2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

කනෙන් රිංගා සිරුරට විනකරන අමුතු ලෙඩේ OM

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2031

නිරෝගී පැවැත්ම පවත්වාගෙන යන්නට අපට නැතිවම බැරි ප්‍රධාන පෙළේ අවයවයක්  හැටියට කන හඳුන්වන්න පුළුවන්. කන තියෙන්නෙ අපට ශබ්ද ඇසීමට විතරක් නෙවී. අපේ ඇඟේ සමබරතාවය රැක ගන්නටත්, එමෙන්ම අපි ඉන්නෙ හිටගෙනද, හාන්සි වෙලාද, වාඩිවෙලාද වගේ අපේ ශරීරය පිහිටා ඇති ඉරියව්ව මොළයට තේරුම් ගන්නටත්  උදව් කිරීම කන ඉටුකරන විශාල සේවයක්. මේ වගේ සේවයක් සලසන කන් දෙකත් හදිසියේම ලෙඩ වෙන්න පුළුවනි. කන් ආශ්‍රිතව හටගන්නා එපාම කරපු ලෙඩක් තමා  මැද කනේ ප්‍රදාහය නැතිනම් OM – Otitis Media  කියන්නෙ. මේ රෝගය හෙමින් සීරැවෙන් කනෙන් ඇතුළු වී මුළු ඇඟපතම ආතුරකර පෙළා දමන්නට සමත්.

මැද කන ආසාදනය නැතිනම් ප්‍රදාහයට බහුලවම ගොදුරුවන්නේ පොඩිත්තන්. (අවුරුදු හතට අඩු දරුවන්) නමුත් වැඩිහිටි අයටත් මේ අවදානම තිබෙනවා. දිගින් දිගටම කනේ ආසාදන ඇතිවන තරුණ වැඩිහිටි ඕනම අයෙකුට, ඕනම අවස්ථාවක මේ OM ඇතිවන්නට පුළුවන්.

යම් රෝග කාරක විෂබීජයක් (වයිරසයක්, බැක්ටීරියාවක් හෝ ඉතාම කලාතුරකින්  දිලීරත්) මැද කනට ඇතුළු වූ පසු එවායේ දිගින් දිගටම පැවැත්ම සඳහා යහපත් පරිසරයක් ඒ තුළ යහමින් පවතින නිසා නිසි වේලාවට නිසි ප්‍රතිකාර නොකළොත් ඒවා ඉක්මනින් වැඩෙන්න ගන්නවා. පුංචි කන කැක්කුමක් සෙම හිරවීමක් හැටියට තමයි  මුලින් ආරම්භ වෙන්නෙ. ඉන්පසු මේ විෂබීජ මැද කනේ තිබෙන පටල, පටක ආදිය  තුවාල කරන්න පටන් ගන්නවා, එවිට තමයි Otitis හෙවත් ප්‍රදාහය ඇති වන්නේ.
ප්‍රදාහයක් ඇති වූ පසු එතැන ඉදිමී, රතු වී, රත්වීමක්ද සිදුවෙනවා. එවිට සුදු රුධිරාණු  මෙම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලය වන්නේ මැද කන ඇතුලේ සැරව එකතුවීමයි. (සැරව යනු මැරෙන සුදු රුධිරානු සෛල, රෝග කාරකයන්ගේ මැරුණු කොටස් සහ කන ඇතුලේ ඇති ප්‍රෝටීනමය ආරක්ෂක දියරයි.) කන් බෙරය පසුපස මේ අන්දමට සැරව එකතුවීම නිසා අධික කැක්කුමක් කන් අගුලු වැටීමත් සිදුවෙනවා. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ පන්තියක් නිසි පරිදි ලබාගත්විට සතියක් හෝ දින 21ක් වගේ ඇතුළත සුවය ලැබෙනවා. නමුත් සමහර අයට මෙය නැවත නැවත එනවා. නිසි වෙලාවට නිසි පිළියම් නැති වූ විට තත්ත්වය අසාධ්‍ය වෙනවා. ඉන්පස්සේ මෙතුවක් වෙලා කන ඇතුළේ විතරක් තිබුණු අමාරුව මුළු ඇඟම ආතුරකර දමන එපාකරපු ලෙඩක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී පහත රෝග ලක්ෂණ දකින්න පුළුවන්. 

අධික කන් කැක්කුම, තද උණ, කෑම අරැචිය, බඩේ රැදාව, හිසරදය, කන් ඇසීම අඩුවීම, කන අගුලු වැටීම, මුල් දවස් ටිකේ මේ කන් ඇතුලේ රිදිල්ල, කන ඇතුළේ කැසිල්ලක් විදියට දැනෙන්නත් පුළුවන්.

