2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

නිවැරදි නින්දෙන් සුවවෙන ලෙඩ

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1181

නිදාගැනීමේදී අපි අනුගමනය කරන ඉරියව්වෙන් රුධිර සංසරණය යහපත් කරගැනීම සහ කෝටර දාහය සුවකරගැනීම වැනි විවිධ සෞඛ්‍ය වාසිත් අත්කරගන්නට පුළුවන් බව ඔබ දැන සිටියාද?

ඉතින්, ඔබට අද අපි මේ පෙන්වා දෙන සෞඛ්‍ය ගැටලු කිහිපයෙන් එකක් හෝ තිබෙනවා නම් පහත දක්වා ඇති ඉරියව් භාවිතයෙන් නිදාගෙන එය පහසුවෙන්ම සුවකරගන්නට හැකි වේවි.

උරහිසේ වේදනා

ඔබත් උරහිසක වේදනාවෙන් පීඩා විඳිනවා නම් එය නිදාගන්නා අතර තුළදීම ලෙහෙසියෙන්ම සුවකරගන්නට පුළුවන්. මේ සඳහා ඔබේ වේදනාව රහිත උරහිස පැත්තට ඇලවී පාද දෙක ඉදිරියට නමා එක් කොට්ටයක් පපුවට යටින් තබා තවත් කොට්ටයක් දණහිස් දෙක මැදට වන්නට තබා නිදාගන්න.

කොන්දේ වේදනා

කොන්දේ වේදනාවට ඔබ නිදියන ඉරියව්ව දැඩි ලෙස බලපානවා. ඔබ උඩු අතට වන්නට නිදාගෙන එක් කොට්ටයක් ඔබේ දණහිස් යටින් තබාගන්න. ඒ වගේම, රෝල් කරගත් තුවායක් ගෙන එය කොන්දේ නැම්ම යටින් තබාගන්න. මේ ආකාරයට නිදාගැනීම මගින් ඔබේ කොන්දේ වේදනාව සුවකරගන්නට පුළුවන් වේවි.

හිසේ කැක්කුම්

ඔබට හිසේ කැක්කුමක් ඇත්නම් ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව එය උත්සන්න වීමත් සුවවීමත් යන දෙකෙන් එකක් සිදුවනවා. බොහෝ විට නිදාගැනීමේ දී බෙල්ල ඇඹරීම නිසා තමයි හිසේ කැක්කුම ඇතිවන්නේ. මෙය මඟහරවාගැනීමට ඔබ නිදාගන්නා විට ඔබේ ගෙල දෙපැත්තෙන් කොට්ට දෙකක් තබා ගෙල හැරවීම වළක්වා ගන්න.

කෝටරක දාහය හෙවත් සයිනස් 

නිදාගැනීමේ ඉරියව්ව හිසේ කැක්කුමට බලපාන ආකාරයටම කෝටර දාහයටත් බලපානවා. හාවර්ඩ් සරසවිය විසින් නිර්දේශ කරන ආකාරයට ඔබේ හිස තරමක් ඉහළට එසවෙන ආකාරයට නිදාගැනීම මගින් ඔබට කෝටර දාහය සුවකරගන්නට පුළුවන්.

අධිරුධිර පීඩනය

අධ්‍යයනයකට අනුව සොයාගෙන තිබෙන කරුණක් තමයි නිදාගැනීමේ ඉරියව්ව සෘජුවම රුධිර පීඩනය කෙරෙහි බලපාන බව. ඒ වගේම, රුධිර සංසරණය පාලනය වන නිදාගැනීමේ ඉරියව්වක් ද ඔවුන් මෙහිදී සොයාගෙන තිබෙනවා. ඔබ මුහුණ යටට වන්නට සිටින සේ නිදාගන්න. එමඟින්, ඔබට පුළුවන් අධිරුධිර පීඩනය පාලනය කරගන්නට.
අධිරුධිර පීඩනය සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිම ඖෂධයක් භාවිතා කරන්නට එපා.

ඔසප් වීමට ආසන්නව ඇතිවන වේදනා

ඔසප් වීමට ආසන්නයේ හටගන්නා විවිධ සෞඛ්‍ය ගැටලුවලට ලක්වී වේදනාවක් විඳිනවා නම් නිදාගන්නා විට ඔබේ දණහිස් යටට වන්නට කොට්ටයක් තබාගෙන නිදාගන්න. එමගින් ඔබේ පිටකොන්ද නැමීම නතර වී වේදනාව සමනය වනවා.

බෙල්ලේ වේදනාව

ඔබට බෙල්ලේ වේදනාවක් ඇත්නම් ඔබ නිදාගැනීමේ දී තුවායක් රෝල් කර බෙල්ල යටින් තබා නිදාගන්න. මේ තුවාය වෙනුවට ඔබට කොට්ට උරයක් වුවත් භාවිතා කරන්නට හැකිය

ආහාර ජීර්ණ ගැටලු

වම්පසට හැරී නිදාගන්නවා නම් ඔබට නියමාකාර ආහාර ජීර්ණයක් පවත්වාගන්නට පුළුවන්. උදරය වම්පසට වන්නට පිහිටන නිසා ඔබ වම්පසට හැරී නිදාගැනීමෙන් ගුරුත්වාකර්ෂණ බලපෑම මගින් ආහාර ජීර්ණය වේගවත් කරගන්නට පුළුවන්.

පපුවේ දැවිල්ල

පපුවේ දැවිල්ල මහත් පීඩාකාරී සෞඛ්‍ය ගැටලුවකි. මේ සෞඛ්‍ය ගැටලුවෙන් පීඩාවිඳිනවා නම් ඔබ වම්පසට හැරී නිදාගන්න. එවිට ඔබට පහසුවෙන්ම පපුවේ දැවිල්ල සුවකරගන්නට හැකියි. 

මේ නිදාගැනීමේ ඉරියව් අනුගමනය කරන්නට පෙර ඔබේ වෛද්‍යවරයා හමුව වැඩිදුර උපදෙස් ලබාගන්න. එවිට ඔබට පුළුවන් වේවි මෙම සෞඛ්‍ය ගැටලුවලින් ආරක්‍ෂා වන්න.
 
 I සුගත්

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00