2018 මැයි 19 වන සෙනසුරාදා

හොඳම දත් බුරුසුවක හැටි කොහොමද?

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 472

හොඳ දත් බුරුසුවක් තෝරාගන්නේ කොහොමද කියන එක ගැන අද අපේ ගොඩක් දෙ‍නෙකුට අවබෝධයක් නැහැ. හොඳ දත් බුරුසුවක් කියන්නේ දත්වලට, විදුරුමසට හානියක් වෙන්නේ නැතිව දත් මතුපිට, දත් අතර හා විදුරැමස් දාරය මත රැඳෙන බැක්ටීරියා වර්ග සහ ආහාර කැබලි කාර්යක්‍ෂමව පිරිසුදු කර ඉවත් කළ හැකි එකකට. ඉතින් අපි තෝරා ගන්නා දත් බුරුසුවක මේ සඳහා පැවතිය යුතු මූලික ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා.  

දත් බුරුසුවක් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු

දත් බුරුසුවක හැඩය, හිසෙහි ප‍්‍රමාණය, කෙඳිවල ස්වභාවය, මිටේ දිග හා එහි හැඩය, කෙඳි හා මිට නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍යය, තිබිය යුතු කෙඳි පොකුරැ ගණන හා කෙඳි සංඛ්‍යාව ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙලා තමයි දත් බුරුසුවක් තෝරාගන්නට ඕන.

කටට, වයසට ගැලපෙන දත් බුරුසුවක්

වයසට වගේම කටට ගැලපෙන දත් බුරුසුවක් මිලදී ගැනීම වැදගත් වෙනවා. කුඩා දරුවන්ට කුඩා හිසක් ඇති කුඩා දත් බුරුසුවක් ප‍්‍රමාණවත් වන අතර ළදරුවන්ට ඇඟිල්ලට දමා මැදිය හැකි දත් බුරුසුවක් හොඳින් ගැලපෙනවා. කුඩා දරුවන්ට වැඩිහිටියන් භාවිත කරන දත් බුරුසුවක් භාවිත කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දත් නිසි ලෙස පිරිසුදු නොවීමත්, ඇතැම් විටක මුඛයේ මෘදු පටකවලට හානි සිදුවීමත්ය.

රවුම් කුඩා ඔළුවක් ඇති දත් බුරුසු

දත් බුරුසුවක හිස කොටස කුඩා වෙන එක වැදගත් වන්නේ දත්වල සෑම පැත්තක්ම පහසුවෙන් මැද ගන්න හැකියාව ලැබෙන නිසා. දත්වල ඇතුළු පැත්ත, හණුව කෙළවරේ ඇති දත්වල පිටුපස, ඇද වුණු දත් හා විකලාංග දන්ත ප‍්‍රතිකාර කිරීමේදී සවිකරනු ලබන කම්බි කොටස් අතරින් දත් පිරිසුදු කිරීමේදී දත් බුරැසුවේ කුඩා හිස වැදගත් මෙහෙයක් ඉටු කරනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2.5 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මි. 1 ක් පමණ වීමත් ප‍්‍රමාණවත්. කුඩා දරුවකුට නම් දත් බුරැසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මී. 1 ක් පමණ වීමත් ප‍්‍රමාණවත් වෙනවා.

ඒ වගේම දත් බුරුසුවේ හිසේ කෙළවර රවුම් වී තිබීම අවශ්‍ය වන්නේ මුඛයට හානි සිදුවීම වළක්වා ගැනීමටයි. 

බුරුසුවේ ඇති කෙඳි

විවිධ ආකාරයේ කෙඳිවලින් හදපු දත් බුරුසු වෙළෙඳපොළේ තියෙනවා. මේවා අතරින් වෛද්‍යවරැන් නිර්දේශ කරන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් තෝරා ගැනීමටයි. වැඩිහිටියන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 20 ක් පමණත්, ළමයින් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 18 ක් පමණත්, ළදරුවන් සඳහා සුදුසු දත් බුරැසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 10 ක් පමණ ද තිබීම ප‍්‍රමාණවත් වෙනවා.

දත් බුරුසුවේ මිට

දත් බුරුසුවේ මිට නිපදවා ඇති ප්ලාස්ටික්වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා සරල පරීක්‍ෂණයක් නිවසේදී ඔබට කරන්නට පුළුවන්. සෙල්සියස් අංශක 63 සිට 67 දක්වා රත් කළ ජලයෙහි ගිල්වා තැබූ විට දත් බුරුසුවේ මිට මෘදු වී නැමී යන්නේ නැත්නම් නම් ඔබ මිලදී ගෙන ඇති දත් බුරුසුවේ ප්ලාස්ටික්වල ප‍්‍රමිතිය හොඳයි. එසේම දත් බුරැසුව දවටනය කර ඇති පොලිතීන් හෝ ප්ලාස්ටික් ආවරණය පළුදු නොවී ඇත්දැයි කියාත් බැලිය යුතුයි.   

Dental news