2018 මැයි 12 වන සෙනසුරාදා

වකුගඩු රැක ගන්නේ මෙහෙමයි

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 944

නිවැරදි දිවිපෙවෙත යන්නෙන් අදහස් වන්නේ ක්‍රියාශීලි දිවි පෙවෙතක් යන්නයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ගන්නා ආහාර ප්‍රමාණය වැයකරන ශක්ති ප්‍රමාණය අතර සමබරතාවක් පවත්වා ගත යුතුයි. එසේ නොවුණුහොත් ශරීරය මඟින් වැය නොකරන ශක්තිය නිසා අප රෝගීන් බවට පත්විය හැකි වේ. වකුගඩු රෝගත් එහි ප්‍රතිඵලයකි

ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත නොකිරීම නිසා තරබාරු බව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය වැනි රෝග ඇතිවිය හැකි අතර මේ හේතු නිසාම ඔබගේ වකුගඩුවලට ද අහිතකර බලපෑම් ඇතිවෙයි. එබැවින් අපි ලබාගන්නා ආහාර දහනය කිරීම හරහා බර නියමිතව පවත්වාගැනිමට ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත කිරීම මඟින් වකුගඩුවලට ඇතිවන අවදානම අඩු කර ගත හැකියි. එහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, ඇඟ වෙහෙසා වැඩ කිරීම ආදී කරැණු අපගේ දිවියේ සාමාන්‍ය වැඩ කොටසක් බවට පත් කරගත යුතුයි. අප කාර්යාලවල සිදුකරන වැඩ මඟින් සිදුවන්නේ අප තෙහෙට්ටුවට පත් වීම පමණකි.

ශරීර ශක්තිය වැය කරමින් කටයුතු කිරීම හරහා ඉහත රෝග කල්තබා වළක්වා ගත හැකියි. එදිනෙදා ජීවිතයේදී සිදු කරගත හැකි ශරීරය වෙහෙසවා කටයුතු කිරීම ඉතා වැදගත්.

වකුගඩු වලට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවල බලපෑම

ලෝකයේ ඕනෑම රටක් ගතහොත් වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ දියවැඩියාවයි. අංක දෙක අධික රුධිර පීඩනයයි. මෙම රෝග දෙක වැළඳී ඇති බව හඳුනාගන්නා විට ඔබගේ වකුගඩුවලට හානි වී තිබිය හැකියි. නමුත් කාලයක් තිස්සේ මෙම රෝගය පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි. බොහෝවිට දියවැඩියාව වැළඳී ඇති තරුණ අය එය පාලනයට ගන්නා බේත්වේල මඟහරිනු ලැබේ. එසේ බේත්වේල මඟහැරියත් ඔවුන්ට අපහසුතාවක් නොදැනෙන නිසා ඒවා මඟහරිනු ලැබේ. නමුත් එයින් සිදුවනුයේ වකුගඩු රෝගියෙක් බවට පත්වීමය. දියවැඩියාවට ඒ වගේම අධි රැධිර පීඩනයට ලබාදෙන ඖෂධ නිසා කිසිවිටෙක වකුගඩු නරක් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ එම රෝග තත්ත්ව නිසිලෙස පාලනය නොකිරීම නිසයි.

මෙට්ෆොමින් නිසා වකුගඩු නරක් වෙනවාද?

මෙට්ෆොමින් දියවැඩියාවට පමණක් නොවෙයි තවත් බොහෝ ලෙඩ රෝග අඩුකර ගැනීම සඳහා භාවිතා වන ඉතා හොඳ ඖෂධයක්. නමුත් වකුගඩු රෝගී වූ පසු මෙට්ෆොමීන් භාවිතය කළ නොහැකියි.

ස්ථුලභාවය

ස්ථුල භාවය ආකාර කිහිපයකින් වකුගඩුවලට හානි කළ හැකියි. දියවැඩියාව, අධික රැධිර පීඩනය, කොලෙස්ටරෝල් තැන්පත් වීම ආදී බොහෝ හේතු නිසා විවිධාකාර වශයෙන් වකුගඩුවල රෝගී තත්ත්ව ස්ථුලභාවය මුල් කරගෙන ඇතිවිය හැකියි.

වතුර හා වකුගඩු අතර සබඳතාව

වකුගඩු රෝග වළක්වා ගැනීමේ පහසුව හා ලාභදායී ක්‍රමවේදය වන්නේ නිසිලෙස ජලය පානයයි. මෙහිදී නිසිලෙස ජලය පානය යන්නෙන් අදහස් වන්නේ මෙම ජලය ලබා ගන්නා මූලාශ්‍රය පිළිබඳ සැලකිලිමත් වීමයි. මෙහිදී එම වතුර උතුරුවා නිවාගත් ඒවා වීම මෙන්ම පෙරාගන්නා ලද ජලය වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම අපි පානය කරන වතුර ප්‍රමාණයත් ඉතා වැදගත්. ඒ වගේම පෙරණයේ නිර්දේශිත වතුර ප්‍රමාණයක් පෙරා ඉවර වූ පසුව එය ඉවත් කර දැමීම හෝ අලුත්වැඩියා කළ යුතුයි. මෙය සදාකාලිකව භාවිත කළ හැකි දෙයක් නොවේ. එහි කාලය හා පෙරීමේ හැකියාව නැතහොත් නියමිත කාලය ඉක්මවා ගිය පසු එහි කොටස් අලුත්වැඩියා කිරීමට බලා ගන්නවා නම් වඩාත් හොඳයි.