මේ ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මීට පෙර කන් ප්‍රදාහයන් ඇතිවෙලා තිබෙන අය කන ඇතුළේ කැක්කුමක්, ඒ එක්කම ඔළුවේ කැක්කුමක් වගේ දැනෙනවා නම්, ප්‍රමාද නොවී ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවිය යුතුමයි. සාමාන්‍ය  රෝගී තත්ත්වයක් වුවත් නිධන්ගත තත්ත්වයට පත්වුණොත් මේ නිසා ඇතිවිය හැකි හානිය බොහොම ඉහළයි. මුලින්ම සිදුවන දේ කන ඇසීම දුර්වල වීමයි. නැත්නම් කන්  ඇහෙන්නෙ නැතිවෙලා බිහිරි බවට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම දිගින් දිගටම කනෙන් සැරව වැක්කරමින් ඉන්න වෙන නිදන්ගත CMOS –( Chronic suppurative otitis media)  කියන රෝග තත්ත්වය ඇති වෙන්නටත් පුළුවන්. ඒ එක්කම මේ විෂබීජ ඇතුළු කනට ඇතුළුවෙලා එහි සංවේදක ඉන්ද්‍රියන්ට හානි කළ හැකියි. එවිට සිරුරේ සමබරතාවය තියාගන්න බැරුව යනවා. ඇවිදින කොට විසි වෙන්න වගේ හදනවා, කරකැවෙනවා, පොතක් බලන්න බැහැ ඇසුත් එක්කම කරකැවිල්ල වගේ දැනෙනවා. මේ තත්ත්වය ඉතාමත් බැරැරුම්. එවිට විශේෂඥ වෛද්‍ය උපදෙස් ගන්නම වෙනවා. ඒ වගේම කාලයක් ප්‍රතිකාර ගන්නත් වේවි.

රෝග කාරකයා කන තුළ තියෙන අස්ථි ඇතුළට ගිහින් පදිංචි වුණොත් Mastoditis කියන  ප්‍රදාහ තත්ත්වය ඇතිවෙනවා. කන පිටිපස අතගානකොට අහුවෙන නෙරුමක් වගේ තියෙන අස්ථීය තමයි Mastoid bone එක කියන්නෙ. එය ප්‍රදාහයට පත්වූ විට හැදෙන  ලෙඩේ අස්ථිය කුඩා වූවාට ඉතා දරුණුයි. නරකම අවස්ථාව උදාවන්නෙ විෂ බීජ කන ආශ්‍රිතව තියෙන ස්නායුවලට පහර දුන් විටයි. සමහර විට ඒනිසා, මූණේ පැත්තක් එල්ල ගෙන ඉන්න වෙන, Facial nerve paralisis කියන වක්ත්‍ර ස්නායුව අඩපණ වීමේ තත්ත්වයට ගොදුරු වන්නට පුළුවනි. වැඩේ තවත් දුර දිග ගියාම මොළය ඇතු‍ළේ සැරව ගෙඩි හැදෙන්නත් පුළුවන්. Intracranial absess කියන මරණය වුවද ළඟා කළ හැකි රෝගයට ගොදුරු විය හැකියි. 

මේ කියන ප්‍රදාහ තත්ත්වයට ගොදුරුවීමේ අවදානම් සහගත බව වැඩිකරන සාධකවලට නිතර නිතර ලක්වන එනම් වරින්වර ඇතිවන සෙම්ප්‍රතිෂ්‍යාව, නාසය, උගුර ආශ්‍රිත ප්‍රදාහ ආදියත්, අසාත්මිකතා (විශේෂයෙන්ම දුවිලි, දුම වගේ දේවල වලට) තිබෙන අයහටත්, සිගරට් දුමට ගොදුරුවන අයටත් (තමන් බොන හෝ අනුන් බීලා එළියට දාපු දුමත්) මේ තත්ත්වය උග්‍රවන්නට පුළුවන්.

යුස්ටේකිය නලයේ පිහිටීමේ වෙනස් වීමද තවත් අවදානමක්. කුඩා දරුවන්ගේ නම්  උපතින්ම මේ නාලය කෙළින් පිහිටා ඇති බැවින් ඔවුන්ට ඇති අවදානම වැඩියි. නමුත් වැඩිහිටියන්ගෙත්, මේ විදියට නලය ඇදවීම්, ඉදිමීම් වගේ දෙවල් වගේම සෙම වගේ දේවල් හිරවෙලා, එහෙම නැත්නම් කිට්ටුව තියෙන වසා ගැටිති ඉදිමිලා, එහෙමත් නැත්නම් උපතින්ම ආපු විකෘතිතාවයක් නිසා නලයේ අවහිරතා ඇතිවීමත් සිදු වුවහොත් එයින් අනතුරැදායක තත්ත්වයක් ඇතිවිය හැකියි. මතක තබා ගත යුතු වැදගත්ම දේ තමා මේ රෝග තත්ත්වයට ප්‍රතිකාර සමඟ ලැබෙන වෛද්‍ය උපදෙස් නිසි ආකාරයට පිළිපැදීම හරිම වැදගත් කියන එක. 

 සුගත්