන සහ අතතීන් දරා ගැනීමට නොහැකි වූ විට උඩු සිත එය පිළිගැනීමට ඉඩ නොදී එවැනි දෙයක් සිදු නොවූවාසේ ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙය උදා: මගින් බලමු.

ප්‍රනීත්ගේ කතාව -

ප්‍රනීත්ගේ වයස අවු. 15යි. ප්‍රනීත්ගේ මව හදිසි රිය අනතුරකින් මිය ගියාය. අවමඟුල් ගෙදර පැමිණි සියලු දෙනා පුදුමයට පත් වූයේ ප්‍රනීත්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාව දුටු විටය. ඔහුගේ මුහුණෙන් කිසිම දුකක් ප්‍රකාශ වූණේ නැහැ. ගෙදරට පැමිණි සියලු දෙනාම ඔහු පිළිගත්තේ සිනාමුසුව සතුටින්ය. මිනී පෙට්ටියේ සිටින මව ගැන හිතවතුන් ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ තම මව නිදාගෙන සිටින බවයි. කිසිම දුකක සේයාවක් මුහුණෙන් හෝ හැසිරීමෙන් ප්‍රකාශ නොවන බව දුටු ප්‍රනීත්ගේ පියාද පුදුමයට පත්විය.

3. තම වරද සඟවා අනෙකකු වෙත පැවරීම (Projection)

සමහර අවස්ථාවලදී ඔබගේ වරද ඔබ හොඳටම දනී. නමුත් එම සිතුවිලි සහ හැඟීම් තමා වෙත පටවා නොගෙන පිටස්තර සිද්ධියකට හෝ පුද්ගලයකුට පැවරීමක් කරයි. මෙයද මනසේ නොමේරෑ ආරක්ෂණ උපක්‍රමයකි. උදා: මගින් බලමු.

ධනුෂාගේ කතාව -

ධනුෂා බැංකු නිලධාරිනියකි. ඇය දිනක් බැංකුවට පැමිණෙන විට පැය දෙකක් පමා වී තිබුණි. බැංකු කළමනාකරැ මේ ගැන ඇගෙන් විමසූ විට ධනුෂා ක්ෂණිකව පැවසුවේ තමා දිනපතා එය බස්රථය අතරමඟදී ක්ෂණිකව මඟ නතර වීමෙන් පැමිණීමට පමා වූ බවකි. නමුත් සත්‍ය සිද්ධිය එය නොවේ. එදා උදේ ඇය තම ස්වාමියා සමඟ රණ්ඩු දබර වීමක් සිදුවී තිබූ අතර ඒ නිසා පමාවීම සිදුවීමයි.

4. බොරුවට තාර්කික වීම. (Rationalization)

මෙයද මනසේ ඇතිවන නොමේරූ ආරක්ෂණ උපක්‍රමයකි. සමහර විට ඔබ ගල්පැලෙන බොරු තර්ක විතර්ක ඉදිරිපත් කර සැබෑ සත්‍ය යටපත් කිරීමට බලයි. මෙසේ ඔබ කරන්නේ ඔබට එන චෝදනාව හෝ ඇනුම් බැනුම්වලින් බේරීමටය. 

පසිදුගේ කතාව -

පසිදුගේ උසස් පෙළ විභාගයට කැප වී මහන්සි වී වැඩ කළ සිසුවෙකි. දවසට පැය 7කට වඩා පාඩම් කළේය. පසිදු සහ ඔහුගේ මවුපියන්ගේ එකම සිහිනය වුණේ පසිදුව ඉංජිනේරුවෙකු කිරීමයි. නමුත් උසස් පෙළට මුහුණ දුන් පසිදුට ලැබුණේ සාමාන්‍ය සාමාර්ථ තුනක් පමණි. ඔහු මේ ප්‍රතිඵලය පිළිබඳ පුදුමයට පත්විය. දෙමාපියන් සමඟ නිතරම තර්කවලට එලඹී පසිදු කියා සිටියේ මෙවර විභාගය අනෙක් කිසිදු වසරකට වඩා අමාරු බවය.

