2018 මැයි 19 වන සෙනසුරාදා

එළිමහනේ ඉන්න බයයිද? එහෙනම් මේ ලිපිය කියවන්න

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 734

අපි කාටත් භීතිකා තියනවා. අපි කාටත් භීතීන් තියනවා. භීතියක් නැතිනම් බයක් නැති පුද්ගලයෙක් සොයාගන්න බැහැ. නමුත් මේ සාමාන්‍ය භීතීන් අපේ ජීවිතය අවුල් කරන්නේ නැහැ. ෆෝබියා කියන්නේ සාමාන්‍ය භීතියක් නෙවෙයි. මේක අසාමාන්‍ය ආතතියක්. මේ අසාමාන්‍ය ආතතිය නිසා නම් අපේ ජීවිතය අවුල් වෙනවා. රැකියාව, සමාජ ජීවිතය, පවුල් ජීවිතය මේ ආදී සියල්ලටම මේ දැඩි ආතතිය හානිකර වෙන්න පුළුවන්.

මේ ඉහත phobias කොටස් තුනකට බෙදෙනවා. 

යම් දෙයකට, අවස්ථාවකට අසාමාන්‍ය ලෙස භීතියට පත් වීම (Specific Phobia)

සමාජයට ඇති බිය (Social Phobia)

පොදු හෝ ප්‍රසිද්ධ ස්ථානයක සිටීමට ඇති බිය (Agoraphobia)

පළමුවෙන්ම අපි බලමු Specific Phobia (යම් දෙයකට අසාමාන්‍ය ලෙස බියට පත් වීම.)

හූනන්ට ඇති බිය, උස තැන්වලට නැගීමට ඇති බිය, කැරපොත්තන්ට ඇති බිය, වතුරට ඇති බිය, ලේවලට හෝ ලේ දැකීමට ඇති බිය මෙයම උදාහරණයි.

ලේ දැකීමට ඇති බිය ගැන පහත කතාවෙන් පැහැදිලි කර ගන්නට හැකියි.

ඇගේ නම තරණි. ඇය ඈ පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. තරණිට තිබූ බය නම් ලේ දුටු පමණින් සිහිය නැති වී ඇද වැටීමයි. මේ හේතුව නිසාම වෛද්‍ය පීඨයේ පළමු සහ දෙවැනි වසරවල ප්‍රායෝගික පුහුණුවීම්වලට නිසි ලෙස සහභාගී වීමට නොහැකි විය. තරණි වෛද්‍ය පීඨයේ පළමු විභාගයෙන් අසමත් විය. පසුව ඇය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු වීමෙන් මේ  තත්ත්වය දුරැකර ගත හැකි විය. මෙහිදී තරණි සිතුවිලි ප්‍රතිකාරය (Cognitive Therapy) සහ ලේවලට ක්‍රමයෙන් මනස විවෘත කිරීමේ ප්‍රතිකාරය (Exposure Therapy) භාවිතා කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් විය. 

හොඳයි.. අපි කතා කරන්න යන්නේ ඇගරොෆෝබියා (Agoraphobia) කියන භීතිය ගැනයි. මේ නම හැදිලා තියෙන්නේ ග්‍රීක් භාෂාවෙන්. මෙහි තේරුම නම් වෙළඳසැලක (Marketplace) සිටීමට ඇති භීතියයි. මේ අසාමාන්‍ය භීතිය සත්‍ය කතාවක් ඇසුරින් තේරුම් ගනිමු. ඔහුගේ නම නිමල්. වයස අවු. 30යි. විවාහ වී වයස අවු. 5ක දරුවකුත් සිටිනවා. ඔහු බැංකුවක ලිපිකරැවෙක් ලෙස සේවය කළා. නිමල්ගේ ගැටලුව ඔහුගේ බිරිඳ මෙහෙම විස්තර කළා.

අපි බැඳලා අවු. 8ක් වෙනවා. නිමල්ට මේ තත්ත්වය ඇති වෙලා දැන් අවු. 3යි. ඔහු දැන් ගෙදරින් පිට කිසිම තැනකට යන්න කැමති නෑ. රස්සාවට යන්නෙත් කැමැත්තෙන් නෙවෙයි. මේ බය සමඟ දැන් ඔහුට කලකිරීමකුත් ඇති වෙලා. ජීවිතය වැඩක් නෑ. මැරුණනම් හොඳයි කියලත් ඔහු කියනවා. විශේෂයෙන් යම් තැනකට ගෙදරින් පිටට යනවා නම් මමයි, දරුවයි ඔහු ළඟ ඉන්න ඕන. එතකොට ඔහුගේ බය ටික් අඩුවෙනවා කියලා ඔහු කියනවා. මේ සේරම පටන්ගත්තේ අවු. 3කට පෙර සිදු වූ එක් සිද්ධියකට පසුව. එදා අපි තුන්දෙනාම ළඟ තියෙන මාකට් එකට ගියා. ටිකක් වෙලා යනකොට නිමල්ගේ පෙනුම වෙනස් වුණා. ඇස් දෙක උඩ ගිහින් හුඟක් බය වෙලා වගේ මට පෙනුණා. ඇඟ තෙමෙන්න දාඩිය දාලා. වේගයෙන් හුස්ම ගන්නවා. එක පාරටම සිහිය නැති වුණා වගේ වුණා. අපි ඉක්මනින්ම කොළඹ මහ රෝහලට රැගෙන ගියා. රෝහලේදී ඔහුට එන්නතක් දුන්නා. පැය භාගයක් පමණ යනවිට ඔහුට හොඳට සිහිය ආවා. එදා ඉඳලා ගෙදරින් පිට කිසිම ප්‍රසිද්ධ ස්ථානයකට යන්න මොහු බිය වුණා. මේක මටත් ලොකු පීඩනයක්. නිවසින් බැහැර සියලුම වැඩ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මටම තමයි.

