2017 ජනවාරි 14 වන සෙනසුරාදා

සිත් ලෙඩ කරන අමුතු ඇල්ම

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 548

මළ මුත්‍රා කාමුකත්වය Coprophilia

ලිංගික ක්‍රියාවලියේදී මළ මුත්‍රා සිරුරේ තවරා ගැනීමට ඇල්මක් දැක්වීම මළ මුත්‍රා කාමුකත්වය ලෙස හැඳින්විය හැකිය. මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් රචිත ශ්‍රී ලංකාවේ ගණිකාවෝ නම් පොතෙහි මෙසේ සඳහන් වෙයි.

සමහර ගණිකා නිවාසවල පුදුම අන්දමේ දේ සිද්ධ වෙයි. එක් තැනක පළපුරුදු ප්‍රකට මහලු දේශපාලනඥයකුගේ ඇඟට ගැහැනු මුත්‍රා කරති. නාන කාමරයට ගොස් එසේ කිරීමෙන්ය ඔහුට ලිංගික තෘප්තියක් ලැබෙන්නේ. ඒ සඳහා එතැනට පැමිණෙන ඔහු නිතර බීර බෝතල් පහක් හයක් ගැහැනුන්ට බීමට දීමට රැගෙන එයි...

එම ප්‍රකට මහලු දේශපාලනඥයා පෙළුණේ මළ මුත්‍රා කාමුකත්වයෙනි.

පුල්ලිංගෝන්මාදය - Satirias

වයස්ගත වූ පිරිමින් තුළ දක්නට ලැබෙන අධික කාමාශාව පුල්ලිංගෝන්මාදය ලෙස හැඳින්වේ. මෙම තත්ත්වයෙන් පෙළෙන කිහිප දෙනෙක්ම මා හට හමුවී තිබේ. බොහෝ විට රෝගය පිළිබඳව දැනුම් දෙන්නේ රෝගයෙන් පෙළෙන්නා නොව ඉන් පීඩාවට පත්වන තැනැත්තන්ය.

පහත සඳහන් වන්නේ මා හමුවීමට පැමිණි තරුණයකු විසින් පැවසූ කතාවකි.

සර්, මගේ අප්පච්චිගේ වයස අවුරුදු 76යි. අපි පොඩි කාලේ අප්පච්චි බොහෝම සංවර ජීවිතයක් ගත කළා. ඒත් මෑතක ඉඳලා අප්පච්චිගෙන් අපේ අම්මට හරිම කරදරයි. දහවල් වෙලාවෙ ගෙදර ඉන්නෙ අම්මයි, අප්පච්චියි විතරයි. ඉතින් දවල් කාලයේදී අම්මට අප්පච්චි හරියට කරදර කරනවලු. මම ආවෙ එයාගෙ කාමාශාව නැති කරන්න බෙහෙතක් ගන්න තියෙනවද කියලා දැනගන්න? තරුණයා කනස්සල්ලෙන් පැවසුවේය.

මිනිසුන්ගේ සහ කාන්තාවන්ගේ කාමාශාව ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවන හෝමෝනය ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීගෙන යයි. ඒ සමඟම ලිංගික ආශාවන්ද ක්‍රමයෙන් අඩුවේ. එහෙත් සමහරුන්ගේ එය එසේ නොවීම පුල්ලිංගෝන්මාදයට හේතුවිය හැකිය.

තවත් පුල්ලිංගෝන්මාදයෙන් පෙළෙන්නකු නිසා සිය භාර්යාවට සිදුවන හිරිහැරය පිළිබඳව මා වෙත දන්වා සිටියේ ඔවුන්ගේ දූවරුන් විසිනි. පුල්ලිංගෝන්මාදයෙන් පෙළෙන්නන් බොහෝ විට කැමැත්තක් දක්වන්නේ විවිධ ගැහැනුන් කරා යාමට වඩා දවස පුරාම එක් කාන්තාවක් සමඟ ඉවක් බවක් නැතිව ලිංගික සංසර්ගයේ යෙදීමටය.
ඉහත මළ මුත්‍රා කාමුකත්වය මෙන්ම පුල්ලිංගෝන්මාදය සඳහා ප්‍රතිකාර ගැනීමට ඔවුන් උපදේශන සේවාවන් වෙත යොමු කිරීම සුදුසුය.  මේවා බොහෝවිට මානසික අසාමාන්‍යතා හේතු කොට ඇතිවන හෙයිනි.

උපදෙස්:  විශේෂඥ වෛද්‍ය 
ආරියසේය යූ. ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00