2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

හරියට පත්තියම් වෙන්න බේත් බොන්නෙ කොහොමද?

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 513

කෑමට පෙර, කෑමට පසු ලෙස ඖෂධ ලබාගන්නා විට ආහාර සමඟ ඒවා භාවිතා කළයුතු ආකාරය ගැන ඔබට වෛද්‍ය උපදෙස් ලබාදීම සිදුවෙයි. ආහාර සහ ඖෂධ අතර අතර අන්තර් ක්‍රියාවන් පාලනය මෙහි අරමුණයි. ආහාර සහ ඖෂධ අතර අන්තර්ක්‍රියාවන් යනු කුමක්ද? එවායින් ඇතිවන බලපෑම කුමක්ද? නැත්නම් තේරෙන බාසාවෙන් කීවොත් දොස්තර කියන වේලාවටම කියන විදියටම බේත් බොන්න ඕනෑ ඇයි?

කෑම වේලත් සමඟ ඖෂධ ලබාගන්නා ආකාරය අනුව ඖෂධයේ ගුණය හොඳින් ලැබීම හෙවත් පත්තියම් වීම වගේම එය වැරැදුනොත් බෙහෙතෙන් පලක් නැතිවීමත් සිදුවිය හැකියි. මෙහිදී සිදුවන්නේ අප ගන්නා ආහාර තුළ ඇති රසායණ කොටස්, ඖෂධවල අඩංගු සමහර රසායන සංඝටකයන් සමඟ ක්‍රියා කිරීමෙන් ඖෂධය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මෙය විටමින්, ඛනිජ වර්ග හා ප්‍රති අම්ලකාරක ඖෂධ (antacids) සඳහාද අදාළ කාරණාවකි. වෛද්‍ය උපදෙස් අනුවම පමණක් බේත් ලබාගන්නට යැයි කියන්නේ ඒ නිසාය. 

සෑම ඖෂධයක් සඳහාම ආහාරවල බලපෑමක් නොමැත. නමුත් බොහෝමයක් ඖෂධ සඳහා අප ගන්නා ආහාර වර්ග හා ආහාර ගන්නා වේලාව මගින් බලපෑමක් ඇති කරනු ලැබේ. උදාහරණයක් ලෙස සමහර ඖෂධ වර්ග හා ආහාර එකම වේලාවට ගැනීම මගින් ආහාර මාර්ගයේදි  ඖෂධ උරා ගැනීමට බාධා ඇති කරනු ලබයි. සමහර ආහාර මගින් ඖෂධ සිරුරට අවශෝෂණය කිරීම ප්‍රමාද කිරීම හෝ අඩුකිරීම සිදුකරනු ලබයි. කෑමට පෙර ගන්න, කෑමට පසුව ගන්න ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දෙන්නෙ මේ හේතුව නිසයි. ඒ උපදෙස් නොතකා ක්‍රියාකළොත් ඖෂධයෙන් බලාපොරොත්තු වන ගුණය නිසි ලෙස නොලැබී යා හැකියි. එබැවින් සමහර ඖෂධ වර්ග ආහාර ගැනීමට පෙර (empty stomach) ගත යුතුවේ.

උදාහරණ ලෙස බඩේ ගෑස් සඳහා බහුලව නියම කරන – Omeprazole කරල ආහාර ගැනීමට පෙර ගතයුතුයි. වේදනා නාශකයක් වන  – Diclofenac පෙත්ත නියම කරන්නේ  ආහාරයට පසු ගතයුතු ලෙසටයි. අනිත් අතට සමහර ඖෂධ වර්ග ආහාර සමඟ ගැනීම හිතකර වේ. උදා: දියවැඩියාව සඳහා භාවිතා කරන – Metformin පෙන්වා දිය හැකියි. (නමුත්  මේ පිළිබඳ උපදෙස් අදාළ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් ලබාගැනීම සුදුසු වේ.)

මේ අන්දමට ඖෂධ සහ – ආහාර අතර අන්තර්ක්‍රියා හේතුවෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා ඒ ඔබ පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් තමා මේ.  

• හැකි සැම විටෙකම ඖෂධ ඇසුරුමේ ලේබලයේ ඇති උපදෙස් (Warning Interactions and  precautions) හොඳින් කියවා ඔබට නොතේරෙන යමක් ඇත්නම් වෛද්‍යවරයාගේ හෝ ඖෂධවේදියාගේ උපදෙස් ලබා ගන්න. 

ඖෂධ සැමවිටම ඇසුරුමේ සඳහන් උෂ්ණත්වයේ තබාගත යුතුය. සමහර ඖෂධ ශීතකරණයේ තබා ගත යුතුය. තවත් සමහර ඒවා ශීතකරණයේ තැබීම නුසුදුසුය. සැම ඖෂධයක්ම වාගේ අධික උණුසුමෙන් ඈත් කර මනාව අසුරා ආරක්ෂිතව තැබිය යුතුය. 
වෛද්‍යවරයා විශේෂ උපදෙස් දුන් අවස්ථාවක හැර,

• සෑමවිටම ඖෂධ සම්පූර්ණ වතුර වීදුරුවක් සමඟ ගත යුතුවේ. කිසිවිටකත් ඖෂධ ආහාර සමඟ මිශ්‍ර කර නොගත යුතුයි.

• කරල් බේත් ලබාදුන් විට කැප්සියුලය නොගලවා භාවිතා කළ යුතුය.

• සමහර ඖෂධ කෙරෙහි වෙනත් ඇතැම් ඖෂධ වර්ග හා ඛනිජලවණ වර්ග බලපෑම් ඇති කරන බැවින් ඒවා එකම වේලාවකදී භාවිතා නොකළ යුතුයි. නිදසුන් හැටියට ඛනිජ ලවණ වන යකඩ හා කැල්සියම් එකට ගන්නට නිර්දේශ නොකරයි. එසේම වෛද්‍ය උපදෙස් රහිතව හිතුමතේ අමතර විටමින් ලබා නොගත යුතුයි.

• තාපය මගින් ඖෂධවල රසායනයට බලපෑම් ඇති කරන බැවින් උණුසුම් පාන වර්ග සමඟ මිශ්‍රකර ඖෂධ භාවිතා නොකළ යුතුය.

• කිසිවිට මධ්‍යසාරමය පාන සමඟ ඖෂධ භාවිතා නොකළ යුතුය.

වෛද්‍ය චන්දන ධර්මරත්න 
කළුබෝවිල ශික්ෂණ රෝහල