අපි නිමල්ගෙන් මේ ගැන තවදුරටත් කරුණු විමසුවා. ඔහු මෙහෙම කීවා. 

එදා මම මාකට් එක ඇතුළේ ඉන්නකොට මට පුදුම බයක් ඇති වුණා. මම මාකට් එක ඇතුළේ හිර වෙලා වගේ දැනුණා. මේක ඇතුළේ යම් සිද්ධියක් ඇති වුණොත් ඒකෙන් බේරෙන්න මෙතනින් පැනගන්නේ කොහොමද කියලා මට ලොකු බයක් ඇති වුණා. අද වෙනකොට මම මාකට් එකක් දකිනකොටත් බයයි.

නිමල් ගොදුරු වී ඇත්තේ Agoraphobia නම් දරැණු භීතිකාවටයි. මෙම භීතිකාව තිබෙන බොහෝ දෙනකුට Panic (ක්ෂණිකව ඇති වන භීතිය) කියන තත්ත්වය ද ඇති වෙනවා. Agoraphobia ප්‍රජාව තුළ 2%ක් පමණ තිබෙන බව සමීක්ෂණවලින් පෙන්නුම් කරනවා. මෙය බොහෝ විට ආරම්භ වන්නේ තරුණ අවධියේ. (අවු. 20 – 30ත්) වැඩිපුර වැලඳෙන්නේ කාන්තාවන්ටයි. කාන්තාවන් දෙදෙනෙක් මේ තත්ත්වයට ගොදුරැ වනවිට පිරිමි එක්කෙනෙක් ගොදුරු වෙනවා.

Agoraphobia හඳුනා ගැනීමේ ලක්ෂණ.

කණ්ඩායමක් හෝ මිනිසුන් ගැවසෙන තැනක ඉන්න තිබෙන භීතිය (Standing in line or being in a crowd)

වසා ඇති තැනක හෝ පාළු තැනක සිටීමට ඇති බිය. (Being in enclosed places)

ගෙදරින් පිටවීමට හෝ පිට තැනක සිටීමට ඇති භීතිය. (Being outside of  the  home alone)

විවෘත ස්ථානයක සිටීමට ඇති භීතිය. (Fear of being in a open spaces – market, film hall, bus halt)

පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමට ඇති බිය. (Fear of being using public transpotation)

සියළුම දරුණු ආතතීන් අතරින් Agoraphobia දරුණුම ආතතිය ලෙස සැලකෙනවා. මෙම ආතතියට ගොදුරු වූ සමහර අය සමාජයෙන් කොන් වී ගෙදරටම සීමා වූ ජීවිතයකට වැටෙනවා. මෙම තත්ත්වය රෝගියාට පමණක් නෙවෙයි පවුලේ අයට ද මහත් කරදරයක් සේම බරක් බවට පත් වෙනවා.

Agoraphobia ඇති වීමට නිශ්චිතව හේතූන් තවම නිසි ලෙස සොයාගෙන නැහැ. මෙම රෝගය සමඟ බොහෝවිට Panic නැමති තත්ත්වය ද (වේගයෙන් හුස්ම ගැනීම, හෘද වස්තුවේ වේගවත් ස්පන්දනය දැනීම, අධික ලෙස දහඩිය දැමීම, හුස්ම ගැනීමට අපහසු වේ යැයි හෝ හෘදයාබාධයක් වැනි දෙයකින් මරණය පත්වේ යැයි යන භීතිය) ඇති වේ. නමුත් Panic නැමති රෝගය වෙනම අසනීපයකි. එම තත්ත්වය වෙනම ලිපියකින් පසුව සාකච්ඡා කරමු.

මෙවැනි රෝගියකු මෝහන ප්‍රතිකාරයෙන් සුවකළ නොහැක. බොහෝ දෙනා නොදැනුවත්කමින් කාලය සහ ධනය දෙකම වැය කරමින් මෙවැනි අසාර්ථක ප්‍රතිකාර පසුපස දිව යති.

නිමල්ට සුව වූයේ කෙසේද?

රෝගය පිළිබඳ විද්‍යාත්මක දැනුමක් ලබා දීම. මෙය සැබෑ භීතියක් නොවන බවක් සිත තුළ නිර්මාණය වන මායාකාරී සිතුවිල්ලක් බව ඔහුට සහ පවුලට ඒත්තු ගැන්වූ විට.

භියට විවෘත කිරීම. (Exposure Therapy) ක්‍රමානුකූලව තමා බියට පත් වන ස්ථානවලට නිමල් ගෙන යාමට ඔහුගේ බිරිඳ දිරිමත් කිරීම.

සිහින ලෝකය තුළ ඔහුගේ මනස භීතීන්ට විවෘත කිරීම. (Imaginary Exposure)

නිමල්ට මානසික අවපීඩන තත්ත්වයක් ද තිබුණි. මේ භීතීන් සමඟ ජිවිතයෙන් පලා යෑමක් ද සමඟ ඔහුට ජීවිතය ද එපා විය. ඒ සඳහා මනෝ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ඖෂධ ප්‍රතිකාර ලබාදීම.

නිමල් අද සමාජයට බය නැතුව යන නිරෝගී පුද්ගලයකු බවට පත්ව ඇත. මානසික ගැටලුවලට නිසි මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු වීමේ වැදගත්කම මින් පැහැදිලි වේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00