2018 ජුලි 21 වන සෙනසුරාදා

සීතල දිය නෑමේ වාසි රැසක්

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 597

ශීත ජලය ස්නානය කිරීම මගින් ශරීරයට අත් වන සෞඛ්‍යය වාසි රුසක් ඇති බව තහවුරු වී තිබෙනවා. මේ එබඳු වාසි කිහිපයක් ගැනයි.

 ශරීරය යුහුසුලුව ක්‍රියාත්මක වීම

ඔබ උදෑසන අවදි වූ විට ශරීරයට ඈලි මෑලි ස්වරූපයක් ගෙන දෙමින් නිදිමත බවක් දැනෙනවා නම් ඔබ ශීත ජලය ස්නානය කරන්න. ශීත ජලය සම මත ස්පර්ශ වීමෙන් සිදු වන ප්‍රතික්‍රියාවක් ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩිවී සමෙහි ස්වසන ක්‍රියාවලිය වේගවත් වී සම තුළට ඔක්සිජන් ආශ්වාස වීමේ වේගය වැඩි වනවා. එමෙන්ම ශරීරයේ උෂ්ණත්වය සමබර කිරීම සඳහා හද ගැස්මත් නිසි ලෙස වැඩිවී ක්‍රියාත්මක වනවා. ශීත ජලය ස්නානය මගින් රුධිර සංසරණය ක්‍රමවත් ලෙස වේගවත් කර ගැනීමෙන් දවස පුරාවට ශරීරය නිසි ක්‍රියාශීලී මට්ටමකින් පවත්වා ගන්නටත් පුළුවන්.

 මේද දහනයට උපකාර වනවා

ශීත ජලය ස්නානය කිරීම මගින් සාර්ථක ලෙස මේදය දහනය කර ගන්නට පුළුවන් බව ඔබ දන්නවාද? මිනිස් සිරුර ප්‍රධාන වශයෙන් මේදය වර්ග දෙකකින් යුක්ත වනවා. එය සුදු මේදය සහ දුඹුරු මේදය වශයෙන් වර්ග කරන්නට පුළුවන්. සුදු මේදය බෙල්ල, උදරය, උකුළ සහ ඉන ප්‍රදේශයේ තැන්පත් වන අතර අධික ලෙස කැලරි ලබා ගැනීම නිසා සුදු මේදය නිර්මාණය වනවා. හොඳ මේදය ලෙස සැලකෙන දුඹුරැ මේදය ශරීරයට අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා ශරීරය උණුසුම් කිරීම සිදු කරනවා. ශීත ජලය ස්නානය කිරීම මගින් මෙම දුඹුරැ මේදය ක්‍රියාශීලී කර මේදය වැඩි වශයෙන් දහනය කර ගත හැකි බව අධ්‍යයනයන් මගින් කරුණු දක්වනවා. මේ හේතුව නිසා ශීත ජලය ස්නානය කිරීම පුරුද්දක් ලෙස පවත්වා ගැනීම මගින් වසරකට බර රාත්තල් නවයක් පමණ අඩු කර ගන්නට පුළුවන් බවයි වාර්තා වෙන්නෙ. 

 සම සහ හිසකෙස් වර්ධනය

ඔබ උණු ජලය ස්නානය කරන විට සම සහ හිසකෙස් වියළි ස්වභාවයක් නිරීක්ෂණය වනවා ඇති. ශීත ජලය ස්නානය කිරීම මගින් මෙහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාව සිදු වන අතර හිසකෙස් අග සහ සමෙහි සිදුරු බාහිරින් අනවශ්‍ය තෙතමනය ඇතුළු වීමට නොහැකි වන ලෙස සීල් කිරීම සිදු කරනවා.

 ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් වෙයි

ශීත ජලය ස්නානය කිරීම මගින් සිදු වන එක් ප්‍රධාන වාසියක් ලෙස ක්ෂණිකව ශරීර උණුසුමේ සිදු වන වෙනස හඳුන්වා දෙන්නට පුළුවන්. මෙය චිකිත්සා ක්‍රමයක් ලෙස භාවිතා කරන අතර “Contrast Bath” යන නමින් හැඳින්වෙනවා. මෙහිදී ප්‍රථමයෙන් උණු ජලය ස්නානය කිරීම සිදු වන අතර ඉන් පසු විනාඩි කිහිපයකින් ක්ෂණිකවම ජලයේ උෂ්ණත්වය වෙනස් කර ශීත ජලය ස්නානය කිරීමට සලස්වනවා. මෙම ක්‍රමය මගින් රෝග සමග සටන් වැදීමේ හැකියාව ලැබෙන පරිදි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල වර්ධනය කර ගත හැකි බව විද්‍යාඥයන් විසින් විශ්වාස කරනවා.

 විෂාදය සමග සටන් වැදීම

මිනිස් සම මත සීතලට සංවේදී සංවේදක පවතින අතර සම මත ශීත ජලය ස්පර්ශ වූ විට එම සංවේදක මගින් මොළයට විද්‍යුත් ආවේග යැවීම සිදු වන අතර එමගින් ප්‍රතිවිෂාද බලයක් ඇති වනවා. විෂාදය සුවපත් කර ගැනීමට ශීත ජලය ස්නානය කිරීම අතුරු ආභාද කිසිවක් ඇති නොවන සාර්ථක ක්‍රමවේදයක් බව 2008 වසරේදී සිදු කරන ලද එක්තරා අධ්‍යයනක් විසින්ද තහවුරු කර තිබෙනවා.

 මාංශ පේශී වේදනා ඉක්මනින් සුවපත් කර ගැනීම

බොහෝ මලල ක්‍රීඩකයන් ව්‍යායාම හෝ ක්‍රීඩා අවසන් කළ පසු අයිස් ජලයේ ගිලී ස්නානය කරනවා ඔබ දැක තිබෙන්නට පුළුවන්. එසේ සිදු කරන්නේ ඔවුනගේ මාංශ පේශී වේදනාව ඉක්මනින් සුවපත් කර ගැනීම සඳහායි. ඔබටත් යම් ආකාරයක මාංශ පේශී වේදනාවක් ඇත්නම් ශීත ජලය ස්නානය කරන්න. අධ්‍යයනයන් විසින් ද තහවුරු කර ඇත්තේ ශීත ජලය ස්නානය කිරීම මගින් මාංශ පේශී වේදනාවන් සමනය වීමේ කාලය වේගවත් කර ගත හැකි බවයි.

 ආතතිය දුරු කිරීම

ශීත ජලය ස්නානය කිරීම මගින් ආතතිය ඇතිවීමට බලපාන බොහෝ රෝග ඇති කරවන රෝග කාරකයක් වන ශරීරයේ යූරික් අම්ල මට්ටම අඩු කර ගත හැකි බව අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා. ඒ වගේම, ස්වභාවිකව රුධිරය පිරිසිදු කරන පවිත්‍ර කාරකයක් ද, ප්‍රතිඔක්සිකාරක බලය සහ වේදනා නාශක බලය වර්ධනය කරන එන්සයිම මට්ටමත් ශීත ජලය ස්නානය කිරීම මගින් වැඩි කර ගත හැකි වන බව අධ්‍යයන මගින් තහවුරු කර තිබෙනවා.

 WEB MD