3. නැති බල පුළුවන්කාරකමක් මවා පෙන්වීම. (Identification)

මෙයද මනසේ නොමේරූ ආරක්ෂණ උපක්‍රමයකි. යම්කිසි පුද්ගලයකුට යම් ස්ථානයක නිසි පිළිගැනීම, නිසි ගෞරවය, නිසි තැන නොලැබුණු අවස්ථාවලදී එම හීනමානය යටපත් කර ගැනීමට තමා නොදැනුවත්වම තමාට නොමැති උසස් චරිතයක් හෝ ගරු ගාම්භීර බවක් ලබාගැනීමයි. ලූලා නැති වළට කනයා පණ්ඩිතයා කියන්නෙත් මෙයටයි.

සුසිල්ගේ කතාව -

සුසිල් උසස් පෙළ හොඳින් සමත් වී සරසවියට යාමට සිහින මවමින් සිටි තරුණයෙකි. නමුත් උස්ස පෙළ හොඳින් සමත් වූ සුසිල්ට සරසවියට යාමට නොහැකි විය. අවසානයේ ඔහුට ලැබුණු රැකියාව වූයේ තම ගමේ මන්ත්‍රීවරයාගේ ලේකම් වීමටය. මේ රැකියාව කරන අතරතුර සුසිල්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් විය. මන්ත්‍රීවරයා හමුවීමට පැමිණෙන මිනිසුන්ගෙන් තම ස්වාමියාට ලැබෙන ගෞරවයටත් වඩා ලොකු ගෞරවයක් සහ සැලකීමක් බලාපොරොත්තු විය. 

6. පහත් තැනින් ජලය ගලා බසින්නා සේ වීම (Displacement)

මෙයද මනසේ ඇති නොමේරූ ආරක්ෂණ උපක්‍රමයකි. යම් සිද්ධියකට මුහුණ පෑමේදී එහිදී ඇතිවන සිතුවිලි සහ හැඟීම් තමා පිළිනොගන්නා විට, එම අවස්ථාවේදී තමාගේ හැසිරීම් සහ සිතුවිලි එළිපිට ප්‍රකාශ නොකර සිද්ධියට අදාළ නොමැති පිටස්තර පුද්ගලයකුට හෝ අදාළ නැති අයකුට පටවයි.

පියල්ගේ කතාව -

පියල් පෞද්ගලික ආයතනයක පරිගණක නිලධාරියකු ලෙස සේවය කරයි. ඔහුට දවසකට නිම කිරීමට නියමිතව තිබුණේ විශාල වැඩ කොටසකි. ඔහු නිතරම තමාගේ වැටුප් වැඩි කරන ලෙස ආයතන ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ ඉල්ලීම ගැන ආයතන ප්‍රධානියා කිසිම සැලකිල්ලක් නොදැක්වීය. පියල්ද ඔහුගේ වැඩකටයුතු ටික ටික අතපසු කළේය. දිනක් තම ප්‍රධානියා පියල්ව ගෙන්වා ඔහුට හොඳටම දොස් කීවේය. තම වැටුප් වැඩි නොකළ ප්‍රධානියා පිළිබඳ තරහා සහ කෝපය එම අවස්ථාවේ පිට නොකළත් එදා රාත්‍රීයේ හොඳටම මත්පැන් බී ඉතා සුළු වරදක් මුල් කරගෙන තම බිරිඳට පහර දුන්නේය.

