2018 ජනවාරි 13 වන සෙනසුරාදා

වීඩියෝවට, රූපවාහිනියට ඇබ්බැහිකම රෝගයක්?

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 259

රූපවාහිනිය සහ වීඩියෝ ගේම්ස් වැඩිපුර භාවිතය නිසා දරුවාගේ මොළයට හානිවන බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. තවද මෙමඟින් දරුවාගේ නිර්මාණශීලී හැකියාව මොට්ටවීම හෝ මානසික අවපීඩන තත්ත්වයට දරුවා ගොදුරු වීමද සිදුවිය හැකිය.

බිනරට වයස අවුරුදු 13 යි. ඔහු කුඩා කාලයේ දී ඉගෙනීමට දක්ෂයෙක්. ඒ වගේම තමයි ක්‍රීඩාවටත් දක්ෂයෙක්. බිනරගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයක. ඒ දෙන්නා වැඩ ඇරිලා ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. බිනර පාසල් ගොස් පැමිණි පසු කරන්නේ ටී.වී. බලන එක තමයි. දැන් වසරක පමණ කාලයක සිට බිනරට අලුත් පුරුද්දක් ඇතිවෙලා තියෙනවා. ඒ තමයි වීඩියෝ ගේම්ස් සෙල්ලම් කිරීම. බිනර මේ වැඩේ වෙනුවෙන් දවසකට පැය තුනක් හෝ හතරක් වෙන් කරලා තියෙනවා. දැන් බිනරට ප්‍රශ්න රැසකට මුහුණදෙන්න වෙලා තියෙනවා. ඒවා තමයි...

එකතැන වැඩි වේලාවක් රැඳී සිටිය නොහැකි වීම

නිතර තරහා යාම

අමතක වීම

කල්පනා ශක්තිය අඩු වීම

නිතර සිහිනෙන් බිය වීම

වෛද්‍ය නිගමනයන්ට අනුව බිනර විශාදය එහෙම නැත්නම් මානසික අවපීඩනය කියන තත්ත්වයට පත්වෙලා තියෙනවා. බිනරට මෙවැනි දෙයකට මුහුණදෙන්න සිද්ධ වූයේ නිතර නිතර ටී.වී. බැලීමත් වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වීමත් නිසා යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත.

අපි දැනටමත් දන්නවා දරුවාගේ මොළයේ වර්ධනයට බලපාන ප්‍රධාන සාධකය බාහිර සමාජයෙන් ලබාදෙන උත්තේජ බව. දරුවකුගේ මොළයේ වර්ධනයට රූපවාහිනිය උදව් වෙනවා කියලා අප සමාජයේ හැඟීමක් තියෙනවා. ඔව්. රූපවාහිනිය තුළින් දරුවකුට එක්තරා මට්ටමකට උපකාරයක් තිබෙනවා තමයි. විශේෂයෙන්ම දරුවාට විද්‍යාත්මක දැනුම ලබාගැනුමට හා භාෂා දැනුම දියුණු කර ගැනීමට රෑපවාහිනිය උපකාර වෙනවා. එහෙත් රූපවාහිනියට ඇබ්බැහි වීම තුළින් දරුවාට සිදුවන හානිය බොහෝය. ඒ බව අද වන විට විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබෙනවා.

1. දිනකට පැය හතරකට වඩා එකදිගට ටී.වී. බලන දරැවන් තරබාරු වීමේ ප්‍රවණතාව වැඩියි.

2. වැඩිපුර රූපවාහිනිය නරඹන දරැවාගේ කියවීමේ හැකියාව අඩුයි. මීට හේතු වශයෙන් වෛද්‍යවරු පවසන්නේ රෑපවාහිනී තිරයේ දිස්වන දර්ශන මගින් වම්පස මොළයේ භාෂාවට අදාළ කොටසේ වර්ධනය හීනවන බවයි.

3. වේගවත් ලෙස වෙනස් වන රෑප සහ දර්ශන, තද වර්ණ, වේගවත් රෑප චලන, ක්ෂණිකව ඇතිවන ඝෝෂාකාරී ශබ්දයන් තුළින් දරුවාගේ අවධානය අඩු වේ. එනිසා දරැවා තුළ ඉගෙනීමේ දුබලතාවක් හටගත හැකිය. රූපවාහිනිය තුළ දක්නට ලැබෙන ඇතැම් දේවල් තුළින් දරුවාගේ මනස විකෘති වීමක් ද සිදුවිය හැකි වෙනවා. විශේෂයෙන් දුම්පානය, ඇතැම් ආහාර පිළිබඳ දැන්වීම් තුළින් මෙවැනි විකෘති වීමක් සිදුවිය හැකි වෙනවා. දරුවාගේ ලෝකය තුළ සිටින වීරයන් (නළු නිළියන්, ගායක ගායිකාවන්) දැන්වීම්වල පෙනී සිටීමෙන් ඔවුන්ගේ මනසට වැරදි වැටහීම් රැසක් ඇතුළු වෙනවා.

මෙවැනි තත්ත්වයන්ගෙන් දරුවා මුදවාගැනීමට නම් දරුවා රූපවාහිනිය නරඹන අවස්ථාවේ දී ඔබත් දරුවා සමඟ වාඩි වී ඒ ඒ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම දරුවන්ට රූපවාහිනිය සමඟ ගැවසීම දිනකට පැයකට පමණ සීමා කළ යුතු වෙනවා. ඔබේ දරුවා දැනටමත් අවධානය පිළිබඳව ගැටලුවකින් පෙළෙන්නේ නම් සම්පූර්ණයෙන්ම රූපවාහිනිය නතර කළ යුතුය.

ඒ වගේම තමයි වීඩියෝ ගේම්ස් තුළින් මවන සිහින ලෝකය තුළත් දරුවා අතරමං වෙනවා. යථාර්ථ ලෝකයක් මායා ලෝකයක් තුළ රැඳෙන දරුවාගේ හැඟීම් පාලනය බොහෝ දුරට පහළ තත්ත්වයට වැටෙනවා. ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියා අඩංගු වීඩියෝ නිසා එහි චරිතවලට දරුවා ඇතුළු වෙනවා. උදාහරණ වශයෙන් වෙඩි තියන පුද්ගලයන් දැකගත හැකිය.

මේ අනුව ඔබත් ඔබේ දරුවාගේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාව පැයකට සීමා කරන්න. ඌණ අවධානය සහිත දරුවන්, අධික්‍රියාකාරී දරුවන් නම් සම්පූර්ණයෙන්ම ඔහු හෝ ඇය වීඩියෝ ගේම්ස් තුළින් වහාම ඈත් කළ යුතු වෙනවා.