2018 මාර්තු 24 වන සෙනසුරාදා

දියවැඩියාව ලිංගික ජීවිතය අවුල් කරන හැටි

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1727

දියවැඩියාව, ශාරීරික මානසික මෙන්ම ලිංගික සෞඛ්‍යයටත් බලපෑම් ඇති කරන බව ඔබ දන්නවාද? දියවැඩියාව මගින් ලිංගික ජීවිතයට ඇති කරනු ලබන බලපෑම ශාරීරික වශයෙන් ඇතිවන අතුරැ ආබාධයක්ම නොවෙයි. දියවැඩියා රෝගය පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය බිඳවැට්ටවීම සඳහාත් සමත් වෙනවා.

දියවැඩියා රෝගය ලිංගික අවයවවලට බලපෑම් ඇතිකරන්නේ කෙසේද?

දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ට සහ පිරිමින්ට පහත සඳහන් වන ආකාරයන්ගෙන් බලපෑම් ඇතිවෙනවා.

කාන්තාවන්ට ඇතිවන බලපෑම

දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ගේ ස්නායුවලට බලපෑමක් ඇතිවී ලිංගික උත්තේජනය ලබාගැනීමේ හැකියාව පහව යවනවා.

මේ තත්ත්වය නිසා සංසර්ගය සිදුකරන විට කාන්තාවකගේ යෝනියෙන් වෑස්සෙන තරලයන් වෑස්සීම සීමා වී වේදනාවක් ඇතිකර සුරාන්තයට පත්වීමට ඇති අවස්ථාව දුරුකරනවා.

ආර්ත‍වභාවය අතර තුර පසුවන කාන්තාවකට දියවැඩියාව ඇතිවුවහොත් එම කාන්තාවගේ රැධිරයේ සීනි මට්ටමේ ක්‍ෂණික වෙනස්කමක් සිදුවන්නට පුළුවන්.

මේ නිසා එම කාන්තාවගේ ලිංගික සෞඛ්‍යයට දැඩි හානියක් සිදුවන්නට ඉඩ තිබෙනවා. එවන් කාන්තාවක් ලිංගිකව එක්වීමට පෙර රැධිර පරීක්ෂාවක් සිදුකිරීමයි වඩාත් සුදුසු වන්නේ.

ඒ, මෙවන් තත්ත්වයක් යටතේ සිටින කාන්තාවක් ලිංගිකව එක්වීමේදී රුධිරයේ සීනි මට්ටම වඩා අඩු අගයක් ගන්නා නිසා ලිංගික එක්වීම මගින් සතුටට වඩා වේදනාවක් දැනෙන නිසයි.

ඒ වගේම, මෙවන් කාන්තාවකට ලිංගික සංසර්ගය මගින් දැඩි අපහසුවක් ඇතිකරවන දිලීර ආසාදන සහ  “cystitis” ගැටිති  මෙන්ම  මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන වැනි විවිධ ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.

පිරිමින්ට ඇතිවන බලපෑම

දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයන්ට නිතරම වාගේ ඇතිවන්නේ තම ලිංගික කාර්යය නිසිලෙස සිදුකිරීමට නොහැකි වන පරිදි  “testosterone” හෝමෝන මට්ටම පහළ වැටීමයි.

කෙසේ වෙතත් දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයන්ට ප්‍රධාන වශයෙන් ඇතිවන ලිංගික සෞඛ්‍ය ගැටලුව වන්නේ ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් නොවීමයි.

පුරුෂයකුගේ ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් වන්නට නම් ශිෂ්ණයට නිසි පරිදි රැධිර සැපයුමක් අවශ්‍ය වනවා.

දියවැඩියාව මගින් රුධිර නාළිකාවලට හානි සිදුකිරීම නිසා ශිෂ්ණයට ලැබිය යුතු නිසි රුධිර ප්‍රමාණය නොලැබී යාමත් ස්නායුවලට හානි සිදුවීම නිසා ශිෂ්ණය සහ මොළය අතර ඇති සන්නිවේදනය අවහිර වීමත් සිදුවෙනවා. මේ නිසා දියවැඩියාව ඇති අයකුට ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීම තරමක් අසීරු ක්‍රියාවක් වනවා.

කාන්තාවන්ට සහ පිරිමින්ට පොදුවේ ඇතිවන බලපෑම

දියවැඩියාවෙන් පීඩාවිඳින පුද්ගලයන්ට නිතර වෙහෙස ඇතිවෙනවා. දියවැඩියාව ඇති පුද්ගලයන්ට වෛද්‍ය උපදෙස් මත ඉන්සියුලින් එන්නත තමා විසින්ම ලබාගැනීමට අවසර දී තිබෙනවා. එමගින් රැධිරයේ ඉන්සියුලින් අගය වැඩිකර රුධිරයේ සීනි මට්ටම පාලනය කර ලිංගික සෞඛ්‍යයත් තරමක් දුරට වර්ධනය කර ගන්නට පුළුවන්.

