2018 ජුනි 23 වන සෙනසුරාදා

සපත්තුවෙන් හැදෙන එපාකරපු ලෙඩේ

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1116

පාදවල, මහපටැඟිල්ලේ කොණ හෙවත් නියපොතු දාරය වණ වීමක්, එහෙම නැතිනම් සුවනොවන තුවාලයක ස්වරෑපයක් පැවතීමක්, ඉදිමීමක් හෝ නියපොතු අග වණවීම යන අපහසුකාරී අවස්ථාවට ඔබත් මුහුණදීලා ඇති. පාදයේ නියපොතු අග පැසවීම නිසා විඳිනා වේදනාව ඇත්තටම ඉමහත් පීඩාකාරී දෙයක් පමණක් නොවෙයි. දෙපා මේ නිසා අවලස්සන වෙනවා. වයස් භේදයකින් තොරව ඇතැම් අයට සිදුවන මේ ගැටලුව පිළිබඳ සොයාබැලීම අතිශයින් වැදගත් වන්නේ මේ තත්ත්වය වැඩි වර්ධනය වනවා මිස ප්‍රතිකාර නොමැතිව සුව අතට පත් නොවන නිසයි.

සපත්තුවේ බලපෑම

නියපොතු අග හා දාරය වණවීමට ප්‍රධාන ලෙස හේතුවන්නේ, අප පළඳින සපත්තු දෙකයි. විශේෂයෙන්ම සපත්තුවේ, ඇඟිලි ස්ථානගත වන ප්‍රදේශය තද නම් ප්‍රතිඵලය වන්නේ සපත්තුව තුළ ඇඟිලි එකිනෙක තුළට තදවීම හෙවත් පොකුරු ගැසීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නියපොත්ත කැරකී, එය ආසන්නයේ ඇති මස් තුළට තද වීමයි. තද ගතියෙන් යුතු හෝ දිගින් අඩු සපත්තු මගින් මේ ක්‍රියාව උග්‍රවිය හැකි වුවත්, ඇඟිලි ආවරණය වන ඕනෑම සපත්තුවකින් මෙම ක්‍රියාවලිය සිදුවිය හැකිවන බවත් මතක තබාගත යුතු වෙනවා.

මෙම රෝගය ඇතිවිය හැකි මීළඟ හේතුව වන්නේ වැරදි ආකාරයට නියපොතු කැපීමයි. සාමාන්‍යයෙන් අපි නියපොතු කපන විට එහි අග කෙළින් කපා ඊළඟට නියපොත්තේ කොන් දෙක ඇදයට හෙවත් කිසියම් කෝණයකට කපනු ලබනවා. එසේ නැතිනම් ඒ ආකාරයට කැපුම් දාරය රවුම් හැඩයක් කරනු ලබනවා.

සමහර විටෙක, නියපොත්ත යට ඇති මාංශමය කොටසත් පෙනෙන ආකාරයට ඉතා කොටට නියපොතු කපනු ලබනවා. මෙහිදී ප්‍රතිඵලය වන්නේද කැපූ නියපොතු දාරය අසල ඇති මස් ඇතුළට වර්ධනය වීම සහ නියපොතු අග පැසවීමයි.

නියපොතු කැපිය යුතු නිවැරදි ආකාරය

මේ නිසා නියපොතු කැපීමේදී එහි පිටත දාරය කෙළින් අතට හරස් ඉරක් ලෙස පමණක් කැපීමත්, නියපොතු කොන අසල දාරය කැපීමෙන් වැළකීමත්, නියපොතු ඉතා කොටට කැපීමෙන් වැළකීමත් මෙම රෝගය වැළැක්වීමේ කාරණා ලෙස වැදගත් වෙනවා. ඉහත හේතු කාරණා දෙකට අමතරව, නියපොතු දාරයට සිදුවන බාහිර තුවාල නිසාත් (උදාහරණ ලෙස නියපොත්ත මතට කිසියම් දෙයක් වැටීම) නියපොතු දාරය අසල මස තුවාල වී, නියපොත්ත ඒ මස තුළට වර්ධනය වී මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිවෙනවා.

මීට අමතරව සමහර දෙනාගේ උපතින්ම නියපොත්තේ ඇති හැඩය හා පිහිටීමත් මේ රෝග තත්ත්වයට හේතු වෙනවා. නමුත් ඒ අවස්ථාවේදීත් සපත්තු පැළඳීම යන කාරණය ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා. සමහර දෙනෙක් විසින් මේ රෝග තත්ත්වය, නියපොත්ත අසල සම හා මස් ප්‍රමාණය වැඩිවීම නිසා, ඒවා නියපොතු දාරයට තෙරපීමෙන් ඇතිවිය හැකි දෙයක් බවටද විශ්වාස කරනවා.

සුළු ශල්‍යකර්මයක් කළ යුතුයි

රෝගයට ප්‍රතිකාර ලෙස බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ ආලේප කිරීම ආදිය කිසියම් සහනයක් සැපයුවත්, රෝගය සෑදුණු ආකාරය ගැන අවධානය යොමුකර ඒවා වැළැක්වීමත්, විශේෂයෙන් තද ගතියක් නැති සපත්තු භාවිතයට පෙළඹීම හා නියපොතු කැපීමේදී සැලකිලිමත් වීමත් අවශ්‍ය වෙනවා.

මහපටැඟිල්ල හිරි වට්ටවා, වේදනාව නැතිකර නියපොතු දාරය එහි මුල සිට ඉවත් කිරීමේ සුළු ශල්‍යකර්මය වඩාත් ප්‍රතිඵලදායක තත්ත්වයකි. එබැවින් මේ සඳහා උපදෙස් ඔබගේ වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරයා ඔබට ලබාගත හැකිය.

 සුගත්