2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

50න් පස්සේ එන ඇට දිරන මාරකේ

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 573

ඔස්ටියෝපොරෝසිස් යන වචනයේ තේරුම වෙන්නේ අස්ථිවල සිදුරු සහිත වීම නැතහොත් සිදුරු සහිත අස්ථි ඇතිවීම යන්නයි. ඔස්ටියෝපොරෝසිස් කියන්නේ නිහඬ රෝගයකි. ඒ කියන්නේ ඔස්ටියෝපොරෝසිස් වල රෝග ලක්ෂණ පිටින් පෙනෙන්නේ නෑ. තමන්ගේ අස්ථි දුර්වල බව දැනගන්නට ලැබෙන්නේ එක්කෝ තමන් වැටුණු විට අස්ථි කැඩුණු විටයි.

ඔස්ටියෝපොරෝසිස් ගැන තිබෙන දුර්මතයක් තමයි ඔස්ටියෝපොරෝසිස් හැදෙන්නේ වයස්ගත කාන්තාවන්ට පමණක් බව. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. 

ඔස්ටියෝපොරෝසිස් සම්බන්ධව සිදුකොට ඇති අධ්‍යනයනවලින් හෙළිවී ඇත්තේ සමහර අයට ඔස්ටියෝපොරෝසිස් රෝගය පාරම්පරිකව උරැමවීමේ අවදානමක් පවතින බවයි. ඒ කියන්නේ මවට හෝ පියාට මේ තත්ත්වය තිබුණා නම් දරුවන්ද ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වීමේ අවධානම දෙගුණයකින් වැඩියි. මව් කුස තුළ දරුවා වැඩෙන අවස්ථාවේදී නිසි පෝෂණයක් නොලැබීමද අස්ථි දුර්වල වීමට බලපානවා.

ඒ වගේම තමයි වයස්ගත වීමේදී ඕනෑම කෙනෙකුගේ අස්ථි දුර්වල වෙනවා. එයද ඔස්ටියෝපොරෝසිස් රෝගයට හේතුවක්. ඊට අමතරව හෝමෝන හා සම්බන්ධ ගැටලු, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ ගැටලුද මෙම රෝගයට බලපාන්නට පුළුවන්.

පිරිමින්ට වඩා ඔස්ටියෝපොරෝසිස් අවදානම ඇත්තේ කාන්තාවන්ටය. පර්යේෂණ වලින් හෙළි වී ඇති ආකාරයට එය පිරිමින්ට සාපේක්ෂව සිව් ගුණයකින් වැඩිය. එයට මුලිකම හේතුව වන්නේ ආර්තවහරණයත් සමඟ අස්ථි ශක්තිමත් කරන ඊස්ට්‍රජන් හෝර්මෝනය ශරීරය තුළ නිෂ්පාදනය අවම වීමය.

සමහර කාන්තාවන්ගේ විවිධ ගැටලු නිසා ඩිම්බ කෝෂ ශරීරයෙන් ඉවත් කරන අවස්ථාද තිබෙනවා. මෙයත් ඔස්ටියෝපොරෝසිස් ඇති වීමට වක්‍රව බලපානවා.

ඔබේ අස්ථි දුර්වලවීමට මුලිකවම බලපාන කරුණක් ලෙස විටමින් D උෟනතාවය බලපානවා. මේ තත්වය උග්‍ර වන අවස්ථාවක් තමයි අධික ලෙස ලුණු ආහාරයට ගැනීම. ඔබ දන්නවද අධික ලෙස ලුණු ආහාරයට ගැනිම මඟින් ශරීරයේ ඇති කැල්සියම් මට්ටම අඩු වන බව. මේ නිසාද ඔස්ටියෝපොරෝසිස් ඇතිවෙන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් දරැවෙකුගේ යොවුන් විය අවසානය වනවිට ඔහුගේ අස්ථි වලින් 90%ක් පමණ වැඩී අවසන්. එම නිසා ඔස්ටියෝපොරෝසිස් සම්බන්ධව සිතිය යුත්තේ දරැවෙකු කුඩා කාලයේ සිටමයි.

ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා කැල්සියම් අත්‍යවශ්‍යයි. කිරි, යෝගට්, චීස්, පොඩි මාළු සහ ටින් මාළු (කටු සහිතව) ආහාරයට ගැනීමෙන් එම අවශ්‍යතාව පිරිමසාගන්න පුළුවන්. එමෙන්ම ආමන්ඩ්, ඕට්ස් ධාන්‍ය, තල, සෝයා සහ තද කොළ පැහැයෙන් යුත් එළවළු ආහාරයට එක් කරගැනීමෙන්ද ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකියි.

නමුත් ආහාරවලින් ලබාගත් කැල්සියම් ශරීරයට උරාගැනීමට නම් විටමින් D අත්‍යවශ්‍යයි. එය සම තුළ නිපදවෙන්නේ සූර්යාලෝකයට නිරාවරණය වූ විටයි. විටමින් D පෝෂකය බිත්තර කහමදය, මුහුදු මාළු සහ පීකුදු වැනි ආහාරවල බහුලව තිබෙනවා.

ඔස්ටියෝපොරෝසිස් වැළඳීමෙන් ආරක්ෂා වීමට නම් ව්‍යායාම් කිරීම අත්‍යවශ්‍යයි. ළමා කාලයේ සිට දිගටම ව්‍යායාම් කිරීමෙන් වයස් ගත වනවිට පවා අස්ථිවල ශක්තිමත් බව රැකගත හැකියි. ඒ සඳහා බර ඉසිලීම වැනි ව්‍යායාම් වඩාත් යෝග්‍ය බව පැවසෙනවා.

 සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00