2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

තීරණ ගන්න ළමුන්ට පුරුදු කරන්න

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 375

සෑම කෙනකුටම ජීවිතය තුළ තීරණ ගැනීමට සිදුවෙනවා. විවාහය, අධ්‍යාපනය, රැකියාව මේ සියලු තැනකදීම අපි වැරදි හෝ හරි තීරණ ගනු ලබනවා. ඕනෑම පුද්ගලයකුට යම් දෙයක් ගැන තීරණ ගැනීමේදී වාසි සහ අවාසි යන දෙකටම මුහුණ දීමට සිදු වෙනවා. නූතන මනෝ විද්‍යාව අනුව තීරණ ගැනීමේ කුසලතා කුඩා කල සිටම තම දරුවාට පුරුදු කිරීමෙන් යම් දිනෙක ඔහුට සාර්ථක වැඩිහිටියකු ලෙස ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ගොඩ නැගෙන බව තහවුරු වී තිබෙනවා. අපි මෙහෙම හිතමු. ඔබ ගෙදර තීන්ත ආලේපයට සැරසෙනවා. ගාන පාට ගැන ඔබ අතර විවාදාත්මක මතයක් ගොඩනැගෙනවා. නමුත් මෙම සංවාදයට බොහෝ විට ඔබගේ පුංචි දරුවාගේ අදහස් විමසන්නේ නැහැ. තීරණ ගැනීමේ කුසලතා වර්ධනය කිරීමට ඔබට ඔබේ දරුවා ද මෙම සංවාදයේ කොටස්කරුවකු කර ගැනීමට පුළුවනි. මින් දරුවාගේ මනස සංවාදයට වගේම තීරණවලට එළඹීමට පුහුණු වේ. 

තීරණ ගැනීම මොළයේ විශේෂ කොටසක කාර්යයක් බව අද වනවිට සොයාගෙන ඇත. මොළයේ මෙම විශේෂ කොටස නම් පූර්ව මස්තිෂ්කයේ ඉදිරි පස පිහිටා තිබෙන ලලාට කණ්ඩිකාවයි. (Prefrouful cortex) ඔබගේ දකුණු අත හරියටම තම නලලේ දකුණු පසින් තබන්න. ලලාට කණ්ඩිකාව පිහිටා තිබෙනුයේ එම දකුණු නළල ඇතුළතය. මොළයේ මෙම කොටස අපගේ තීරණ ගැනීමේ මධ්‍යස්ථානයයි. මෙම කොටස මුහුකුරා ගොස් තීරණ සහ ප්‍රශ්න විසඳාලීමේ හැකියාව ගැටවර වියේ සිටින දරුවන්ට උරුම වනුයේ අවු.11ත් අවු.16ත් අතර කාල සීමාව තුළදීය. දරුවකු අවු.18 වනතෙක් ඔහු හෝ ඇයගේ තීරණ ගැනීමේ හැකියාව නිසි ලෙස වර්ධනය නොවී ඇති බව මෙයින් පැහැදිලිය. මෙම කාලය තුළ ගැටවර වියේ සිටින ඔබේ දරැවා සමඟ ඉතා කිට්ටු ඇසුරක් වගේම මිත්‍රශීලීව සංවාදශීලීව ගතකිරීමෙන් තීරණ ගැනීමේ කුසලතා පහසුවෙන් ඔහු තුළ වර්ධනය කළ හැකිය.

අප සාමාන්‍යයෙන් තීරණ ගන්නා ආකාරය සහ ඒවායේ තිබෙන අඩුපාඩු විමසා බලමු.

1. හැඟීම්බර ලෙස තීරණ ගැනීම (Impulsive)

සුසිල්ගේ කතාව

සුසිල්ගේ වයස අවු.30යි. ඔහුගේ හොඳම මිතුරා නිමල්. මොවුන් දෙදෙනා කුඩා කල සිටම අඹ යාළුවන්. නිමල් විවාහ වුණේ අවු. 20දීය. විවාහ වී වසර දෙකක්වත් යාමට පෙර තම මිතුරා වන නිමල් හදිසි අනතුරකින් මියගියා. මෙහිදී නිමල්ගේ බිරිඳ මාස 12ක් වයස දරැවකු සමඟ තනි වුණා. මින් වඩාත් කම්පනයට සහ වේදනාවට පත්වූයේ සුසිල්. නිමල්ගේ බිරිඳ ගැන ඇතිවුණු දැඩි අනුකම්පාව සහ වේදනාව නිසා සුසිල් ඇයව විවාහ කරගත්තා. නමුත් පසුකලකදී සුසිල්ට අවබෝධ වුණේ නිමල්ගේ බිරිඳගේ ගතිගුණ කිසිසේත්ම ඔහුට නොගැලපෙන බවයි. දැඩි අනුකම්පාවෙන් තම නැති වූ මිතුරා ගැන සිතා ගත් මෙම තීරණය මෝඩ තීරණයක් ලෙස ඔහු නිතරම කල්පනා කළා.

