2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

උරහිසේ කැක්කුම ලොකු ලෙඩක සංඥාවක් විය හැකිය!

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2650

උරහිසේ ඇතිවන වේදනාවන්ගෙන් බොහෝ දෙනක්  ජිවිතයේ කිසියම් හෝ අවස්ථාවක  පීඩා විඳිති. ඇතමුන් මේ ගැන මුලින් නොසලකා හැරීම හේතුවෙන් එකී වේදනාවන් බරපතළ බවට පත්වේ. යමෙකුගේ උරහිසේ වේදනාවක් ඇති වූ විට ඔවුන් සිතන්නේ ඒ අතින් වැඩිපුර වැඩ කරන නිසා වේදනාව හටගන්නා බවය. තවත් අය කියන්නේ තමන් අත යට කර නිදා ගැනීම නිසා මෙසේ උරහිසේ වේදනා ඇති වන බවය.

ඒ කෙසේ වෙතත් උරහිසේ වේදනාවන් සඳහා මෙයට අමතරව විවිධ හේතු කාරණා බලපායි. මේ ඒ ගැනය. 

සාමාන්‍යයෙන් උරහිස සෑදී ඇත්තේ මාංශපේශී, ඛන්ඩරා හා අස්ථි මෙන්ම උරහිස් හන්දිය දායක වීමෙනි. උරහිසේ වේදනාවක් ඇති වීමට මෙම කොටස්වල ව්‍යාකූලතාවක් හේතු කාරක වන්නේය. 

උදාහරණයක් ලෙස කීවොත් මාංශ පේශිවල සිදුවන ඉරීමක් හෝ තදවීමක්, අස්ථිවල සිදුවන බිඳීමක්, හා උරහිස් සන්ධිවල ඇතිවන ආතරයිටිස් තත්ත්වයක් මෙයට හේතුවිය හැකිය. 

එහෙත් ඔබගේ ශරීරයේ වෙනත් ස්ථානයක හට ගන්නා රෝගි තත්වයක්  සමඟ ඇතිවන වෙනසක් උරහිසේ වේදනාවක් ලෙස දැනෙන්ටද පුළුවන. 

නිදසුනක් ලෙස බෙල්ල ආශ්‍රිතව, මහාප්‍රාචීරය ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතාවක් හෝ ස්නායුවල තෙරපීමක් නිසා මෙසේ උරහිසේ වේදනාවක් ඇතිවිය හැකිය.  තවද හෘදයේ ඇතිවන ඇනජයිනා කැක්කුම ද උරහිසේ වේදනාවක් ලෙස මතුවිය හැකිය. එපමණක් නොව පෙණහැල්‍ලේ හට ගන්නා කුඩා ගෙඩි විශේෂයක් ද උරහිසේ වේදනාව  ඇති කිරීමට හේතුවකි.

ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකු නම් රැධිරගත සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන්ද උරහිසේ අධික වේදනාවක් හටගනී. මෙසේ හට ගන්නා වේදනාව ක්‍රමයෙන් උරහිස දිගේ පහළට ඇදී යනු ඇත.

මෙසේ උරහිසේ වේදනාවක් ඇති වූ විට වෛද්‍යවරයකු වෙත යෑම අනිවාර්ය වේ. එහෙත් ඇතැම්විට වෛද්‍යවරයා හමුවෙන තෙක් එම වේදනාව දරා සිටීමට නොහැකි නම් පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ගැනීම කළ හැකිය. වැරුදි ඉරියව්වක නිදාගැනීම, හිස පැත්තකට ඇදෙන සේ වැටීම හෝ තල්ලුවීම, හිස දෙපසට වැඩි වාරයක් හැරවීමට සිදුවන පිහිනුම් වැනි ව්‍යායාමවල යෙදීම, අධික ආතතිය, විෂාදය, වැරදි ඉරියව්වලින් දිගුකලක් වාඩිවී වැඩකිරීම, පරිගණකය වැරදි පිහිටීමක තබා බැලීම මෙන්ම ජංගම දුරකතනය හිස පසෙකට හරවා රඳවාගෙන වැඩිවෙලාවක් කතා කිරීම වැනි හේතුද මේ තත්ත්වයට මුල් වේ.

උරහිසට සිදු වූ අනතුරක් හේතුවෙන් වේදනාවක් දැනෙන්නේ නම් රෙදි කැබැල්ලක ඔතන ලද අයිස් කැටයක් ආධාරයෙන් උරහිස තැවිය හැකිය. මඳ රස්නේ උණු වතුරෙන් තැවීම හෝ වේදනාව සමනයට පත් කළ හැකි ආ‍ලේපනයක් භාවිතා කරන්නට ද හැකිය.

වේදනාව දැනෙන උරහිස ආශ්‍රිත අතින් කරනු ලබන වැඩ සීමා කිරීම කළ යුතුය. නමුත් දිගින් දිගට එන වේදනාවට අත් බෙහෙත් කරමින් බලා සිටිම සුදුසු නැත. 

ඔබගේ උරහිස් වේදනාව වෛද්‍යවරයකු වෙත පෙන්වා ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර හෝ ඔහුගේ උපදෙස් මත භෞතචිකිත්සක ප්‍රතිකාර ගත යුතුය. යම් ලෙසකින් උරස් හන්දියට සැලකිය යුතු අනතුරක් සිදු වී ඇත්නම් උරස් හන්දිය රතු වී, ඉදීමී ඇත්නම් උණ ගැනෙනු ඇත.

ශ්වසනයේ අපහසුවක් හෝ පපුව ප්‍රදේශයේ කැක්කුමක් වැනි තත්ත්වද මේත් සමඟම ඇති වේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත් වේ. උරහිසේ වේදනාවන් සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්‍රතිකාර ද තිබේ.  මෙහිදී ශාරීරික ව්‍යායාම, කෙටි තරංග හෝ  අධෝරක්ත කිරණ ප්‍රතිකාර ද උපයෝගි කරගනු ලැබේ.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ
- වෛද්‍ය චන්දන ධර්මරත්න

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00