2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

කට වරද්දාගෙන ඉල්ලන් හදාගන්නා මාරක ලෙඩේ High Blood Pressure!

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 605

එදිනෙදා කට වහරෙදි ‘ප්‍රෙෂර්’ කියලා අපේ අය හඳුන්වන අධිරුධිර පීඩනය (High Blood Pressure) කියන්නේ අනතුරැ හැඟවීමකින් තොරව එන ‘නිහඬ මාරකයක්. එහෙම කියන්නෙ මේ රෝග තත්ත්වය ඇති බව පෙන්වන කැපීපෙනෙන ලක්ෂණ දකින්නට  නොලැබෙන නිසායි.

අධිරුධිර පීඩනයේදී ඔක්කාරය, නිතර දහදිය දැමීම, නින්ද ලැබීම අපහසුවීම වගේ රෝග ලක්ෂණ මතුවන බව සාමාන්‍ය පිළිගැනීමක් වුණත් එය සත්‍යයක් නොවන බවයි නවතම පර්යේෂණ පෙන්වා දී ඇත්තේ. බොහෝ දෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් මතුවන්නේ නැහැ කියන කාරණය තමා වෛද්‍යවරු කියන්නේ. 

ඉතින් මෙය දැනගන්නට ලැබෙන්නේ රුධිර පීඩනය මැන බැලීමෙන්ම පමණයි!

ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේත් මේ රෝගය ඉහළ යන තත්ත්වයක් තමා වාර්තා වී  තිබෙන්නේ. 

අවුරැදු 25ට වැඩි ශ්‍රී ලාංකිකයන් අතරින් 42%කට අධිරුධිර පීඩනය ඇති බවත්, ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනයෙන් 41.9%කට හා කාන්තා ජනගහනයෙන් 37%කට අධිරුධිර පීඩනය පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවන් තහවුරු කර තිබෙනවා. මේ නිසා අධිරුධිර පීඩනය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන සෞඛ්‍ය තර්ජනයක් හැටියටයි..!

ලෝකයේ තත්ත්වය සැලකුවත් වැඩි වෙසක් නෑ. ලෝක ජනගහනයෙන් බිලියනයකට ආසන්න පිරිසකට අධිරැධිර පීඩනය ඇති අතර එයින් 2/3ක්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල වැසියන් බවත්, වර්ෂ 2025 වනවිට ලෝක ජනගහනය තුළ වැඩිහිටියන් බිලියන 1.56ක් අධිරුධිර පීඩනයෙන් පෙලෙනු ඇති බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සහ ජගත් සමීක්ෂණ වාර්තා මගින් අනතුරු අඟවා තිබෙනවා...!

සිරුරට උවමනා කරන ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අරගෙන රුධිරය සිරුර පුරා  ගමන් කරවන්නේත්, ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවී ඇති රුධිරය එකතුකරගෙන යළි පෙනහල්ලටත් ගෙනයන කාර්යභාරය ඉටුකරන්නේත්, හෘදයවස්තුවෙනුයි... හදවත වරෙක හැකිලෙමින් සහ වරෙක දිගහැරෙමින් තමයි සිරුරේ රුධිර පොම්පාගාරය විදිහට ක‍්‍රියාත්මක වෙන්නේ.

මේ අන්දමට රැධිරය සිරුර පුරා ගමන් කරවන්නේ රුධිර නාල ඔස්සේයි. එලෙස ලේ ගමන් කරවන්නට කිසියම් පීඩනයක් යෙදීම අවශ්‍යයි. ඉතින් හෘදයවස්තුවෙන් රැධිරය පොම්ප කරනවිට සහ හෘදයවස්තුව විවේකීව තිබෙන විට හටගන්නා මේ පීඩන අගයන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුධිර පීඩනය මැනබලන විට ඒ අවස්ථා දෙකේ මනින ලබන පීඩන අගයන් දෙක අනුපාතයක් ලෙස දක්වනවා. එය මනින්නේ රසදිය මිලිමීටර් (mmHg) කියන ඒකකයෙන්. සාමාන්‍ය රැධිර පීඩනය ලෙස හඳුන්වන මේ අනුපාතයට වැඩි අගයක් රැධිර පීඩනය පෙන්වන්නේ නම් අන්න එය අධිරුධිර පීඩන තත්ත්වයක් ලෙස දක්වනවා. 

සාමාන්‍ය නිරෝගි අයකුගේ රුධිර පීඩන අගය – 120/80 mmHg

සාමාන්‍ය අගය මෙසේ වුවද වයස හා බර මත රැධිර පීඩන අගයන් වෙනස් වනවා. 

දැන් බලමු අධිරුධිර පීඩනයට බලපාන හේතු මොනවාද කියා.

• ප්‍රධානම හේතුව තමා මේදය හෝ දුම්වැටිවල අන්තර්ගත නිකොටීන් හෝ රුධිර නාලවල තැන්පත් වීම නිසා රුධිර නාල සිහින් වීම.

• ඊළඟට ජානමය හේතු නිසා රුධිර නාල සිහින් වීම. තෙල් සහිත ආහාරපාන අධිකව ගැනීම. නිතර මානසික පීඩාවන්ගෙන් පෙළීම හා  අවිවේකී බව. දියවැඩියා රෝගයෙන් පෙළීම. දීර්ඝකාලීනව වකුගඩු රෝගවලින් පෙළීම.

මේ රෝගය නොසලකා හැරියොත් මොකද වෙන්නේ...?

සාමාන්‍ය අයෙකුට වඩා අධිරුධිර පීඩන රෝගියෙකුට ආඝාතය (Stroke) වැළඳීමේ ප‍්‍රවණතාවය 7%කින් ඉහළයි. හදවත් රෝග වැළඳීමේ අවදානම 3%කින් ඉහළයි. රැධිර කැටි ඇතිවීමේ අවදානමත් ඉහළයි. දියවැඩියාව සෑදීමේ අවස්ථාව වැඩියි. එවිට වකුගඩු අක‍්‍රිය වීම, හෘදයාබාධ ඇති වීම, මොළයේ රුධිර නාළ පුපුරායාම, අංශභාගය වැනි මාරාන්තික අවදානමක් ඇති විය හැකියි.

රෝගයෙන් වළකින්න නම් කළයුතු කුමක්ද...?  

• අධික මේදය සහ අධික ලුණු සහිත ආහාර පානවලින් ඈත්වෙන්න. 

• ටින්වල ඇසිරූ ආහාර, කරවල, ලුණු මිශ්‍රිත අලපෙති, සෝස් වර්ග, කල්පවතින ලෙස සකස් කළ ආහාරවල අධික ලුණු ප‍්‍රමාණයක් අන්තර්ගතයි.

• මස්, බේකන්, හැම්, ලිංගුස්, මස්පෙති යෙදු බර්ගර් ආදියේ මේදය අධිකයි.

• ඒ වගේම මත්පැන් හා දුම්වැටි භාවිතය නවත්වමු. ආහාර රටාව හා ජීවන චර්යාවන් වෙනස් කරගමු. නිවුඩු සහල්, කුරක්කන්, තල, මෙනේරි, මුං, පළතුරැ, එළවළු, මත්ස්‍ය ආහාර වැඩිපුර ආහාරවේලට එක්කර ගනිමු. ගොරකා සහ කරපිංචා මේදය පාලනය කරන අතරේම රුධිර පීඩනයත් පාලනය කරනවා.

මේ සියල්ලටත් වඩා ආතතියෙන් සහ කනස්සල්ලෙන් තොරව දිවිගෙවීම ඉතාමත් වැදගත්!

 සුගත්