2018 ජුලි 14 වන සෙනසුරාදා

අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 477

අමතකවීම හෙවත් අල්ෂයිමර් රෝගය කියන්නේ දරුණු ස්නායුගත රෝගයක්. මෙයින් ගැළවෙන්න නම් අප කළ යුත්තේ එය නොවැළඳෙන සේ ප්‍රවේසම් වීමයි. ඒ සඳහා  මේ විදිහේ හුරුපුරුදු කීපයක් අනුගමනය කළොත්, ඇල්ෂයිමර් ගොදුරක් නොවී බේරෙන්න  හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

පුරුද්දක් ලෙස ව්‍යායාම කරන්න

ව්‍යායාම කිරීම නිසා ඇල්ෂයිමර් රෝගය වැළඳීමේ අවදානම 50%ක්ම අඩු වන බව සනාථ වී තිබෙනවා. ව්‍යායාම නිසා සිරුරේ රුධිර සංසරණය ප්‍රාණවත් වන අතර, එයින්  මොළය සුරකිනු ලබන රසායනිකයන්වල ක්‍රියාකාරීත්වය වර්ධනය වෙනවා. වයස්ගත වීමත් සමඟ මොළයේ ඇතිවන දුර්වලතා වැලැක්වීමටත් ව්‍යායාම උපකාරී වෙනවා. සතියකට මිනිත්තු 150ක්වත් ඔබ ව්‍යායාම වල නිරත විය යුතුයි. බර එසවීමේ ව්‍යායාම මඟින් මස්පිඬු සකස් වනවා සේම, මොළයේ ක්‍රියාකාරිත්වයත් වර්ධනය වෙනවා.

තනිකමට තිත තියන්න 

තනිකමට හුරුවෙන්න එපා. මිනිසා කියන්නේ ස්වාභාවිකවම සමාජය හා ගැටීමට බිහි වූ සත්වයෙක්. මිනිසා අවධානය ලබා ගැනීමට සහ සන්නිවේදනය කිරීමට ප්‍රිය කරනවා. මේ නිසා සමාජය හා එක්ව ඔබේ ජීවිතය ගත කරන්න. එසේ කිරීමෙන් මේ රෝගය වැළඳීමේ අවදානම අඩු වෙනවා. සමාජ ආශ්‍රය ඔබට උපකාරී වන්නේ මේ රෝගයෙන් බේරෙන්න විතරක්ම නෙවෙයි. එය ඔබේ මානසික ශක්තිය නඟා සිටුවන්නත් උපකාරී වෙනවා. වයස්ගත වීමත් සමඟ බොහෝ මිනිසුන් තනිවෙනවා. මෙයින් මිදීම සඳහා නව මිතුරන් ඇති කර ගන්න. සංවිධාන හෝ වැඩමුළුවලට සහභාගී වන්න, ස්වෙච්ඡාවෙන් සේවය කරන්න.

මොළේට ගුණ  ආහාර වේලක්

මේ රෝගය සමහර වෛද්‍ය මහාචාර්යවරු හඳුන්වන්නේ මොළයේ ඇති වන දියවැඩියා තත්ත්වයක් ලෙසයි. මේ නිසා ඔබ ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතුයි. සීනි භාවිතය සහ කබෝහයිඩ්රේට් භාවිතය ඔබ අඩු කළ යුතුයි. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වූ විට මොළයට හානි පැමිණෙනවා. එසේම මේදය අධික ආහාර වලින් ඔබ වැළකිය යුතුයි. ඔමේගා 3, ග්‍රීන් ටී, ෆෝලික් අම්ලය, විටමින් B-12 බහුල  මොළයට හිතකර ආහාර ඔබේ දෛනික රටාවට එක්කර ගැනීම සුදුසුයි.

ප්‍රහේළිකා හා ගණිත ගැටලු අත්අරින්න එපා

විනෝදයත් සමඟ මතක ශක්තිය වඩවා ගත හැකි හොඳම ක්‍රම වන්නේ මෙමරි ගේම්ස්, ප්‍රහේළිකා හා ගණිත ගැටලු විසඳීම වැනි දේවල් අනුගමනයයි. නිතරම අලුත් දෙයක් ගැන ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. අලුත් භාෂාවක්, සංස්කෘතිය ගැන අලුතින් යමක් ඉගෙන ගන්න. පත්තර කියවීමට හුරුවන්න. මීට අමතරව හැමදාම එකම විදිහට කරපු දේවල් වෙනස් විදිහකට කරන්න උත්සාහ කරන්න. නිතරම එකම ක්‍රමයක් හෝ පිළිවෙළක් අනුගමනය කළොත් ඔබේ මොළය ක්‍රියාශීලි වන්නේ නැහැ. මේ නිසා සංඛ්‍යා අග සිට මුලට ලිවීම, දිනපතා නිරත වූ යමක් වෙනස් ආකාරයකට කිරීම, කබඩ් එකේ ෆයිල් තබන රටාව වෙනස් කිරීම, කරන වැඩ නුහුරු අතින් කිරීම වැනි යමක් කරන්න.

ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

අල්ෂයිමර් රෝගය වැළඳුනු බහුතරයක් දෙනා නින්ද නොයෑමේ රෝගයෙන්  පීඩා විඳින අය බව හෙළි වී තිබෙනවා. නින්ද නොයෑම ඔබේ සිතිවිලි, සිතීමේ රටාව සහ මනසේ ස්වභාවයට බලපානවා. ඔබ නින්ද නොයෑමේ ලක්ෂණවලින් පීඩා විඳිනවා නම්, දවල් කාලයේ කෙටි නින්දවල් ලබා ගැනීමෙන් වළකින්න. රාත්‍රී නින්ද සඳහා ඔබ පැය දෙකක පමණ සිට මනසින් ලෑස්ති වන්න. නිදා ගැනීමට ආසන්න වූ විට ඇඟ සේදීමෙන් නින්ද පහසුවෙන් ඔබ වෙත ළඟා වෙනවා. පොතක් කියවීමට හුරු වීමෙන්, ඔබ වෙත නින්ද ළඟා වේවි. එකම වෙලාවක නින්දට යාමට හුරුවන්න.

මතක බිඳ දමන මානසික පීඩනය 

මානසික පීඩන තත්වයන් ඔබේ මොළයේ මතක තබා ගැනීමේ කොටසට හානි පමුණුවනවා. භාවනා කිරීම, ඇවිදින්නට යාම, ගැඹුරින් හුස්ම ගනිමින් හුස්ම ගැනීමේ රටාවට අවධානය යොමු කිරීම, අවට පරිසරයේ සුන්දරත්වයට අවධානය යොමු කිරීම වැනි ක්‍රියාවල නිරත වෙමින් මානසික පීඩනය අවම කර ගන්න. නිතරම සතුටින් සිටීමට උත්සාහ ගන්න.

►Brain med

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00