ජලය කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතු ද යන ගැටලුවේදී සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව දිනකට පානය කළ යුතු වතුර ලීටර් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් ලෙස දක්වා තිබේ. නමුත් අප ඝර්ම කලාපීය රටක් වශයෙන් අප ලීටර් 2 1/2ක් වුවත් පානය කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් ඔබ දහඩිය පිටකරමින් වැඩකරන අයෙක් නම් ඊට සාපේක්ෂව වතුර ප්‍රමාණය වෙනස් විය යුතුයි.  

අපි දිනය පුරා බෙදී යන ආකාරයෙන් ජලය පානය කළ යුතුයි. එක්වර ජලය විශාල ප්‍රමාණයක් පානය කරනවාට වඩා බෙදී යන ලෙස පානය ඉතා වැදගත්. ඒ වගේම මුත්‍රාවල සාන්ද්‍රණය අධික නොවන ලෙස ජලය පාලනය මඟින් එය පාලනයකට ලක් කර එහි පැහැය ළා පැහැයට හුරු ලෙස පවත්වා ගත යුතුයි. එක්වර වතුර විශාල ප්‍රමාණයක් පානය තේරුමක් නොමැති දෙයක්.

ලුණු යනු ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුවත් ලංකාවේ ආහාර වේලේ ලුණු අධික ආහාර බහුල වශයෙන් තිබෙනවා. දිනකට ග්‍රෑම් 5ක් හෝ 6ක් ආහාරයට ගත යුතුයි. එය තේ හැන්දක ප්‍රමාණයකි. ඔබ ඔබගේ ප්‍රධාන ආහාරයට ලුණු එකතු නොකළ යුතුයි. ලුණු අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම හරහා වකුගඩු ආරක්ෂා කරගත හැකියි. ඒ වගේම මෑතකාලීනව පැමිණි ක්ෂණික ආහාර බිස්කට්, පොටේටෝ චිප්ස්, සුප්කැට, විවිධ බැදපු මස් වර්ග ආදියේ ඉතා අධිකව ලුණු අඩංගු වේ. සොසේජස්, හැම්, බේකන් ආදී දේවල අධික ලෙස ලුණු අඩංගු නිසා මෙම ආහාර ඔබ ආහාරයට නොගත වගේම ඔබේ දුවා දරුවන්ට ලබා නොදිය යුතු ආහාර වේ.

වකුගඩු නරක් වීමට බලපාන වෙනත් කරුණු

දුම්පානය මඟින් වකුගඩුවට හානි සිදුවන ආකාර දෙකකි. ඒ යටතේ කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ රැධිරය සැපයීමේ නාල හීනි වීම නිසා වකුගඩුවලට රැධිරය සපයන නාළ හීනි විය හැකියි. ඊට අමතරව වකුගඩු සම්බන්ධ පිළිකා තත්ත්වයටත් දුම්පානය හේතුවිය හැකියි. ඔබ දුම්පානය නොකර සිටියොත් වකුගඩු රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකියි.

දියවැඩියා රෝගීන් නිසි පරිදි ඖෂධ පානය, රුධිරගත දියවැඩියා පරීක්ෂාව ඩ්ඕඒ1ඛ් පරීක්ෂණයේ අගය 7ට වඩා අඩු අගයක පවත්වා ගත යුතුයි. ඒ වගේම අධි රුධිර පීඩනය තිබෙනවා නම් එහි අගය 140 – 80 ට වඩා අඩු අගයකට පවත්වා ගත යුතුයි. දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන අයෙක් නම් 130 -80 ට අඩු මට්ටමට රුධිර පීඩනය පවත්වා ගත යුතුයි. එසේ නොවුණහොත් ඔබේ වකුගඩු ඉක්මනින් නරක් විය හැකියි.

තවද වකුගඩුවල ගල් තිබෙන අය මාස 6කට අවුරුද්දකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී වකුගඩුවේ තත්ත්වය පරීක්ෂා කරගත යුතුයි. තවද ප්‍රවේණික වකුගඩු රෝග තිබෙන අය (පවුලේ කාටහරි වකුගඩු රෝග තිබෙන අය) තමාගේ වකුගඩුවල තත්ත්වය පරික්ෂා කරගත යුතුයි.

වකුගඩු නරක් වී ඇති බවට පහළ වන රෝග ලක්ෂණ

මෙම රෝගයේදී රෝග ලක්ෂණ පහළ වන තෙක් සිටියහොත් සැලකිය යුතු මට්ටමින් වකුගඩු නරක් වී තිබිය හැකියි. වකුගඩු රෝග ඉතා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම ඉතාම අපහසු වේ. නමුත් මුත්‍රා සමඟ පෙණ වැඩිපුර පිටවීම, වැනි ලක්ෂණ මඟින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බව දැකගත හැකියි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම, ඉදිමුණු කකුල් ද රෝග ලක්ෂණ වේ.

සුගත්

උපදෙස් : ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ 
වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව