2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

කාටත් ආදරය කරන ආටෝපවත් ලෙඩේ

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 422

ආදරයට බියැත්තෝ ජීවිතයට බියය. ජීවිතයට බියැත්තෝ නොමළත් මළවුන් වැනිය.

මෙම කියමන බර්ඩ්න් රසල් නැමති දාර්ශනිකයාගේ “විවාහය හා සදාචාරය” පොතෙන් උපුටා ගත්තකි. ආදරය සහ ලිංගිකත්වය, ආහාරයට සහ බලයට මිනිසා දක්වන ආශාව හා සමානය. කිසිම මිනිසකුට ගැඹුරු ආදරයකින් තොරව උපරිම ලිංගික ආශ්වාදනයක් ලැබිය නොහැකි බව මනෝවිද්‍යාත්මක මතයයි. ඒත් සෑම මිනිසකුටම ඒ ගැඹුරු ආදරය සහ ආශ්වාදය ඒ ආකාරයෙන්ම ලැබිය නොහැකිය. ඊට ප්‍රධාන හේතු කීපයකි. එම පුද්ගලයාමට ආවේනික වූ පෞරැෂය, ආකල්ප හා ගති පැවතුම් සහ සමහර විශ්වාස හා මතවාදයි.

සමහර පෞරුෂ භින්නතා ආදරය ලිංගිකත්වය හා ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. මින් එක පෞරුෂ භින්නතාවයකි. “බොරු ආදරය සහ ආටෝපයට මනස ගොදුරු වූ පෞරුෂය.” (Histrionic Personality Disorder)
අපි ඇයට උත්පලා කියමු. උත්පලාගේ වයස අවුරුදු 23යි. උත්පලා සහ උපුල්ගේ ආදර සම්බන්ධතාවයට දැන් අවුරුදු 5ක් වෙනවා. උපුල්, උත්පලාට ගැඹුරින්ම හදවතින්ම ආදරය කරත් උත්පලා උපුල් කෙරෙහි ඒහා ගැඹුරැ අවංක ආදරයක් දැක්වූ බවක් නොපෙනුනි. අවුරුදු 5ක් තිස්සේ උත්පලා සමඟ ගතකළ ජීවිතය තවමත් තේරුම් ගත නොහැකි වූ උපුල් ඔහුගෙ කතාව මෙහෙම පැවසුවා.

“Dr. මට විශාල ගැටලුවක් මේක මගෙ girl friendගේ ගැටලුවක්. මම ඇයව තේරැම් ගන්න අවුරුදු 5ක් තිස්සේ උත්සාහ කළා. ඒත් තවමත් මම ඇය කවුද කියලා වටහාගන්න බැරුව ලෝක දෙකක අතරමංවෙලා. මට අනාගතය ගැන තියෙන්නේ බයක් වගේම අවිනිශ්චිත බවක්. ඇය ඇත්තටම මට ආදරය කරනවාද කියලා මට සැකයක් ඇති වෙලා. මේ ගැන හිතලම මට දැන් නින්ද යන්නෙ නෑ. කෑම කන්නත් බෑ. මගේ රස්සාව හරියට කරගන්නත් බෑ. මට දැන් ජීවිතෙත් එපා වෙලා. මගේ අම්මට තේරිලා මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා. ඒත් මම අම්මට සම්පූර්ණ ඇත්ත කීවෙ නැහැ. අම්ම මගේ කේන්දරේ බලලා. මට තව අවුරුදු 5ක් යනකම් අපලයි කීවා. අපල ඉවර වෙනකම් බලාන හිටියොත් මගේ ජීවිතයෙන් තව අවුරුදු 5ක් ගෙවිලා යනවා.

මේ අතර තමයි මගේ යාළුවෙක් මට කීවේ මනෝවෛද්‍යවරයෙක් හමුවෙන්න කියලා.

ඉතින් කියන්න අපට ඔබේ පෙම්වතිය ගැන තියන ගැටලුව?

ඇය මට හමුවුණේ මම වැඩ කරපු පළමු office එකේදී. ඇය හරිම ලස්සනයි. ඒත් මේ අවුරුදු 5 ඇතුළත මට හොරෙන් තවත් පිරිමි පස් දෙනෙක් ඇසුරු කරලා තියනවා. ඔවුන්ටත් මට වගේම ආදරය ප්‍රකාශ කරලා තියනවා. මට තේරුණා ඇය සූක්ෂම විදියට පිරිමින්ව ඇය වෙත ආකර්ෂණය කර ගැනීමට හරිම උපක්‍රමශීලීයි කියලා. ඇය ඇඳුම්වලට අසාමාන්‍ය ලෙස වියදම් කරනවා. මගේ වැටුපෙන් බාගෙකට වැඩිය ඇයගෙ ඇඳුම්වලටයි රත්තරන් බඩුවලටයි වියදම් කරලා තියනවා. ඇයගෙ වැරදි පෙන්නලා දුන්නට කිසිම ගානක් නෑ. සමහර වෙලාවට අඬනවා. ඇය අඬන්නෙ බොරුවට කියලා මට හුඟාක් වෙලාවට තේරිලා තියනවා. නමුත් සුළු වෙලාවකින් කිසිම දෙයක් සිදුනොවුණා සේ මා සමඟ යාළු වෙනවා. මට වෙලාවකට හිතෙන්නෙ ඇය කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් ගැහැනියක් නෙවෙයි කියලා. ඇය නිතරම කියන්නෙ මට ආදරෙයි කියලා. ඒත් ඒක එක්තරා විදියක ආටෝපයක් පමණක් කියලා දැන් මට හිතෙනවා.

