2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ලාදුරු හොඳ කරන්න පුළුවන්

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1910

සෑම වසරකම ලාදුරු රෝගීන් 2000ක් පමණ අප රට තුළ අලුතෙන් වාර්තා වන බව හෝමාගම මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥවරිය වන වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි. මෙම සංඛ්‍යාවේ වර්ධනයක් පසුගිය කාලය තුළ දක්නට ලැබී ඇත. ශ්‍රී ලංකාව තුළ මෙම රෝගය බහුලව දක්නට ලැබෙන්නේ කොළඹ, අම්පාර, පො‍ළොන්නරුව, මඩකළපුව, පුත්තලම, කළුතර, හම්බන්තොට, ගම්පහ, මාතර හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලය. ශ්‍රී ලංකාවේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවෙන් 10෴ක් පමණ වයස අවු. 15ට අඩු දරුවන් වීම මෙහි ඇති ඛේදනීය තත්ත්වය බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරිය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි. ලෝක ලාදුරු දිනය පසුගිය 26 වැනිදාට යෙදී තිබුණි. මේ ලාදුරු පිළිබඳ වෛද්‍ය ඉන්දිරා කහවිටගේ පැහැදිලි කිරීමකි.

ලාදුරු රෝගය යනු කුමක්ද?

මයික්‍රොබැක්ටීරියම් ලේප්රේ නම් බැක්ටීරියාව මගින් බෝවන සමට හා ස්නායුවලට බලපාන රෝගයකි. සාමාන්‍යයෙන් මිනිසුන්ට පමණක් වැළඳෙන රෝගයක් වන මෙය දීර්ඝ කාලයක් තිස්සේ ශරීරයට හානි සිදු කරයි.

රෝගය බෝවන්නේ කෙසේද?

බෝවන වර්ගයේ ලාදුරු රෝගියකුගේ ශ්වසන මාර්ගයේ ඇති විෂබීජ සහිත බිඳිති කැස්ස, කිවිසීම වැනි අවස්ථාවකදී තවත් අයකුගේ ශ්වසන මාර්ගයට පිවිසීමෙන් රෝගය බෝවේ. රෝගියකු ස්පර්ශ කිරීමෙන් රෝගය බෝවීමේ අවදානමක් නොමැත. නිසි ප්‍රතිකාර ලබාගන්නා බෝවන වර්ගයේ රෝගියකුගෙන් වුවද අන් අයට රෝගය බෝවීමට අවදානමක් නොමැත.

මතක තබාගත යුතු වැදගත් කරුණ නම්, ජනගහනයෙන් බහුතරයකට විෂබීජ ශරීරගත වී තිබුණද රෝගයට ගොදුරුවන්නේ ඔවුන්ගෙන් 10෴ක් පමණ සුළු පිරිසක් බවය.

ලාදුරු ප්‍රවේණි ගත රෝගයක්ද?

ලාදුරු ප්‍රවේණිගත රෝගයක් නොවේ. ප්‍රතිකාර නිසි ලෙස ලබාගත් අයකුගෙන් ඔහුගේ/ ඇයගේ දරුවන්ට පසු කලෙක රෝගය ජානගතව සම්ප්‍රේෂණය වීමක් සිදු නොවේ. එනමුත් රෝගයෙන් පෙළෙන අයකු සමඟ ජීවත්වන පවුලේ වෙනත් සාමාජිකයකුට රෝගය වැළඳීමේ 20෴ක පමණ ඉඩකඩක් පවතී.

ලාදුරු රෝග ලක්ෂණ මොනවාද?

සුලභම රෝග ලක්ෂණය වන්නේ සම මතුපිට සමේ පැහැයට වඩා අඩු පැහැති (අලුහම් වැනි) ලප ඇතිවීමයි. මෙම ලප එකක් හෝ කීපයක් ඇතිවිය හැකි අතර අලුහම් මෙන් ලප රාශියක් ඇතිවීම හෝ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සිදු නොවේ. මෙම ලප මතුපිට සංවේදනය (දැනීම) අඩුවීමක් හෝ සම්පූර්ණයෙන් නොදැනී යාමක් ඇතිවිය හැක. බොහෝවිට මෙම ලප දක්නට ලැබෙන්නේ මුහුණ, අත් (වැළමිට පිටුපස) පාද හෝ පිට පෙදෙසේය. ලප මතුපිට වියළි බවක් හා රෝම නොවැවීමද දැකිය හැක. (රූපය 1)

මේ හැරුණු විට පහත ඕනෑම ආකාරයකට ලාදුරු රෝගය ඇතිවිය හැක.

