2018 ජුලි 07 වන සෙනසුරාදා

ලෙඩ තොගයක් ගොඩදාන අපි නොදන්න එන්නත්!

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 772

ඉන්ෆ්ලුවෙන්සා රෝගය දකුණු පළාත මුල්කර හදිසියේ පැතිරයාමත් සමඟ අද කාලයේ මුල්තැන ගන්නා රෝග නිවාරණ  ප්‍රතිකර්මය බවට පත්ව ඇති එන්නත් පිළිබඳව කතාබහ ඉහළ ගියේය. නූතන වෛද්‍ය විද්‍යාවේ විශාලතම වෙනස්වීම සිදුකළ හඳුන්වාදීම වන්නේ  එන්නත හඳුන්වාදීමයි. අද ලෝකවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමේ තීරණාත්මක සාධකය එන්නතයි. එය ප්‍රතිජීවක (antibiotic) වලටත් වඩා ඉහළ තත්ත්වයක් ගනියි. එය දෙවැනි වන්නේ පිරිසිදු ජලය පානයට පමණි.

මුලින්ම ලොවට එන්නත හඳුන්වා දුන්නේ එංගලන්තයේ වෛද්‍යවරයකු වූ එඩ්වඩ් ජෙනර්ය. එතුමා 1792 දී වසූරිය රෝගය සඳහා එන්නතේ වැදගත්කම ලොවට හඳුන්වා දුන් අතර ඊට අවුරුදු 200කට පමණ පසු 1977 දී එමගින් වසූරිය ලොවින් තුරන් කිරීමට හැකි විය. එමෙන්ම ලංකාවටද ඉතාම සාර්ථක එන්නත් ලබාදීම සිදුකළ නිසා පසුගිය අවුරුදු 30ක කාලයේදී පෝලියෝ රෝගය ලංකාවෙන් තුරන්ව ගිය තත්ත්වයට පත්වී ඇත. එමෙන්ම සරම්ප, කක්කල් කැස්ස, ගලපටලය, රුබෙල්ලා වැනි රෝග ඉතාමත් කලාතුරකින්වත් දක්නට නැති තරම්ය. එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තීකරණය මගින් ලොව පුරා මිලියන 2කට වඩා මරණ වළක්වා ඇති බව ගණනය කර ඇත. එම නිසා අද දින ප්‍රතිශක්තිකරණය හඳුන්වන්නේ වඩාත් සාර්ථක සෞඛ්‍ය ආයෝජනය ලෙසයි. (Most effective health investment) අද ලෝකයේ බෝවන රෝගවලින් 30කට වඩා වැළැක්විය හැකි එන්නත් නිපදවා ඇත. ඇත්තෙන්ම මේ වන විට ලංකාව තුළ එන්නත්කරණය ලෙඩ රෝග රුසකට එරෙහිව සාර්ථක ලෙස ක්‍රියාත්මකය. දරුවන් සඳහා නියමිත එන්නත් පිළිබඳව හොඳින් දැනුවත් වෙමින් නිසි කලට ඒවා ලබාදීමෙන් ඔබේ දරුවාද මාරාන්තික රෝග රුසකින් බේරාගන්නට හැකියාව ලැබී ඇත. මේ ඒ ගැන දේශය පාඨක ඔබ දැනුවත් කිරීමකි.

ශ්‍රී ලංකාවේ වසූරිය රෝගය රෝග සඳහා 1886 වර්ෂයේ සිට එන්නත් ලබාදීම සිදුකර ඇත. ඉන් පසු ක්ෂය රෝගය සඳහා ලබාදෙන එන්නත 1949 දීද, ගලපටලය, කක්කල් කැස්ස හා පිටගැස්ම සඳහා ලබාදෙන DPT එන්නත 1961 දීද, 1962 දී පෝලියෝ රෝගය සඳහා එන්නත ලබාදීමද ආරම්භ කර ඇත. එහෙත් වඩා පිළිවෙළට එන්නත් ලබාදීමේ වැඩසටහන 1978 දී (Expanded progrmme of immunization) ලෙස ආරම්භ කරන ලදී. මේ ආකාරයට අද වන විට ඉහත වැඩසටහන මගින් ලංකාවේ රෝග 12කට එන්නත් රජය විසින් ලබාදෙනු ලබයි.

රජයෙන් ලබාදෙන එන්නත් 12 ක්

1. ක්ෂය රෝගය 2. ගලපටලය 3. කක්කල් කැස්ස 

4. පිටගැස්ම 5. හෙපටයිටිස් B  6. ඉන්ෆ්ලුවෙන්සා B  

7. පෝලියෝ  8. මොළයේ උණ 9. සරම්ප 

10. කම්මුල්ගාය  11. රැබෙල්ලා 12. ඉහත රෝගවලව අමතරව රජය මගින් මේ වන විට කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාවලට හේතුකාරක වන පැපිලෝමා වෛරසය රෝගයට එරෙහිව Human Population virus   එන්නතද ලබාදීමට කටයුතු කරයි. වසූරිය තුරන් කිරීමට ලබාදෙන එන්නත 1977න් පසු ලබා දී නැත.

අපි නොදන්න තවත් එන්නත් !