2. තීරණ කල් දැමීම (Procrastination)

කමල් සහ සුනිල් එකම ආයතනයක විධායක නිලධාරීන්. මේ අතර කමල්ට විදේශ රටක ශිෂ්‍යත්වයක් ලැබුණා. මේ ශිෂ්‍යත්වයට අනුව ජපානයේ වර්ෂයක කාලයක් ගෙවීමට තිබුණා. මේ කාලය තුළදී කමල් තම පෙම්වතිය සමඟ ඇති වූ ගැටලුවක් නිසා දැඩි මානසික පීඩනයක ද සිටියා. කමල් ශිෂ්‍යත්වයට නොගිය නිසා එම අවස්ථාව සුනිල්ට හිමි වුණා. දැන් මෙම සිදුවීමෙන් අවු.4ක් ගෙවී ගොස්ය. සුනිල් දැන් එම ආයතනයේ කමල් ද අභිබවා ගොස් ඉහළ නිලයක් දරනවා. අද කමල් එදා ශිෂ්‍යත්වයට රට නොගිය එක පිළිබඳව මහත් සේ කම්පා වෙනවා.

3. තමන් වෙනුවෙන් අනිත් අය තීරණ ගැනීම (Making Decision by others)

නාමල් විධායක නිලධාරියෙක්. නාමල්ගේ සිහිනය වුණේ හොඳ රැකියාවක් සහ හොඳ විවාහයක් කරගැනීමයි. මාපියන්ගේ ද සිහිනය එයයි. නාමල් ද සියලු දේ කළේ මව්පියන්ගේ කැමැත්ත අනුවයි. නාමල්ගේ සහකාරිය ද තෝරා දුන්නේ මව්පියන්. ඇය ඉතා ධනවත් සහ වැදගත් යැයි පවසන පරම්පරාවකින් පැවත එන්නියකි. මෙම තෝරා ගැනීමේදී මව්පියන්ගේ කැමැත්තට විරැද්ධව වචනයක්වත් කීමට නාමල් බිය විය. වසර 4ක්වත් ගත වීමට ප්‍රථම නාමල්ට ඇයව එපා විය. නාමල්ට අනුව ඇය කිසිම හැඟීමක් නැති, ආත්මාර්ථකාමී බිරිඳකි. අදටත් ඔහු දුක් වනුයේ තමා වෙනුවෙන් තම මව්පියන් ගත් තීරණය පිළිබඳවයි.

4. තීරණයක් නොගැනීම (Not making a Decision)

ලසන්තගේ කතාව

ලසන්ත සහ ජානකී අවු. 4ක පෙම්වතුන්ය. දෙදෙනාම එකම පාසලේ එකම පන්තියේය. ලසන්ත උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබා අද රජයේ විධායක නිලධාරියෙකි. ලසන්තගේ තනතුර සහ සමාජ පරිසරය නිසා ඔහුගේ මව්පියෝ ජානකීට අකමැති වූහ. ලසන්ත ලෝක දෙකක අතරමං විය. ජානකීට විවාහ යෝජනා ගෙදරින් එන්නට පටන් ගැනුණි. ලසන්ත ජානකී පිළිබඳ අවසාන තීරණයකට නොපැමිණීම නිසා ඇය ගෙදරින් ගෙනා යෝජනාවකට කැමති වී විවාහ වූවාය. මින් වසර කීපයකට පසු ලසන්ත ද යෝජනාවකින් විවාහ විය. අද වනවිට වසර 10ක් ගෙවී ගොස්ය. තමා ආදරය කළ පෙම්වතිය වන ජානකී සමඟ විවාහ වීමට නොහැකි වීම ගැන දැඩි කම්පනයක් දුකටත් ඔහු පත්වී සිටී.

තීරණ ගැනීම ඉතා වැදගත් කුසලතාවයක් බව ඉහත කතා ඇසුරෙන් පැහැදිලි වේ. නමුත් ඕනෑම කෙනකුට තීරණ ගැනීමේදී නොයෙකුත් අඩුපාඩු සිදුවිය හැකිය. මෙම කුසලතාවය නිසි ලෙස කුඩා කල සිට පුහුණු කිරීමෙන් තීරණ ගැනීම්වලදී අපට සිදුවිය හැකි හානි අවම කරගත හැකිය. ඒක පාක්ෂික තීරණ, හැඟීම්බර තීරණ, අනුන් සතුටු කිරීමට ගනු ලබන තීරණ, කලබලයට පත් වී ගනු ලබන තීරණ, තමන් වෙනුවෙන් තීරණ ගැනීමට තව කෙනකුට පැවරීම ආදියෙන් අපට නොදැනීම සියුම් ලෙස අපගේ ජීවිතයට නොයෙකුත් හානි සිදුවීමට පුළුවන.

