2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

දියවැඩියා රෝගියෙක් දෙපා රැකගන්න ඕනෑ මෙහෙමයි!

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1010

අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන් නම් මේ කතාව ඔවුන්ගේ ඇස් දෙකට වාගේම පාද සඳහාත් එකසේම වලංගුයි. වැඩි ගානකට නොගෙන නොසලකාහරින පුංචි සීරිමක් නිසා පාද කපා ඉවත් කරන්නට පවා සිදුවෙන ලොකු අවදානමක් දියවැඩියා රෝගියකුට ඇතිවන්න පුළුවනි. පළමු වැදගත්ම දේ තමයි දියවැඩියා රෝගියා මෙම අවදානම ගැන දැනුවත් කිරීම. දෙවනුව ඔවුන් දියවැඩියා රෝගින් තම පාද ගැන විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ ඔවුනට පාදයට සිදුවන අනතුරු නොදැනෙන නිසායි. එය එම රෝගය නිසා ඇතිවන ස්නායුගත තත්ත්වයක්. මේ නිසා පුංචියට හටගන්නා සීරිමක්  වැනි කඩතොලු වීමකට දිගින් දිගටම අනතුරැ සිදුවී තුවාලය ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකියි. ඔවුන් පාද සාත්තුව කළ යුතු ආකාරයයි මේ. 

දිනපතා දෙපා ‍සෝදා වියළිව තබාගන්න!

දිනපතා විශේෂයෙන්ම රාත්‍රී නින්දට පෙර පාද පිළිබඳ හොඳින් විපරම්කර බලන්නත් පාද දෙක මඳ උණුසුම් වතුරෙන් හොඳට හෝදා වියළන්නත් කටයුතු කළ යුතුයි. මෙහිදි කිසිවිටෙක තද උණු වතුර යොදා ගත යුතු නෑ. විශේෂයෙන්ම ඇඟිලි අතර නිසි ආකාරයෙන් වියලුනේ නැත්නම් දිලීර වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. එවිට කැසීම මගින් අපි තුවාල ඇති කරගැනීම නිතැතින්ම සිදුවෙනවා. ඒත් ස්වභාවයෙන්ම පාද වියළී සමක් සහිතව සිටින අයට පුළුවන් පාද සෝදලා හොඳට වියළලා මෘදු තෙත්කාරක ක්‍රීම් වර්ගයක් (Moisturize) ආලේප කරන්නට. ඒත් කිසිම වෙලාවක පාදයේ ඇඟිලි අතරේ ඒවා ආලේප කළ යුතු නෑ. 

පාද දිනපතා හොඳින් පරික්ෂා  කරන්න!

වෙනත් කෙනකු ලවා පාද පරීක්ෂාකරගන්නට නොහැකි විට තමන්ම දෙපා දිනපතා  පරීක්ෂා කරගත යුතුයි. එහිදී ප්‍රමාණය ලොකු කර පෙන්වන අත් කාචයක් හෝ මුහුණු බලන පුංචි කණ්නාඩියක් හෝ උදව් කරගන්න පුළුවනි. එවිට පාදයේ යටි පතුළත් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය සිදුකළ යුත්තේ හොඳට එළිය තියෙන තැනකදි. මොකද අපි උත්සාහ කරන්න ඕන පාදයේ පුංචි හරි සීරීමක්වත් තිබේද කියල හඳුනගන්න.

එහෙම හඳුනගත්තොත් ඉක්මනින්ම එය පිරිසුදු ඖෂධීය ප්ලාස්ටර් කැබැල්ලකින් ආවරණය කරල නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය වෙනවා. තුවාල විතරක් නොවෙයි, හමේ පාට වෙනස්වීමක්, ඒ කියන්නේ අවපාට, කළු පාට හෝ සාමාන්‍ය පාටට වඩා තද වර්ණයක් ඇති වෙලාද කියලා හොඳින් බලන්න. එහෙම වෙලා නම් ඒ පාදයේ එම ප්‍රදේශයට ලැබෙන  ලේ ප්‍රමාණය අඩුවෙලා නිසා විය හැකියි. එය අවදානමක්! වහාම වෛද්‍ය උපදෙස් පතා යොමුවන්න.   