1. සමේ පැහැයෙන් හෝ රතු පැහැයෙන් ඇතිවන ගැටිති/ පලු 

2. මෙම ලප මතුපිට සංවේදනය සාමාන්‍ය තත්ත්වයේ පැවතිය හැක. (රූපය 2)

3. මුහුණේ ස්වරූපය වෙනස් වීම - කන් පෙතිවල ගැටිති හටගැනීම, මුහුණේ සම ඝනවීම හා ඇස්බිමිවල රෝම ගිලිහී යාම.මෙවැනි රෝගීන්ට නාසයේ සිරවීමක් පැවතිය හැකි අතර ඔවුන්ගෙන් තවකෙකුට රෝගය බෝවීමේ හැකියාවද ඉහළය.

3. පර්යන්ත ස්නායු දුර්වලතා‍

එක් අතක හෝ පාදයක ඇතිවන හිරිගතියක් හෝ මස්පිඬු දුර්වලවීමක් ලාදුරු රෝගයේ ලක්ෂණයක් විය හැක. (රූපය)

4. අත් හෝ පාදවල පවතින කල්ගතවූ හිරිගතිය හෝ තුවාල ඇතිවීම.

මෙය දියවැඩියා රෝගයේ දී ඇතිවන හිරිය හා තුවාලවලට හැම අතින්ම සමානය. දියවැඩියාවෙන් නොපෙළෙන අයකුට මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් එය ලාදුරු රෝගය විය හැකිය.  

රෝගයට ගොඳුරුවීමේ අවදානම වැඩිපුර ඇත්තේ කාහටද?

ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක අයට මෙම රෝගය බෝවිය හැක. රෝගය ව්‍යාප්ත වූ දිස්ත්‍රික්කවල වෙසෙන, කුඩා ඉඩකඩක වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් සමඟ ජීවත්වන අයට මෙන්ම පවුලේ අන් අයකුට රෝගය වැළඳී ඇතිවිට මෙම අවදානම වැඩි වේ.

වැනි රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් කුමක් කළ යුතුද?

ළඟම පිහිටි රජයේ රෝහලේ බාහිර රෝගී අංශයට යොමු වී ඔබගේ සැකය පිළිබඳව පවසන්න. එම අංශයෙන් ඔබට අදාළ චර්ම රෝග සායනයට යොමු කිරීමක් ලැබෙනු ඇත.

රෝග හඳුනා ගැනීම කෙසේ සිදුවේද?

රෝගය නිශ්චිතවම හඳුනාගත හැකි රුධිර පරීක්ෂණයක් නොමැත. පැහැදිලි රෝග ලක්ෂණ පවතීනම් සායනික පරීක්ෂණයකින් අනතුරුව රෝග විනිශ්චයට එළැඹිය හැක.

සමහර අවස්ථාවලදී රෝග නිර්ණය සඳහා සමේ කොටසක් (biopsy) හෝ ස්‍රාවයන් පරීක්ෂා කිරීම අවශ්‍ය වනු ඇත.

ප්‍රතිකාර කෙබඳුද?

බෝ නොවන වර්ගයේ ලාදුරු රෝගයකට ඖෂධ වර්ග 2ක් මාස 6ක කාලයක් ලබාදෙන අතර බෝවන වර්ගයේ රෝගයට ඖෂධ වර්ග 3ක් වසරක කාලයක් පුරා ලබාදෙනු ඇත.

ලාදුරු රෝගයට ප්‍රතිකාර තිබේද?

ලාදුරු රෝගය සාර්ථකව සුවකළ හැකි ඖෂධ ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නොමිලයේ ලබාදෙන මෙම ඖෂධ පසුගිය වසර 30කට වැඩි කලක් ශ්‍රී ලංකාව තුළ භාවිත කර ඇති අතර එමගින් දහස් ගණනක් රෝගීන්ට සුවය ලබා දී ඇත.

ප්‍රතිකාර ආරක්ෂිතද?

මෙම ප්‍රතිකාරය නිසා බරපතළ අතුරු ආබාධ ඇතිවීම අවම මට්ටමක බවතී. සායනවලදී රුධිර පරීක්ෂණ මගින් අතුරු ආබාධ කල්තබා හඳුනා ගැනීමට කටයුතු කරනු ලැබේ.

ගැබිනි මව්වරුනට හා කිරිදෙන සමයේ දී පවා මෙම ප්‍රතිකාරය ලබාගැනීම ආරක්ෂිතය.

ප්‍රතිකාර ලබාගන්නා අවදියේ දී සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පාසලට හෝ සේවා ස්ථානයට යාමට බාධාවක් නොමැත.

හෝමාගම මූලික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට

                                    

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00