7. තම මතයට සහමුලින්ම විරැද්ධ මතය දැරීම. (Reaction Formation)

මෙයද මනසේ ඇතිවන සියුම් ආරක්ෂණ උපක්‍රමයකි. යම් සිතුවිල් සමුදායක් හෝ තමාගේ යම් හැසිරීමක් නිසා එම මතයට විරුද්ධව නැගෙන ආකල්ප තමාට මහත් පීඩනයක් හෝ ආතතියක් ගෙනදීමට පුළුවන. මෙම පීඩනය හෝ ආතතියෙන් පලායාමට හොඳම ක්‍රමය තමාගේ හැසිරීම හෝ තමා දරන ආකල්පවලට සමානුපාතික මතයක් දැරීමයි. මෙය අප නොදැනුවත්වම සිදුවන මානසික යාන්ත්‍රණයකි. දිගටම මත්පැනට ගිජු වූ පුද්ගලයකු එම බීම සාධාරණීකරණය කිරීමට කරනු ලබන පහත සඳහන් ප්‍රකාශය ද මීට උදාහරණයකි. ඔහු මෙසේ පවසනවා. මම බොන්නෙ මගේ රැකියාව හොඳට කරගන්න. බීවෙ නැත්නන් හොඳ සමාජයක් හැ‍දෙන් නෑ. හොඳ සමාජයක් හැදුණේ නැත්නම් මගේ බිස්නස් අඩු වෙනවා.

8. උත්කර්ෂණය (Sublimation)

සිග්මන් ප්‍රොයිඩ්ට අනුව අපගේ සැඟවී තිබෙන මානසික ශක්තිය අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කන්දකට සමානයි. පාවෙන අයිස් කන්දක වැඩි කොටස තිබෙන්නෙ මුහුද යට. අපේ මනසේ සැඟවුණු මානසික ශක්තිය (Psychic Energy) මේ මුහුද යට ගිලුණු කොටසට සමානයි. මේ ශක්තියෙන් කොටසක් තමයි ලිංගික ශක්තිය (Erotic Energy). සිග්මන් ප්‍රොයිඩ් මෙහෙම කීවා මේ සැඟවුණු ලිංගික ආශාව නිසිලෙස තෘප්තිමත් කර ගැනීමට නොහැකි වූ විට එය විනාශකාරී ප්‍රවණතාවයක් නොවී සමාජීය හෝ සංස්කෘතීමය වශයෙන් වැඩදායි වූ හැසිරීම් රටාවකට පෙරළිය හැකි බවයි. මෙය නොමේරූ ආරක්ෂණ ප්‍රයෝගයක් නොවේ. මෙය පෞරැෂය මේරෑ පුද්ගලයකු තුළින් මතුවන වැඩදායි සහ ඵලදායී හැසිරීම් රටාවකි. ඉන්දියාවේ ටජ් මහල මීට කදිම නිදසුනකි. සාජහන් අධිරාජ්‍යයා තමා වැඩියෙන්ම ආදරය කළ බිරිඳ වන මුම්ටාස් 14 වන දරු ප්‍රසූතියෙන් මිය ගියපසු ඇය සිහිවීම පිණිස ටජ්මහල් ප්‍රාකාරය තනා ඇත. මෙම නිදසුන ආදරය සහ ලිංගික ශක්තිය සාමාජීය වශයෙන් විශිෂ්ට නිර්මාණයකට තුඩු දී තිබේ.

මනස රැකගැනීමට සහ අපගේ ආතතීන් සමනය කිරීමට අප නොදැනුවත්වම ක්‍රියාත්මක වන මානසික ප්‍රතික්‍රියා සහ ඒ හා බැඳුනු හැසිරීම් රටාවන් තිබෙන බව මින් පැහැදිලි වේ. මෙම ආරක්ෂණ ප්‍රයෝග සමහර ඒවා මේරූ පෞරුෂයකින් නිර්මාණය වන වැඩදායී සහ ඵලදායී ඒවා වන අතර අනෙක් ඒවා නොමේරූ හැසිරීම් (Immature Defense Mechanisms) රටාවන් වේ. ඔබ ගැන ඔබ හොඳින් හිතා බලන්න. ඔබ අනිත් පුද්ගලයන් සමඟ සිදුකරන සම්බන්ධතාවන්වලදී ඔබගේ හැසිරීම හොඳින් පරීක්ෂා කළොත් මනසේ රහස් සොයාගත හැකියි.  

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක