2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

විස්මිත ගුණ දෙන කරපිංචා

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 818

කරපිංචා කොළ සතුව විශ්මිත ගුණ රැසක් ඇති බව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් දැන් තහවුරු කර තිබෙනවා. විටමින් A, B, C සහ B2, කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ මෙන්ම අල්කලොයිඩ් වැනි සංයෝගවලින් පොහොසත් කරපිංචා කොළවලින් විශ්මිත සෞඛ්‍යමය වාසි රැසක් අ‍ත්වෙනවා. දියවැඩියාව පාලනය කිරීම, නරක කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම, විෂ සහිත සංයෝග නැසීම, බර අඩු කිරීම, උදාරාශ්‍රිත රෝග සමනය කිරීම, ගර්භනී සමයේදී ඇතිවන උදෑසන අපහසුව, ආතතිය පාලනය කිරීම, හිසකෙස් වර්ධනය වේගවත් කිරීම ඇතුළු ගුණ රුසක් අමුතු සුවඳක් සහිත රසකාරකයක් වන කරපිංචා සතුය.

ඔබ දියවැඩියා රෝගියෙක් නම් ස්වභාවික ක්‍රමයක් උයෝගී කර දියවැඩියා රෝගය පාලනය කිරීමට යොමු වීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වනවා. ඒ ඔබ පිස ගන්නා ව්‍යංජන සඳහා වැඩි වශයෙන් කරපිංචා කොළ යොදා ගැනීමෙනි. කරපිංචා කොළ මඟින් කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය පාලනය කර ඔක්සිකාරක බලපෑම ද පාලනය කරනු ලබනවා. ඊට අමතරව කරපිංචා කොළ මගින් අති සාර්ථක ලෙස ඉන්සියුලින් නිපදවීම උත්තේජනය කර රැධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබනවා. ඔබත් දියවැඩියාව නිසා පීඩාවට පත් වනවා නම් ඔබ ආහාරයට ගන්නා ව්‍යංජන සඳහා කරපිංචා එක්කර ගැනීමට අමතරව උදෑසනම හිස්බඩ කරපිංචා කොළ කිහිපයක් අමුවෙන් සපන්න පුරුදු වන්න. 

දිනපතා කරපිංචා කොළ ආහාරයට ගන්නවා නම් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය වනවා. කරපිංචා කොළ ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වන නිසා ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස වැඩි කර අහිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය කරනු ලබනවා. මේ නිසා අකල් මරණ සිදු වන හදවත් රෝග සහ රැධිර නාලිකා සිහින්වීමේ රෝගවලින් ආරක්‍ෂාව සලසා ගන්නට පුළුවන්. 

ඔබ ශරීරයේ බර වැඩි කම නිසා ලතවන අයෙක් නම් ඔබේ ආහාර සඳහා අදම කරපිංචා කොළ එක්කර ගන්න. කරපිංචා කොළ ආහාරයට ගැනීම මඟින් ශරීරයේ ඇති විෂ සහිත සංඝටක සියල්ලම මුත්‍රා සහ මළපහ මගින් ඉවත් කර දමන අතර අතිරික්ත මේදය සහ කාබෝහයිඩ්‍රේට දහනය කර ශරීරයේ බරත් නිසි පරිදි අඩු කරනවා.

සමෙහි කැපීම් සිරීම් නිසා ඇති වන තුවාල සුවපත් වීමේ වේගය කරපිංචා කොළ මගින් වේගවත් කරනවා. මේ සඳහා සහාය වන්නේ කරපිංචා කොළ සතු ප්‍රතිඔක්සිකාරක බලය සහ බැක්ටීරියා නාශක බලයයි. කරපිංචා කොළ සතුව වේදනා නාශක බලයක් අන්තර්ගත වන බව 2010 වසරේදී “Journal of Advanced Pharmaceutical Technology & Research” සඟරාව මගින්ද තහවුරු කර තිබෙනවා. ඔබේ සමේ තුවාලයක් තිබෙනවා නම් කරපිංචා කොළ කොටා පත්තුවක් සකස් කර දිනකට කිහිප වතාවක් තුවාලය මත තබන්න.

ආතතිය මගින් ශාරීරිකව සහ මානසිකව විශාල හානියක් සිදු වනවා. ආතතිය දුරු කර ගැනීම සඳහා බොහෝ ක්‍රම තිබුණත් කරපිංචා කොළත් මේ සඳහා භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා ඔබට කරපිංචා මගින් නිස්සාරණය කරන ලද සුගන්ධ තෙල් භාවිතා කරන්නට පුළුවන්.

හිස කෙස්වල මූල කේශ සවිමත් කිරීමේ හැකියාවක් කරපිංචා සතු වනවා. මීට අමතරව කරපිංචා තුළ අන්තර්ගත වන පෝෂණ ගුණයන් මඟින් හානියට පත් හිසකෙස් නිසි ලෙස නැවත වර්ධනය වීමට ද උපකාර කරනවා. එමෙන්ම කරපිංචා කොළ තුළ අඩංගු වන විටමින් B6 මගින් හිසකෙස් වැටීම වළකාලන හෝමෝන උත්තේජනය කිරීම ද සිදු කරනවා.

කරපිංචා පත්‍ර මඟින් ආහාර ජීර්ණයට අවශ්‍ය කරන එන්සයිම උත්තේජනය කර ආහාර ජීර්ණ පද්ධතිය සංසිඳුවනවා. ගර්භනී සමයේදී පළමු මාස තුන ඇතුළත උදෑසන යම් අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වනවා. ගර්භනී කාන්තාවන්ට මෙලෙස බොහෝසෙයින් ඇති වන ඔක්කාරය, වමනය සහ වෙනත් විවිධ අපහසුතා දුරැ කර ගැනීම සඳහා කරපිංචා කොළ භාවිතා කරන්නට පුළුවන්.

PHYTOLOGY NEWS