2018 මාර්තු 03 වන සෙනසුරාදා

කරකැවිල්ලේ සැඟවුණු අනතුරු

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7138

කැරකැවිල්ල බාල, තරුණ, මහළු විවිධ වයස් සීමාවල අයට ඕනෑම අවස්ථාවක  නොයෙකුත් හේතූන් මත අත්දකින්නට හැකි ආබාධයකි. කරකැවිල්ල ඉක්මනින් සුව වුණත් එය ගැන සුළුවෙන් නොසිතිය යුත්තේ එය රෝග ගණනක් ගැන අනතුරු අඟවන පෙර ලකුණක් වන බැවිණි. වාසනාවකට සුලබව ඇති වෙන කැරකැවිලි තත්ත්වයන්  භයානක රෝගී තත්ත්වයන්ට මුල් නොවෙයි.

කරකැවිල්ලට හේතු... 

 සුලබම හේතුවක් වන්නේ මොළයට ප‍්‍රමාණවත් තරම් රුධිරය ගමන් නොකිරීමයි. 

 රුධිරයේ සීනි මට්ටම පහළ බැසීම නිසාද කැරකැවිල්ල ඇතිවේ.

 රුධිර පීඩනයේ හදිසි පහළ බැසීමක් හෝ වමනය කිරීම, පාචනය, උණ වැනි වෙනත් හේතු නිසා විජලනය ඇතිවීමද කරකැවිල්ලට හේතුවෙයි.

 බොහෝ පුද්ගලයන්ට, විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්ට වැතිර සිට ඉක්මනින් අසුනෙන් නැගිටින විට කරකැවිල්ලක් ඇතිවෙයි.

 සෙම්ප‍්‍රතිශ්‍යාව, අසාත්මිකතා හා ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන්හි දී  ද, මෙම ලක්ෂණය හටගනී. 

 තරුණ හා වැඩිහිටි වැඩි දෙනෙකුගේ කරකැවිල්ලට හේතුව ඇතුළු කනෙහි කර්ණ ශංඛය ඉදිමී හෝ අවහිර වී ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීමයි.

 වයස්ගත පුද්ගලයන්ගේ කැරකැවිල්ලට තවත් හේතුවක් වෙන්නේ කුඩා මොළයට යන නහර බෙල්ලේ කශේරුකා අතර තෙරපීමයි. 

 හෘදයාබාධයක් හේතුවෙන් හෝ හද ගැස්ම අස්වාභාවික වීම නිසා හෝ අඝාතය (ස්ට්‍රෝක්) මෙන්ම රුධිර පීඩනය බරපතල ලෙස පහළ බැසීම නිසා ඇතිවෙන කරකැවිල්ල බරපතල අනතුරු ඇඟවීම් ලක්ෂණයකි. මෙවැනි බරපතල තත්ත්වයක දී කරකැවිල්ලට අමතරව පපුවේ වේදනාව, අධික වේගයෙන් හද ගැසීම, කතා කිරීමට අපහසුවීම, පෙනීම අපැහැදිලි වීම වැනි වෙනත් ලක්ෂණ ඇතිවේ. 

 මොළයේ ගෙඩිද කරකැවිල්ලට හේතුවකි.

කරකැවිල්ලක් ඇතිවූ විට කළ යුතු දේ..

 කරකැවිල්ලක් ඇති වුණේ සිටගෙන සිටින විට දී නම් එක්වරම හදිසියේම ඉරියව් වෙනස් කිරීමට යාමෙන් වළකින්න.

 පිපාසය හෝ කරකැවිල්ල ඇතිවිට හැකි තරම් ජලය පානය කරන්න.

 වමනය නිසා ජලය පානය කිරීම අසීරු නම් ඇතැම් විට රෝහල් ගතවී සේලයින් නහර ගත කිරීමට සිදුවේ.

කරකැවිල්ල සමග පහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

හිසේ තුවාල, ෆැරන්හයිට් අංශක 101 ට වැඩි උෂ්ණත්වය, හිසරදය හා බෙල්ලෙහි දැඩි තද ගතිය, දිගින් දිගටම පවතින වමනය, පපුවේ වේදනාව, වේගයෙන් හද ගැසීම, හුස්ම ගැනීම අසීරැවීම, දුර්වලතාවය, අත් හා පා චලනය කිරීමේ අපහසුතාවය හෝ කතාවේ හෝ පෙනීමේ වෙනසක් සිදුවීම, මිනිත්තු කිහිපයක් ක්ලාන්තව හෝ සිහිසුන්ව සිටීම, කලින් කිසි දිනෙක කරකැවිල්ල ඇති නොවීම, පෙරදී ඇතිවූ කරකැවිල්ලට වෙනස් ස්වභාවයේ කරකැවිල්ලක් හටගැනීම, ඖෂධ ගත් පසු ඇතිවීම, මෙහිදී රෝගියා හිතුමතේ ඖෂධ වෙනස් නොකර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

රුධිර පීඩනය මැනීම, ECG, කන් ඇසීමේ පරික්ෂණ, ස්නායු පරීක්ෂණ, MRI ආදී විවිධ පරීක්ෂණ ආධාරයෙන් වෛද්‍යවරයාට කරකැවිල්ලට හේතුව සොයා ගත හැකියි. කන් ආසාදන, සෙම්ප‍්‍රතිශ්‍යාව, පීනස හා වෙනත් ශ්වසන ආබාධ ඇති විට ප‍්‍රතිකාර ගන්න. සෙම්ප‍්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සාව හෝ වෙනත් වෛරස් රෝග ඇති විට විජලනය වැළැක්වීම සඳහා හැකි තරම් ජලය පානය කරන්න. එවැනි පියවර මගින් කරකැවිල්ල ඇතිවීම අඩු කරගත හැකියි.

CDR/ Health news

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00