2018 මැයි 26 වන සෙනසුරාදා

Autism දරුවා

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 370

සෑම මවකගේම සිහිනය නිරෝගී දරුවකු ලැබීමයි. මවක් මේ සඳහා සූදානම් වන්නේ දරුවා පිළිසිඳ ගැනීමටත් පෙරයි. තමාගේ බර, නිසි පෝෂණය, නිසි ලෙස සායනවලට සහභාගි වීම, පවුල් සෞඛ්‍ය උපදේශිකාවන් හමුවීම යනාදී වශයෙන් මානසික සහ ශාරීරික සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීමට සෑම උත්සාහයක්ම දරයි. මවක් සියලුම උත්සාහයන් මේ ආකාරයෙන් දැරුවද ප්‍රශ්න හෝ ගැටලු සහිත දරුවෙක් ලැබීමට තිබෙන අවස්ථාවන්ද ඇයට මඟහැරිය නොහැකියි. ඒ අනුව Autism තත්වය සහිත දරුවකු ලැබීමට තිබෙන හැකියාවද දරුවන් 1000කට 5ක් හෝ 10ක් පමණ විය හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙවැනි බොහෝ දරුවන් වෛද්‍යවරුන්ගේ නිසි මඟපෙන්වීමට යොමුනොවන බව බොහෝ සමීක්ෂණවලින් පෙන්නුම් කරයි.

මීට ප්‍රධාන හේතු දෙකකි. තම දරුවාට ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීමට දෙමාපියන් මැලිවීම සහ නොයෙකුත් මිත්‍යා විශ්වාස සහ ආකල්ප නිසා දරුවා සමාජයෙන් සඟවාගෙන සිටීම.

අපි කතාවක් ඇසුරෙන් Autism දරුවකු හඳුනාගනිමු.

සුපුන්ගේ වයස අවුරුදු 3 යි. දෙමාපියන් පුදුමයට පත් කරමින් සුපුන්ගේ හැසිරීම වෙනස් වුණේ අවුරුදු 3 ලැබීමට මාස 4කට පෙරය. වචන කිහිපයක් හොඳින් කතා කරමින් සිටි සුපුන් හිටි හැටියේ කතාව නතර කළේය. ඔහුට යමක් අවශ්‍ය වූ විට මවගේ හෝ පියාගේ අත අල්ලාගෙන ඒ දෙසට යොමුකිරීමට පුරුදු විය. ඇස්වලින් සම්බන්ධ වීම අඩුවිය. වෙනදා  අම්මාට තුරුළු වී සුරතල් වූ සුපුන් දැන් එවැනි සුරතල් වීමක් නොකරන බව දෙමාපියන්ටද දැනුණි. සුපුන් වෙනම ලෝකයක සිටින බව පෙනෙන්නට තිබුණි. සමහරවිට කතා කරන විට නොඇසුණා සේ සිටින බවද පෙනුණි. සුපුන්ගේ ඇසීම පරීක්ෂා කිරීමේදී කිසිම ආබාධයක් නොමැති බව වෛද්‍යවරු පැවසීය. පිළිවෙළකට සෙල්ලම් කිරීමට සුපුන්ට නොහැකි විය. තමාගේ සෙල්ලම් බඩු එහේ මෙහේ විසිකරමින් කිසිම අරමුණක් නැතිව නොයෙකුත් ක්‍රියාවල යෙදෙන බව පෙනෙන්නට තිබුණි. අල්ලපු ගෙදර සුපුන්ගේ වයසේම දරුවෙක් සිටී. වෙනදා ඔහුගේ නම කියා නිතර ආමන්ත්‍රණය කළේය. ඔහු සමඟ පිළිවෙළට සෙල්ලම් කළේය. දැන් මේ යාළුවා සුපුන් ළඟට ආවද සුපුන්ට කිසිම ගාණක් නැත. සුපුන් තමාගේ ලෝකය තුළ තනිවී ඔහුට සීමා වූ හැසිරීම් රටාවක යෙදෙන බව පෙනෙන්නට තිබුණි. සමහරවිට වේගයෙන් එක තැන කැරකුණේය. කරකැවෙන විදුලි පංකාව දෙස බලා සිටීමට ඔහු ආශා කළේය. ඇඟිලි තුඩුවලින් නොයෙකුත් හැසිරීම් රටාවන් මවන බවද පෙනෙන්නට තිබුණි. අනිත් අයගේ හැඟීම් ගැන අවබෝධයක් නැති හුදෙකලා ස්වභාවයක් ඔහු තුළ දක්නට ලැබුණි.