අපි උත්පලාව සායනයට ගෙන්වා ගත්තා. ඇය මෙසේ පැවසුවා. 

මම උපුල්ට කැමතියි. නමුත් මට කිසිම කෙනෙක් ගැන ගැඹුරු ආදරයක් දැනෙන්නෙ නැහැ. මම තැනකට ගියාම හැම කෙනාගෙම අවධානය ලැබෙන විදියට ඉන්න හරිම ආසයි. මම හුඟාක් හොඳම විදියට අඳිනවා. රත්තරන් බඩුත් දානවා. මේ හුඟාක් වියදම් දැරුවෙ ඇත්තටම උපුල් තමයි. මම අඳින්න පළදින විදියට පිරිමි ආකර්ෂණය වෙනවා. එයාලත් එක්ක සම්බන්ධකම් ඇතිකර ගන්නත් මම ආසයි. නමුත් කිසිම කෙනෙක් පිළිබඳ ගැඹුරු ආදරයක් මට දැනෙන්නේ නෑ. දැනට මට එහෙම සම්බන්ධතා පහක් පමණ තිබිලා තියනවා.

මම ඇත්තටම ආස ඕනම තැනකට ගියාම කාගෙත් අවධානය සහ ආදරය මා වෙත ලබාගන්න. එහෙම බැරි වුණොත් මට ඒක ලොකු මානසික පීඩනයක්. ඒ වගේම ලොකු හිස් බවක් දැනෙනවා. මේ දවස්වල මට ජීවිතය කලකිරිලා එපා වෙලා. මොකද දැන් උපුල් මගෙන් ඈත් වෙන්නයි බලන්නේ. මම උපුල්ට කැමතියි. ඒත් මට ලොකු ආදරයක් දැනෙන් නෑ. උපුල් ඈත් වුණොත් මගේ ලෝකේ කඩා වැටෙයි කියලා මට බයයි. එහෙම වුණොත් කවුද මගෙ වියදම් දරන්නෙ. මට ඕන ඕන දේවල් අරන් දෙන්නේ මම ආස තැන්වලට මාව එක්කගෙන යන්නේ.

ඉහත උත්පලා බොරු ආදරය සහ ආටෝපයට මනස ගොදුරු වූ පෞරුෂ භින්නතාවයෙන් (Histrionic Personality) පෙලෙන බව මනෝවෛද්‍ය විද්‍යාව අනුව විස්තර කළහැකිය. මෙම පෞරුෂ භින්නතාවයේ ප්‍රධාන ලක්ෂණ නම්,

• අනෙක් අය තමන්ගේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට සූක්ෂම ලෙස පෙළඹ වීම. (Sexual Seductive) 

• මෙම රෝගීන්ගේ ජීවිතය නාට්‍යයක් බදුය. අනෙක් අය පෙළඹවා ඔවුන්ගේ අවධානය තමා වෙත දිනා ගැනීම සඳහා මවාගත් ගතිගුණයකින් ලෝකයක ජීවත් වෙයි. (Self – Dramatization)

• තීරණ ගැනීමේදී හා ප්‍රශ්න විසඳා ගැනීමේදී දක්වන බොළඳකම. (Shallow thinking)

• ඉතාමත් ආකර්ෂණීය ලෙස ඇඳුම් ආයිතම්වලින් සැරසීම. ඒවාට අධිකව වියදම් කිරීම (Flamboyant)

• කිසිවකු සමඟ කිසිවිටෙකත් ගැඹුරු ආදරයකට ඇතුළු නොවීම. (Superficial Love)

මෙම පෞරුෂ භින්තාවයට ප්‍රජාව තුළ ජනගහනයෙන් 1.5% පමණ ගොදුරු වී ඇති බව සොයාගෙන තිබේ. මෙයට වැඩිපුර ගොදුරු වන්නේ කාන්තාවන්ය. මෙම පෞරැෂ භින්නතාවයට නිශ්චිතම හේතුව සොයාගෙන නැති නමුත් ජාන සහ පරිසරය බලපාන බව විශේඥයන්ගේ මතයයි. කුඩා කල සිටම දරුවකුට හැඟීම් හඳුනාගැනීමට සහ බෙදාගැනීමට අවශ්‍ය පරිසරය නැති වූ විටද මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව සමීක්ෂණවලින් පෙන්වා දී ඇත. උත්පලාගේ ළමා කාලයේ රහසක් ද මෙහිදී අපට එළිවිය. 

උත්පලාගේ මව පියාගෙන් වෙන්වී ඇත්තේ ඇයට අවුරුදු 7 දීය. උත්පලා අම්මා ළඟ තනිවිය. අම්මා දෙවන කසාදයට ඇතුළු විය. ඉන්පසු අම්මාගේ අවධානය උත්පලාගෙන් ගිලිහී ගියේය. උත්පලාගේ දුක සතුට, සොම්නස, දොම්නස, ජීවිතයේ මුහුණ දෙන ආතතීන් ප්‍රකාශ කිරීමට හෝ බෙදා ගැනීමට ගෙදර පරිසරයක් නොවීය. මෙහිදී අප ඔබට දෙන පණිවිඩය නම් දරුවාට දැනෙන්න ආදරය කරන්න කියා නැවත මතක් කිරීමයි. එවිට මෙවන් පෞරුෂ භින්නතා සහිත චරිත බිහි නොවනු ඇත.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00