2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

කිරි දෙන්න නුසුදුසු අම්මලා...

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 395

අපිට හැම අතින්ම ඇහෙන්න ලැබෙන්නෙ මව් කිරි දෙන්න! මව් කිරි දෙන්න!! කියන අවවාදයයි. ඒත් හැමවිටම මතක තබාගතයුත්තේ මවක් තම දරුවාට කිරි ලබා නොදිය යුතු අවස්ථාවන් ද ඇති බවයි. එසේනම් මවක් දරුවාට කිරි නොදිය යුත්තේ මොනවගේ අවස්ථාවකදීද? මෙන්න මේ වගේ  තත්ත්වවලදී තම දරුවාට කිරි දෙන්නට පෙර මවුවරුන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයයි.

මව පිළිකා නාශක ඖෂධ ලබා ගන්නා තැනැත්තියක නම්.

සමහර පිළිකා නාශක ඖෂධ මව්කිරි ඔස්සේ දරුවා වෙත ගමන් කිරීමේ අවදානමක් පවතින නිසා මේ අවස්ථාවේ කිරි ලබා නොදීම හෝ තාවකාලිකව නතර කළ යුතු වෙනවා.

 මව විකිරණ ප්‍රතිකාර ලබනවා නම් ,

මේ තත්ත්වයත්  තාවකාලිකව හෝ කිරි දීම නතර කළ යුතු අවස්ථාවක් ලෙසයි ගැනෙන්නේ.

මව ප්‍රතිකාර නොලබන ක්ෂය රෝගයෙන් හෝ එච් අයි වි ආසාදනයෙන්  පෙළෙනවා නම්,

ඔබ ගර්භණී කාලයේ HIV ආසාදිත තත්වයෙන් පසුවූවානම් මව්කිරිදීම ආරම්භ කිරීමට ප්‍රථම අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්න.

මව පහත සඳහන් ඖෂධ ලබා ගන්නේ නම්,

මානසික රෝග සඳහාවු ඖෂධ (උදාහරණයක් ලෙස ලිතියම් අඩංගු ඖෂධ)

නිද්‍රාකාරක ඖෂධ , සමහර ප්‍රතිජෛවක ඖෂධ, ප්‍රබල වේදනානාශක නිතරම ගන්නවා නම් සහ තුවාලවලට යොදන අයඩීන් අඩංගු ඖෂධ  දිගුකලක් භාවිත කරනවිටදි!

මේ කියන තත්ත්වවල සිටින හෝ ඖෂධ ගන්නා මවක්, හිතුමනාපෙට දරුවාට කිරි දුන්නොත් එය දරුවාගේ ජීවිතයට අවදානමක් විය හැකියි. ඒ නිසා දරුවාට කිරි දීමට ප්‍රථම තමන්ගෙ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා තමන් ගන්න බෙහෙත් ගැනත්, ලෙඩ රෝග ගැනත් කතා කරලා, දරැවාට කිරි දිය හැකි නිරෝගි සුවදායක අවස්ථාවක තමන් සිටිනවා දැයි සැකහැර දැනගන්න. මේ ලිස්ට් එක විතරක් නොවෙයි, ඔබ කිරි දෙන මවක නම් ඔබ ගන්නා ඕනම  ඖෂධයක් භාවිත කරන්නට පෙර උපදෙස් ලබා ගන්න එක ඉතාමත් වටිනවා.

වෛද්‍ය චින්තක රාජපක්ෂ 
ළමා රෝග විශේෂඥ
කුලියාපිටිය මූලික රෝහල