මීට අමතරව තවත් රෝගකාරක විශාල ප්‍රමාණයකට එන්නත් ලෝකයේ ඇත. ඉන් සමහරක් ශ්‍රී ලංකාවට ලබාගැනීම ඉතාමත් වැදගත් වනු ඇත. ලෝකයේ ළමා මරණවලින් 2/3කට වැඩියෙන් සිදුවන්නේ පාචනය සහ නිව්මෝනියාව වැනි තත්ත්වයන්ගෙනි.

එයිනුත් නිව්මෝනියාව යනු ලෝකයේ වැඩියෙන්ම ළමා මරණ සිදුවන අසනීප තත්ත්වයකි. මේ තත්ත්වය කෙසේද කිවහොත් ලෝක ළමා ජනගහනයෙන් මිලියන 1.5කට වඩා වසරක් ඇතුළත මියයනවා යැයි පැවසුවහොත් අතිශයෝක්තියක් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනුව ප්‍රතිශක්තීකරණ මගින් pneumococcal නිව්මෝනියාව, ඉන්ෆ්ලුවෙන්සා B, කක්කල් කැස්ස හා සරම්ප යන රෝග 4 පාලනය කිරීමෙන් නිව්මෝනියාව වළක්වා ගත හැක. ඉහත සඳහන් රෝග 4ට එරෙහිව එන්නත් ඇත. මේ අතරින් ශ්‍රී ලංකා රජය අනුග්‍රහය ලබානොදෙන්නේ “නිව්මොකොකස්” නම් බැක්ටීරියාව මගින් වැළඳෙන රෝගයට පමණි. නමුත් මෙම “නිව්මොකොකස්” නම් බැක්ටීරියාව නිසා ප්‍රධාන වශයෙන් ඇතිවන නිව්මෝනියාව, මස්තිෂ්ක ප්‍රදාහය (meningitis) සහ රැධිරයේ විෂබීජ තත්ත්වය (septicemia) මගින්   මිලියනයක් පමණ අවු 5ට අඩු දරුවන් ලෝකයේ වාර්ෂිකව මියයන බව ගණනය කර ඇත. ඉහත කරුණු සලකා බැලීමේදී නිව්මොකොකස් නම් බැක්ටීරියාවට ලබාදෙන එන්නත ඉතාමත් ප්‍රයෝජනවත් එකකි.

මීට අමතරව පැපොල රෝගයද දරුවන්ට මෙන්ම වයසක උදවියට සංකූලතා ඇතිවන රෝගී තත්ත්වකි. මීට අමතරව ගර්භනී කාලයේදී පැපොල රෝගයට ගොදුරු වූ විට තදබල සංකූලතාවලට කළලය ගොදුරු වේ. එමෙන්ම පැපොල රෝගය වැළඳුනු රෝගියකුට පසුකාලීනව නැවත පැපොල සෑදීමේ හැකියාව නැතිමුත් ඔවුන්ගේ කලින් සැදුන පැපොල රෝගකාරක ස්නායු මුල්වල තැන්පත් වී නැවත රෝගී තත්ත්වය මතුවිය හැක. මෙය Herpes zoster නමින් හැඳින්වේ. මේ තත්ත්වය සලකා බලන විට පැපොල රෝගයට ශ්‍රී ලංකාව තුළ එන්නත් ලබාගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන් පවුලේ අයෙකුට පැපොල රෝගය වැළඳුනු විට හෝ එවැනි රෝගියකුට නිරාවරණය වූ විට මෙම එන්නත දින 3 ක් තුළ ලබාදීම තුළින් මෙම රෝගය වළක්වා ගත හැක.

මීට අමතරව මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහාද එන්නතක් ඇත. Influenza රෝගයේ ප්‍රධාන වෛරස කාණ්ඩ 3 ක් සඳහා (Trivalent) Influenza A(H1N1) සහ A(H2N2 ) ද සහ Influenza B හෝ ප්‍රධාන වෛරස කාණ්ඩ 4 ක් සඳහා A කාණ්ඩයේ 2 ක් (Influenza H1N1 H3N2 ) සහ B කාණ්ඩයේ 2 ක් වශයෙන් එන්නත් 2 ක් ඇත. නමුත් මෙම වෛරසවල තත්ත්වය විටින් විට වෙනස් වන නිසා සෑම වසරකම එන්නත් ලබාදීම සිදුකරයි. නමුත් යුරෝපීය රටවල ශීත කාලය එනවිට මේ එන්නත් ලබාදෙනු ලැබේ.

මීට අමතරව ලෝකයේ බහුලවම ඇති රෝගයක් වන පාචනය වැඩිපුරම බෝවන Rota වෛරසයෙන් බේරීම සඳහා එන්නත් ලබාදීම කළ හැක. ශ්‍රී ලංකාවේ අද දිනය වන විට රෝග 12 ක් සඳහා එන්නත් රජය මගින් ලබාදෙන අතර ඉදිරියේදී ඉහත සඳහන් කළ රෝග (pneumonia, Influenza, Rota virus) සඳහාද එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළකට අවධානය යොමුවීම දීර්ඝකාලීනව ප්‍රයෝජනවත් වනු ඇත.

වෛද්‍ය චින්තක රාජපක්ෂ 
ළමා රෝග විශේෂඥ
කුලියාපිටිය මූලික රෝහල