2018 ජුනි 09 වන සෙනසුරාදා

ගෑනු පිරිමි බේදයක් නැති පියයුරු පිළිකා මාරකේ!

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 666

කාන්තාවන්ට වැළඳෙන පිළිකා රෝග අතරින් වැඩි ලෙසම වාර්තා වන්නේ පියයුරු පිළිකාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙවර්ගයටම පොදු කරුණක් බවය.

2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000 ක් පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බව ඇස්තමේන්තු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8%ක්ම පියයුරු පිළිකා රෝගීන්ය. කෙසේ නමුත් පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට අනුව වෙනස් වේ.

පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ

ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතියික මට්ටමේ පවතින්නක් විය හැක.

පිළිකාව මුලින්ම පියයුරු ආශ්‍රිතවම ඇතිවූවක් නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි. ශරීරයේ වෙනත් තැනක ඇතිවූ අර්බුදයක් පියයුරැවලට පැතිරී ඇත්නම් එය ද්වීතියික පියයුරැ පිළිකාවකි.

බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හටගැනීමක් සිදුවන්නේ කලාතුරකින් බව පිළිගැනීමයි. 

කෙසේ නමුත් ඇතැම් අයගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහී පද්ධතිය මගින් ශරීරයේ අනෙක් කොටස්වලට පැතිර යා හැකිය.   

පියයුරු පිළිකාව ගැන  ඉඟිකරන පොදු රෝග ලක්‍ෂණ 12 ක්

පියයුරු ආශ්‍රිත සම ඝන වීම, සම මතුපිට වළ ගැසීම, තන පුඩුව මත කුෂ්ට ඇතිවීම, තන පුඩුවෙන් දියරයක් ගැලීම, අසීරුවක් හෝ වේදනාවක් දැනීම, තන පුඩුව ඇතුළට ගිලීයාම, නහර මතුවීම, ඉදිමීම, සැරව සහිත තුවාල ඇතිවීම, සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම, පියයුරුවල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම, තද ගැටිති.

ඉහත කී රෝග ලක්ෂණ ඇත්නම් වහා වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගත යුතු බව විශේෂඥ මතයයි.

පියයුරුවල ගැටිති ඇතිවීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් වුවද එසේ පියයුරුවල ඇතිවන සෑම ගැටිත්තක්ම පිළිකා නොවන බව වෛද්‍ය මතයයි.  මේ අතර කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරැ පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයන් ඒ සම්බන්ධයෙන් දැනුවත්ව නොමැති බව ජාතික පිළිකා ආයතනය  පෙන්වා දී තිබේ.

පිරිමියෙකු තුළ දැකිය හැකි පියයුරු පිළිකා රෝග ලක්ෂණ

තන පුඩුව යට හෝ කිහිලි යට ඇතිවන වේදනා රහිත ගැටිති, පියයුරුවල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම, යටිකුරු වූ තන පුඩු, තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම, තන පුඩුවෙන් රුධිරය වහනය වීම, කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම, තන පුඩුව වටා තුවාලයක් හටගැනීම.

කාන්තාවන් මෙන්ම පුරැෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරැ විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයක් පුරුෂයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැත. පියයුරු පිළිකාවලට ගොදුරැවන කාන්තාවන් හාරදහසත් පන්දහසත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තා වන අතර පුරුෂයන් වාර්තා වන්නේ පනස් දෙනෙකු පමණ  අඩු ප්‍රමාණයකි. පුරැෂයන්ට පියයුරු පිළිකා ඇතිවීමට හේතු කීපයක් බලපෑ හැකි බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. 

පුරුෂයන්ගේ පියයුරු විශාල වන්නේ ඇයි?

ඊස්ට්‍රජන් හෝමෝන වැඩිවීම, ජානමය හේතු, අක්මාව ආශ්‍රිත රෝග (සිරෝසිස් වැනි), අධික රැධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධ, ඇතැම් නිදිපෙති වර්ග, තරබාරුව.

පුරුෂ පියයුරු පිළිකාව ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි නිසා ඒ පිළිබඳ විමසිලිමත් වීමද අඩුය. නමුත් යම් පුරුෂයකුගේ පියයුරු සාමාන්‍යයෙන් පුරැෂයකුගේ තිබිය යුතු ප්‍රමාණයට වඩා විශාල නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.                                                                                                        

  සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00