කාලාම සූත්‍රයේදී බුදුන් වහන්සේ තීරණ ගැනීමට අදාළ වූ මනස මෙහෙයවිය යුතු ආකාරය ඉතා හොඳින් පැහැදිලි කර දී ඇත. එනම් විවෘත මනසකින් ප්‍රශ්න දෙස බැලීමට හුරැ කර ගැනීමට නම් යම් ප්‍රශ්නයකදී කිසිවෙක් කීවට, පොතපතේ තිබුණට, පරම්පරාවෙන් ආ පමණින්, ඇසින් දුටු පමණින් හෝ බුදුන් කී පමණින්වත් යමක් විශ්වාස නොකර ප්‍රශ්නය දෙස විවෘතව බලා අවසාන තීරණයකට පැමිණෙන ලෙසයි.

තීරණ ගැනීමේ එක් යාන්ත්‍රණයක් අපි විමසා බලමු. මෙය තීරණ ගැනීමේ ගස යැයි අපි සිතමු. 

සුපුන් A/L කරන දරැවකි. ඔහුට ආදර සම්බන්ධතාවයක් පටන් ගැනීමට සිත් පහළ විය. අධ්‍යාපනයට ද ඔහු දැඩි ආශාවක් වගේම කැමැත්තක් දැක්වීය. සුපුන්ට හොඳින් ඉගෙනගෙන ඉංජිනේරැවෙක් වීමට සිහිනයක් තිබුණි. ආදරයකට පැටලුණොත් එය ඔහුගේ අධ්‍යාපනයට කුමක් සිදු වේ යැයි සිතාගත නොහැකිව ඔහු ලෝක දෙකක අතරමං විය. අප ළඟට පැමිණි සුපුන්ට තීරණ ගැනීමේ වෘක්ෂයට ඔහුගේ ප්‍රශ්නය ඇතුළු කරගන්නා ආකාරය පැහැදිලි කර දුන්නේය. මීට අමතරව ප්‍රශ්නයේ වාසි සහ අවාසි දෙක මැන බලන ආකාරය ඔහුගේ මනසට ඇතුළු කළේය. ඔහු වාසි සහ අවාසි මෙසේ ලියා තිබුණි.

වාසි

මගේ හැම යාළුවෙකුටම Girl කෙනෙක් ඉන්නවා. Girl කෙනෙක් නැති එක ගැන මට හීනමානයක් ඇතිවෙනවා. Girl කෙනෙක් හිටියොත් මට ඒ අඩුපාඩුව මකාගන්න පුළුවන්.

මට හිතෙනවා මගේ පාළුව එක්තරා ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා.

අවාසි

මම ඇය සමඟ නිතරම කාලය ගතකරන්න පටන් ගත්තොත් විභාගය කර ගන්න බැරි වෙයි.

මම හරිම හැඟීම්බරයි. පුංචි දේටත් හරියට දුක් වෙනවා. ඇය සමඟ ප්‍රශ්නයක් ඇති වුණොත් මගේ මනස වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් මගේ අධ්‍යාපනයත් වැටෙන්න පුළුවන්.

මගේ ළඟ දැනට phone එකක් තියෙනවා. ඇයට නිතරම call කරන්න sms කරන්න හිතුණොත් මගේ කාලය නාස්ති වෙලා මම ඒකට ඇබ්බැහි වේවි.

මෙම කරුණු ගැන හොඳින් අවධාරණය කර අවසාන තීරණය ගැනීමට ඔහුට සතියක් කල් දුන්නේය. සතියකට පසු ඔහුගේ තිරණය වූයේ A/L අවසන් වනතෙක් ආදර සම්බන්ධතාවයකට නොයන බවයි. කිසිම අපහසුවක් නැතුව කිසිම ගැටුමක් නැතිව සුපුන්ට ඔහුගේ තීරණයට එළඹීමට හැකි වුණි.

ඔබේ දරුවාගේ මනස තීරණ ගැනීමට ක්‍රමක්‍රමයෙන් පුරුදු කිරීමෙන් බොහෝ ගැටලු අවුලකින් තොරව විසඳා ගැනීමට පුළුවනි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක