2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

පිළිකාව කලින් දැනගත්තොත් මාසෙන් කම්මුතු කළ හැකියි

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 983

පිළිකාව අද බාල මහලු වයස් භේදයකින් තොරව පැතිර යන මාරකයකි. පිළිකාව කලින් දැනගතහොත් මාස කිහිපයකින් සුවකළ හැකියි. සැම වසරකම පෙබරවාරි 4 ලෝක පිළිකා දිනය ලෙස නම්කර තිබේ. පිළිකා මාරකය ගැන නැවත ඔබ දැනුවත් කරන්නට මේ ලිපිය ඉදිිපත් කරන්නේ එහෙයිනි.

පිළිකාවක් යනු කුමක්ද?

• ශරීර පාලනයෙන් මිදී හිතුවක්කාර ලෙස වර්ධනය වන අසාමාන්‍ය සෛල ගොන්නකි.
• අවට ඇති නිරෝගී පටකද ආක්‍රමණය කරයි.
• රුධිර නාල හෝ වසා පටක මඟින් ශරීරයේ දුරස්ථ අවයව කරාද ගමන් කරයි.
• ශරීරයේ ඕනෑම පටකයක් තුළ ඇතිවිය හැක.
• උපතේ සිට මහලු විය දක්වා ඕනෑම වයසකදී ඇතිවිය හැක.
පිළිකාවක් වැළඳුන පසු...
• මුල් අවස්ථාවේ හඳුනා ගැනීමත්
• නිසි වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදුකිරීමත් තුළින් සාර්ථකව සුවකළ හැක.
• ජීවිතය දිගු කරගත හැක.
කල් තබා හඳුනාගැනීමෙන් ලැබෙන වාසි
• සුවවීමේ හැකියාව වැඩියි.
• අවශ්‍ය වන ප්‍රතිකාර ප්‍රමාණය අඩුයි. එම නිසා අතුරු ආබාධ ද අඩුයි.
• සෞඛ්‍ය පිරිවැයද බෙහෙවින් අඩුවේ.

පියයුරු පිළිකාව උදාහරණයක් ලෙස ගනිමු
(පිළිකා වළක්වා ගැනීම හා කල් තබා හඳුනා ගැනීම සඳහා ජාතික පිළිකා මර්ධන ව්‍යාපාරය මඟින් ඔබට තොරතුරු ලබාගත හැක)

පිළිකා සඳහා කෙරෙන ප්‍රතිකාර මොනවාද?

• ශල්‍යකර්ම
• පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරය
• විකිරණ ප්‍රතිකාරය

ශල්‍යකර්ම Surgery

• පිළිකා සෛල සහිත කොටස කපා ඉවත් කරයි
• අවශ්‍යතාව අනුව ආශ්‍රිත වසා ගැටිතිද ඉවත් කරයි. (පැතිරීම වැළැක්වීමට)
• විරූපවීම් වැළැක්වීමට ශරීරයේ වෙනත් ස්ථානයකින් ලබාගත් පටක කොටස් බද්ධ කරයි (උදා: පියයුරු සැකසීම, මුඛ පිළිකා ශල්‍යකර්ම)

පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරය Chemotherapy

• පිළිකා සෛල විනාශ කරන විශේෂිත ප්‍රතිකාරයකි.
• පෙති හෝ නික්ෂේපන (Injection) වශයෙන් ඇත.
• වේගයෙන් බෙදෙන පිළිකා සෛල විනාශ කරයි. ශරීරයේ වේගයෙන් බෙදෙන සාමාන්‍ය සෛලවලටද බලපෑම් සිදුකළ හැක.
• ඒවා අවම කිරීමට හැකි නවීන ඖෂධ වර්ගද අප සතුය.
• එක් එක් පිළිකා වර්ග සඳහා මෙම ඖෂධ එකක් හෝ කීපයක් සැලැස්මකට අනුව මාස 5-6ක් පමණ කාලයක් තුළ ලබා දේ.

අතුරු ආබාධ

• වමනය - මෙය 100%ක් පාලනය කළ හැක.
• හිසකෙස් ගැලවීම - මෙය තාවකාලිකයි. සුළු කලෙකින් නැවත වැඩෙයි.
• රුධිර සෛල අඩුවීමෙන් ප්‍රතිශක්තිය තාවකාලිකව හීන වේ.
• මෙම ඖෂධ වර්ග සෛල නාශක ධූලක වන බැවින් පරිහරණයේදී සැළකිලිමත් විය යුතුයි.
• මෙම ඖෂධ වර්ග ඉතා මිල අධිකයි.
• පිළිකා සෛල නාශක ඖෂධ සඳහා වාර්ෂිකව රු. දශලක්ෂ හාරසියයක පමණ මුදලක් රජය විසින් වියදම් කරනු ලබයි.

විකිරණ ප්‍රතිකාරය Radiotherapy

අධිශක්ති කිරණ (එක්ස් කිරණ, ගැමා කිරණ) භාවිතයෙන් පිළිකා සෛල විනාශ කිරීම සඳහා ස්ථානිකව සිදුකෙරෙන ප්‍රතිකාරයකි.

• ලයිට් ඇල්ලීම, කරන්ට් ඇල්ලීම වැනි වචන නිවැරදි යෙදීම නොවේ.
• මෙහිදී කිසිදු දැනීමක් හෝ පිළිස්සීමක් ඇති නොකරයි. අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත.
• විකිරණ ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ශරීරයෙන් පෙරළා විකිරණ පිට නොවේ. නමුත් අයඩින් විකිරණ ප්‍රතිකාරයේදී පමණක් දින කීපයක් විකිරණ පිටවෙන නිසා රෝගියා ආරක්ෂිතව රොහල් ගතකර තබනු ලබයි.
• පිළිකා සෛල වර්ගය අනුව ප්‍රතිකාර කාල සීමාව වෙනස් වේ. එය සති 2 සිට සති 7 දක්වා විය හැක. සතියට දින 5ක් නොකඩවා ප්‍රතිකාර කරයි.
• සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශිත පාඨමාලාවකට පුහුණු නිලධාරීන් විසින් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රමිතීන් යටතේ ප්‍රතිකාර ලබාදීම සිදුකරයි.

අතුරු ආබාධ

විකිරණ ප්‍රතිකාරය ලබාදෙන ශරීර ප්‍රදේශය අනුව වමනය, හිසරදය, කෑම අරුචිය, කටහඬ වෙනස් වීම, හිසකේ රෝම ගැලවී යාම, හම කළුවීම ආදිය ඇතිවිය හැක.

මෙම ලක්ෂණ තාවකාලික වන අතර ප්‍රතිකාරය අවසන් වීමෙන් පසු ක්‍රමයෙන් පහව යනු ඇත.
උපදේශය

• අනිසි බිය දුරුකර ගන්න.
• දැනුවත් වන්න.
• අවධානයෙන් සිටින්න.
• රෝග ලක්ෂණ පිළිබඳ සැකයක් වෙතොත් ළඟම ඇති මහ රෝහල වෙත ගොස් අවශ්‍ය උපදෙස් ලබාගන්න.
• ආරම්භ කළ ප්‍රතිකාරය අතරමඟ නවතා නොදමන්න.

Cancer News