2017 ජනවාරි 14 වන සෙනසුරාදා

පිළිකාව ගැන වැරැදි මත 4 ක්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 443

පිළිකාව ගැන බහුලව පවතින වැරැදි මත හතරක් ගැන ජාත්‍යන්තර පිළිකා සංගමය කරුණු දක්වා තිබේ. ඒ අනුව පිළිකාව කියන්නේ නොපමාව පිළියම් යෙදිය යුතු රෝගයක්. ඒ වගේම පිළිකාවලින් 1/3ක්ම කලින් ප‍්‍රතිකාර ගතහොත් සුවපත් කළ හැකියි. පිළිකාව ගැන අති වැරැදි මත හතරක් ගැනයි මේ.

1. පිළිකාව සාමාන්‍ය සෞඛ්‍ය ප‍්‍රශ්නයක්

මේක මහා මිත්‍යා මතයක්. පිළිකාව කියන්නේ පෞද්ගලිකවත්, සමාජයීය හා ආර්ථිකවත් බරපතළ ලෙස බලපාන අහිතකරම ලෝක ප‍්‍රශ්නයක්. මෙයට මුහුණ පෑ තැනැත්තාගේ ජීවිතයට පමණක් නොවේ ඔහුට සමීපතම අයගේ ජීවිතද උඩු යටිකුරු කරන නොපමාව පිළියම් යෙදිය යුතු මාරාන්තික ගැටලුවක්.

2. ඕවා හැදෙන්නේ පොහොසතුන්ට

පිළිකාව සෑදී මියයන අයගෙන් 70෴ක්ම වාර්තාවන්නේ දුගී සහ මැදි ආදායම් සහිත රටවලිනි. පිළිකාව උදෙසා නිසිකලට නිසි බේත් හේත් කිරීමට නොහැකි නිසා මේ තත්ත්වය උදාවෙයි. නිදසුන් හැටියට මිලියන 33ක් සිටින උගන්ඩාවේ ඇත්තේ එකම පිළිකා ආයතනයකි.

3. හැදුනොත් මැරුණම තමා

බොහෝමයක් පිළිකා ඒවා කලින් හඳුනාගෙන නිසි ප‍්‍රතිකාර කළොත් එයින් වැළකීමට දැන් අවස්ථා බොහෝමයි. පිළිකාව මරණ වරෙන්තුවක් බවට පත්කර ගන්නේ නොදන්නාකම සහ නොසැලකිල්ල නිසයි. නිසි වේලාවට නිසි බෙහෙත් ගත්තොත් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමටත් පුළුවනි. ඒ හේතුව නිසාම ආර්ථිකය ඇද වැටෙන්නේද නැත.

4. මේක තමා මගේ ඉරණම!

ජාත්‍යන්තර පිළිකා සංගමය (UICC) කියන්නේ පිළිකා අවදානම අවම කර ගැනීමට ඇති හොඳම විසඳුම එයින් වැළකීමට හැකි ක‍්‍රියාමාර්ග අනුගමනය බවයි. හොඳ සෞඛ්‍ය පුරුදු ජීවිතයේ කොටසක් කර ගැනීමයි මේ සඳහා කළයුතු හොඳම කාර්යය. දුම්බීම, මත්පැන්වලින් වැළකීම, පෝෂ්‍යදායී පළතුරු එළවළු වැඩිපුර ආහාරයට ගැනීම. ව්‍යායාමය, සම්පූර්ණ හොඳ නින්දක් ලැබීම ඒ අතරදී මුල් තැන ගනියි. පිළිකාවට ගොදුරු වුණත් මේ පුරුදු අත් නොහැර පවත්වා ගත් විට පිළිකාවට ඔබට කරන්න පුළුවන් හානිය ඉතාමත් අවමයි.

♦ සුගත්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00