2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

සීනි අඩුවුණොත් ඇතිවන මාරාන්තික සිහි නැතිවීම!

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8318

ඩයබිටික් කෝමා හැටියට අද බොහෝමයක් දෙනා කතා කරන රුධිරයේ සීනි අඩුවීම නිසා හටගන්නා තත්ත්වයට නිසි පිළියම් ඉක්මනින් නොකළොත් මාරාන්තික වුවද විය හැකිය. මේ නිසා දේශය පාඨක ඔබට ඒ ගැන දැනුම ගෙන එන්නයි මේ උත්සාහය. 

මොකක්ද මේ ඩයබිටික් කෝමාව ?

දියවැඩියා රෝගීන් අතර දැකිය හැකි සුලබ තත්ත්වයක් ලෙස රුධිරගත සීනි මට්ටම හදිසියේ අධික වීම හා අඩුවීම දැකගත හැකිය. මෙම රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඕනෑම අවස්ථාවක අඩු හෝ වැඩිවීමේ හැකියාවක් පවතී. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවීමේ හැකියාවක්ද පවතී. එවන් අවස්ථාවක දියවැඩියාව  හේතුකොට ඇතිවන සිහිනැතිවීමේ තත්ත්වය හෙවත් ඩයබිටික් කෝමා තත්ත්වය ඇතිවිය හැකිය. 

රුධිරයේ සීනි මට්ටම අඩුවීමට හේතු  

සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස කායික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාමයන්හි නිරතවීම. 

නිසි වේලාවට ආහාර නොගත් විට හෝ අඩුවෙන් ආහාර ගත් විට.

ඖෂධ වැඩි වශයෙන් අනවශ්‍ය ලෙස ලබාගත් විට. 

මත්පැන් පානය කළ අවස්ථාවකදී.

රුධිරයේ සීනි මට්ටම ආරම්භක අවධියේදී අඩුවීම හඳුනාගත හැකි ලක්ෂණ 

වෙව්ලීම, කලබලවීම හෝ වහා කිපීම, ව්‍යාකූල බව, හෘද ස්පන්දනය වේගවත් වීම, දහඩිය දැමීම සහ රැධිරය තුළ සීනි අඩුවීම  හයිපොග්ලයිසීමියා ලෙස වෛද්‍ය විද්‍යාවේ හැදින්වේ.  

මේ  තත්ත්වය ඇතිවූ විට රුධිරයේ පරීක්ෂාවක් කළ විට සීනි මට්ටම ලීටරයකට මිලිමෝල් 4ට වඩා අඩුවී ඇති බව පෙනී යයි. රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවිය හැකිය. එම නිසා මෙම තත්ත්වයෙන් නිවැරදි ලෙස ප්‍රවේසම් වීම වැදගත් වේ.

මෙහිදී නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් යුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන කාබෝහයිඩ්‍රේට් වර්ගයක් ආහාරයට ගැනීම හෝ පානය කිරීමෙන් මේ තත්ත්වය වළක්වාගත හැක.

රෝග ලක්ෂණ

හිසරදය   
දිව හා දෙතොල් හිරිවැටීම        
 කුසගින්න ආවේගශීලී බව
පෙනීම අපහැදිලි වීම

තවදුරටත් රැධිරයේ සීනි මට්ටම පහළ යාමේදී තම ක්‍රියාකාරකම් පවා කර ගැනීමට නොහැකි වී අවසානයේදී සිහිනැතිවීම පවා සිදුවිය හැකියි. ඩයබිටික් කෝමා ලෙස හැඳින්වෙන්නේ මේ තත්ත්වයයි. 

කළ  යුත්තේ කුමක්ද?  

වහාම ක්‍රියාත්මක වන්න.

රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පරීක්ෂා කරගන්න. එලෙස පරීක්ෂා කරගත හැකි ක්‍රමයක් නොමැති නම් රෝග ලක්ෂණ ඇතිවූ වහාම ඒ සඳහා ආරක්ෂක පියවර අනුගමනය කරන්න.

පහත දක්වා ඇති ප්‍රමාණයන්ගෙන් ක්ෂණිකව සිරැරට උරාගන්නා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් ආහාරයට හෝ බීමට ගන්න.

ග්ලූකෝස් තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්, නැත්නම් ග්ලූකෝස් පෙති 01ක්.

ජලයේ දිය කරන ලද සීනි තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්.

සිසිල් බීම හෝ පළතුරු යුෂ කෝප්ප 01ක්, මී පැණි තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්.

මිනිත්තු 10 - 15කින් අනතුරැව රැධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න. එවිටද රැධිරයේ සීනි මට්ටම අඩු නම්, ඉහත ක්‍රියාකාරකම් නැවත සිදුකරන්න.

ඔබේ ඊළඟ ආහාරවේල තවත් පැයකට වඩා ප්‍රමාද වේ නම් හෝ යම් ක්‍රියාකාරකමක නිරතවීමට සිදුවේ නම් වෛද්‍ය ආහාර මාර්ගෝපදේශන අනුව වන ආහාර සැලැස්ම යටතේ වන සුළු ආහාරයක් ලබාගන්න. වැඩිදුර ප්‍රතිකාර සඳහා වහාම ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.

 සුගත් 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00