ඉන් පසු පුළුන් කෑල්ලක් අරගෙන පාදයේ ඇඟිලිවල සිට ඉහළට තැනින් තැන ස්පර්ශ කර බලන්න. එම ස්පර්ශය හොඳින් දැනෙන්නේ නැත්නම් මේ බව ඔබේ වෛද්‍යවරයාට දන්වන්න. දියවැඩියාව නිසා ස්නායුවලට හානි වීමෙන් කිසිවක් නොදැනී යන නියුරෝපති තත්ත්වය හටගන්න පුළුවනි.

පාදයේ නියපොතු කැපීම හරියට හරස් අතට සිදුකළ යුතුයි!

මේ ගැනත් හොඳ අවධානයක් යොමු කරන්න ඕන. තරමක් කොටට හරස් අතට නිය කැපුවාම ප්‍රමාණවත්. වැඩි හොඳට නිය හුඟක්ම කෙටි කරන්න ගියොත් වෙන්නේ අපිම තුවාල ඇති කරගන්න එක. බොහොමයක් රෝහලට  එන්නේ “නිය කෙළවර ඉදිමිලා  පැසවලා. ඊට පස්සේ තුවාලේ ඔඩු දිව්වනේ…!” කියාගෙන. ඒ එක්කම කියන්න ඕන කිසිම වෙලාවක “ගල් තැළුම්” එහෙම නැතිනම් පාදයේ තියෙන ගැටිති ගෙදරදි බ්ලේඩ් එකකින් කපන්න උත්සාහ කරන්නවත් එපා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුගේ උපකාරයෙන් තමයි මේවා කළ යුතු වන්නේ. ඊළඟට නිය ආශ්‍රිතව හටගන්නා දිලීර ආසාදන. මේවා පිරිසුදු කර ඖෂධ යෙදීම කළ යුතුයි.

ඉදිරිපස පුළුල් වූ පාවහන් පැළදීම!

රෑ වගේම දිවා කාලයේදිත් සැමවිම ඇවිදින විට පාදය හොඳින් ආවරණය වන විදියට පාවහන් පළඳින එක හොඳ ආරක්ෂක උපක්‍රමයක්. හැබැයි එම පාවහන් පාදයට හුඟක් තද නැති මෘදු ඒවා නම් තමා වඩාත්ම හොඳ. ඉදිරි කෙළවර  උල් නොවූ පුළුල්ව ඇති පාවහන් භාවිත කළ යුතුයි. ඒ සඳහා විශේෂ පාවහන් වෙළඳපොළේ ගන්නට තියෙනවා. පාවහන්  පළඳින්නේ නැතිව ඇවිදින්න එපා. එතකොට අපට නොදැනෙන පුංචි තුවාල ඇති වෙනවා. ඒවා හොඳටම ප්‍රමාණවත් මහා අනතුරක් ඇති කරන්නට තවත් දෙයක් මේ පාදවලට තද උණුසුමත් හරිම භයානකයි.

පාදයේ ලේ ගමනාගමනයට උපකාර කරන්න!

මෙහිදි පුටුවක වාඩිවෙන විදිය පවා හරිම වැදගත්. කිසිම වෙලාවක් පාදයේ පහළට ලේ ගමන් කිරීමට බාධා වන විදියට පාදයක් පිට පාදයක් හරස් අතට තියාගෙන ඉන්න එපා. හුඟ වෙලාවක් වාඩි වෙලා ඉන්න සිද්ධවෙනවා නම් වරින් වර පාදය සොලවන්න එපා. ඇඟිලි දිග හරින්න. එතකොට ඒ ප්‍රදේශයට ලේ සැපයුම යථා තත්ත්වයට පත් වෙනවා. පාද සම්භාහනය ඉතා වැදගත් සත්කාරයක්. 

ඖෂධ නිසිලෙස  නිසිකලට! 

මේ අතරේ තමාගේ දියවැඩියාව පාලනයට අදාළ ඖෂධ නිසිලෙස නිසිකලට ගැනීමත්, ආහාර සහ ව්‍යායාම ගැනත් අවධානය තබා ගත යුතුම වෙනවා. ඒ වගේම දුම්පානය නොකිරීම ඉතාමත් වැදගත්!

දුම්පානය මගින් ලේ නාල, විශේෂයෙන්ම පාදවල රුධිර වාහිනීවල රෝග තත්ත්ව ඇති වෙලා පාදයේ නිරෝගී බව අඩු කරන්නට පුළුවන්.

 සුගත්