Autism රෝගය

Autism දරුවන්ගෙන් 80%කට නොයෙකුත් ඉගෙනීමේ දුබලතාවයන් තිබිය හැකිය. 20% ක් පමණ දෙනා හොඳ බුද්ධි මට්ටමක සිටී. 2% ක් පමණ දරුවන් සම්පූර්ණ සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. නමුත් මෙම දරුවන්ගෙන් 70%කට පමණ අනිත් අයගේ උදව් උපකාර සහිතව ජීවිතය පවත්වාගෙන යාමට සිදුවේ. මේ හේතුව නිසාම මෙම දරුවන් මුල් අවධියේම හඳුනාගෙන නිසි පුහුණුවකට යොමුකිරීම ඉතාම වැදගත් කාර්යයකි. මෙවැනි පුහුණුවකදී Autism දරුවන්ගේ දුබලතා නිසිලෙස හඳුනාගෙන ඒ අනුව පුහුණුව සකස් කරගත යුතු වේ. ප්‍රධාන දුබලතා තුනකි.

1. සමාජශීලී නැති බව (Poor social interaction)
 ඇස්වලින් සම්බන්ධ වීම, හැඟීම් හඳුනාගැනීම, එකට සෙල්ලම් කිරීම, සතුටු වීම, සතුට බෙදාගැනීම, මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීම යනාදියෙහි ඇති දුබලතා.

2. සන්නිවේදනයේ ඇති දුබලතා (Communication Difficulty)
කතා කිරීමට නොහැකි වීම, කතාව ආරම්භ කිරීමට හෝ පවත්වාගැනීමට ඇති නොහැකියාව, එකම වචනය හෝ වාක්‍ය නැවත නැවත කීම වැනි භාෂාමය දුබලතා.

3. අසාමාන්‍ය හැසිරීම් රටාවන් (Restricted interests of activities)
ශරීරය පැද්දවීම, එක තැන කරකැවීම, සෙල්ලම් කාර්, සෙල්ලම් බඩු ආදිය එක පේළියට තැබීම, ඇඟිලි තුඩුවලින් කරන නොයෙකුත් විකාර රූපී චර්යාවන් යනාදිය මීට ඇතුළත්ය.

Autism රෝගයට ඖෂධ තිබේද?

Autism සුවකළ හැකි ඖෂධයක් තවම සොයාගෙන නැත. මෙම දරුවන්ගෙන් 2% ක් පමණ පාලනය කළ නොහැකි ප්‍රචණ්ඩ ගතිපැවතුම්වලට ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයන් අවම කර ගැනීමට මනෝ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ඉතාම වැදගත්ය.

Autism දරුවන්ට ලබාදෙන විවිධ පුහුණු ක්‍රමවේද

1.  A.B.A පුහුණුව (Applied Behavior Analysis)
මෙම ක්‍රමවේදය Autism දරුවකුගේ හැසිරීම් රටාවන් දියුණු කිරීමට යොදාගනී. ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙ කීර්තිමත් විද්‍යාඥයකු වන Dr. Lovass මෙම ක්‍රමවේදය සොයාගැනීමට මුල්විය.

2. පින්තූර ආශ්‍රය කරගෙන සන්නිවේදනය දියුණු කිරීමේ ක්‍රමවේදය  (Picture Exchange Communication system)
මෙම ක්‍රමවේදයේදී පින්තූර රාශියක් සකස් කර (Picture pool) ඒවා උපයෝගී කරගෙන ක්‍රමානුකූලව දරුවාට භාෂාව ඉගැන්වීමට මින් හැකි වේ.

3. ශාරීරික ව්‍යායාම (Physical Therapy) 
Autism දරුවන්ගේ මාංශපේෂීන් ඉතා ලිහිල්ය. මෙම ලිහිල් මාංශපේෂී ශක්තිමත් කිරීම සඳහා ශාරීරික ව්‍යායාම ක්‍රම වැදගත් වේ.

4. අනුකරණ ප්‍රතිකාර ක්‍රම (Imitative Therapy)
Autism දරුවකු කණ්ඩායමක් තුළ පුහුණු කිරීමේදී මෙම ක්‍රමවේදය භාවිත කළ හැකිය. Ex: නත්තල් සීයා ලෙස හැඳ පැළඳ සාමාන්‍ය ළමයි කිහිපදෙනෙක් තබාගෙන ගීතයට අනුව දරුවන් එකතු කරගෙන නර්තනයේ යෙදීම. මින් දරුවා අනුකරණයට පුරුදු වේ.

Autism නැමැති රෝගයට නිශ්චිතවම හේතුවක් සොයාගෙන නොමැත. ජානමය සහ පාරිසරික හේතු දෙකම බලපාන බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00