මීට, අමතරව දියවැඩියාව ඇති පුද්ගලයන් හට ලිංගික සෞඛ්‍යය බිඳවැටීමට හේතුවන විවිධ මානසික බලපෑම් ඇතිවෙනවා.

එවන් උදාහරණ කිහිපයක් :

තමා පිළිබඳ ඇතිවන අවතක්සේරුව, කාංසාව, ශරීරයේ බර වැඩිවීම, විෂාදය, සිත හුදකලා වීම, තනිකමක් දැනීම, ආත්මාභිමානය ගිලිහීම,

දියවැඩියාව රෝගය ඇතිවීම නිසා ඇතිවන විවිධ මානසික ආබාධවලට සුවය ලබාගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත පමණක් ගත යුතු ඖෂධ තිබෙනවා.

දියවැඩියා රෝගීන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය  සඳහා  ප්‍රතිකාර ක්‍රම

මේ සඳහා ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය වන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම මගින් ස්නායු ආබාධ ඇතිවීම වළක්වාගැනීමයි. මේ සඳහා සිදුකළ හැකි දෑ වන්නේ දිනපතා ඉන්සියුලින් ලබාගැනීම, ඖෂධ මගින් රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීම වැනි දෑයි.

පිරිමින් සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රම

දියවැඩියා රෝගය නිසා ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් නොවන පිරිමින් සඳහා වෛද්‍යවරු විසින් “Viagra” සහ “Cialis” වැනි ඖෂධ නිර්දේශ කරනු ලබනවා. කෙසේ වෙතත් මෙවන් ඖෂධ සෑම අයකුටම සුදුසු වන්නේ නෑ. (විශේෂයෙන්ම අධිරැධිර පීඩනය සහ හදවත් රෝග ඇති පුද්ගලයන්ට)

ඇතැම් පුද්ගලයන් මෙවන් ඖෂධ භාවිතා කරන අතරවාරයේ සමහරැන් වැකූම් පොම්ප “vacuum pumps” සහ ශිෂ්ණයට එන්නත් කරනු ලබන එන්නත් ආදිය භාවිතයෙන් ඵලදායීතාවය වර්ධනය කරගනු ලබනවා.

ඒ වගේම, ඇතැමුන් සැත්කම්වලට භාජනය වීම මගිනුත් ශිෂ්ණයේ ප්‍රාණවත්භාවය නැවත ලබාගන්නවා.

කාන්තාවන් සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රම

කාන්තාවන් ලිංගිකව එක්වීමට පෙර යම් ලිහිසි ද්‍රාවණයක් යෝනි මාර්ගයේ තවරාගන්නවා නම් සංසර්ගයේ දී ඇතිවන වේදනාව තරමක් දුරට දුරැකර වින්දනයක් ලබන්නට පුළුවන්. මේ සඳහා වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

හෝමෝන ලබාදීම මගින් සිදුකරනු ලබන ප්‍රතිකාර

කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ද ලිංගික හැකියාව නැවත වර්ධනය කරන සාර්ථක ක්‍රමවේදයක් තමයි හෝමෝන ලබාදීම. කෙසේ වෙතත් මෙමගින් විවිධ අතුරැආබාධ ඇතිවීමට හැකියාව ඇති නිසා මෙවන් ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිවම  සිදුකළ යුතුයි.

නැතිවී ගිය ලිංගික ක්‍රියාශීලීත්වය වර්ධනයට ජීවන රටාවේ සිදුකරනු ලබන වෙනස්කම්

දියවැඩියාව ඇති කාන්තාවන් සහ පිරිමින් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට හුරුවීම මගින් නැවතත් ලිංගික ක්‍රියාශීලී බවක් වර්ධනය කර ගන්නට පුළුවන්. දුම්පානය, මත්පැන්  අත්හරින්න.

දිනපතා සෞඛ්‍යයට හිතකර ආහාර ලබාගන්න, ව්‍යායාමවලත් නිරත වන්න.

තරබාරු පුද්ගලයකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවා නම් තරබාරුභාවය අඩුකර ගැනීම මගිනුත් ලිංගික ජීවිතය වර්ධනය කර ගන්නට පුළුවන්. 

දියවැඩියා රෝගියකුගේ මානසික ආතතිය දුරැකරගැනීම සඳහා භාවනා සිදුකිරීම, පොත්පත් කියවීම, යෝගා අභ්‍යාසවල යෙදීම වැනි කාර්යයන් සිදුකර මානසික ආතතිය දුරුකරගැනීම වඩාත් වැදගත් වෙනවා.

 Web MD