2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

තනියම හිනාවෙන කතා කරන අමුතු ලෙඩේ

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 718

භින්න උන්මාදය අපේ ප්‍රජාව තුළ 1%ක් පැතිර ගිය රෝගයකි. කල්තියා හඳුනාගත්තොත් ප්‍රතිකාරවලින් හොඳ සුවයක් ලබා ගන්න හැකිවේ. තනියම කතා කිරීම, තනියම සිනාසීම, ළඟ කවුරුත් නැතිවිට විවිධ කටහඬ ඇහෙන්නාක් මෙන් දැනීම, හුදකලා වීම, මේ රෝගයේ ලක්ෂණයි.

මිනිස් මොළයේ පණිවුඩ හුවමාරුවට අදාළ රසායනික ද්‍රව්‍යවල ඇතිවන වෙනසක් මේ රෝගය සඳහා හේතුවෙනවා. මේ රසායනික ද්‍රව්‍ය තමයි ඩොපමීන් (Dopamine). මෙහි වැඩිවීම නිසා ඇතිවන ප්‍රතිඵලය තුළ අමුතු සිතුවිලි ඇතිවීම, සංවේදනය තුළ වෙනස්වීම් ආදිය දක්වන්න පුළුවන්. බොහෝවිට භින්න උන්මාදය පුද්ගලයෙකුගේ තරැණ අවධියේදී ඇතිවන රෝගයක්. රේණුකාගේ කතාව කියවලා බලන්නකෝ!

රේණුකාගේ වයස අවු.18යි. ඇය උසස් පෙළ ලියන්න සූදානම් වෙමින් සිටියා. සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ සහිතව පාස්වුණු රේණුකා ඉගෙනුමට ගොඩක් දක්ෂයි. ඒත් මෙහෙම හිටිය රේණුකා එකපාරටම වෙනස්වෙන්න පටන් ගත්තා. යහළුවොත් එක්ක විනෝදයෙන් හිටපු රේණුකා ගොඩක් වෙලාවට ඔවුන්ගෙන් මිදී තනිව සිටීමට කැමැති වුණා. ඒ වගේම තනියම කතාකරන්නටත්, හිනාවෙන්නටත් පටන් ගත්තා. හිටිහැටියේම බණින්නත් වුණා. කාටද බණින්නේ කියලා අහුවාම රේණුකා කියන්නේ කීපදෙනෙක් එකතු වෙලා මට බණිනවා කියලා. ඒත් එහෙම කවුරුත් ඇය අසල පේන්නත් නැහැ. රේණුකා ගෙදරින් දෙන කෑම ගැනීම පවා අතහැරියා. රේණුකා සිතුවේ ඒ කෑමවලට වස දමා ඇතැයි කියලා. පවුලේ අය සමඟ කතා කරනකොට ඇයට ගොඩක් තරහා යනවා. ඒ වගේ වෙලාවට ඇය මට ඉන්න දෙන්න... කියලා කෑගහනවා. ඔයාට කවුද කරදර කරන්නේ...? කියලා ඇසුවොත් රේණුකා කියන්නේ එයාගේ සිතුවිලි කවුරුහරි පාලනය කරනවා කියලයි.

දවසක් රේණුකා හිටිහැටියේම ගෙදරින් ගියා. පවුලේ අය රේණුකාව සොයාගත්තා. ඇය කොහේහරි යනකොට ඇය පිටුපසින් කවුරුහරි එනවා කියලා කියනවා. ඒ වගේම ඇගේ සිතුවිලි කවුරුහරි හොරකම් කරනවා කියලත් කියනවා. මේ තත්ත්වය නිසා රේණුකාගේ ඉගෙනීම කඩාකප්පල් වුණා. ඇගේ දෙමාපියන් සිතුවේ රේණුකාට මොකක්හරි දිෂ්ටියක් වැහිලා කියලා.

ලක්ෂ ගාණක් වියදම් කරලා යන්ත්‍ර මන්ත්‍ර දැම්මා. ඒත් කිසිම ගුණයක් ලැබුණේ නෑ. පසුව අප ළඟට පැමිණි රේණුකාගේ රෝග ලක්ෂණ අනුව ඇය භින්න උන්මාදය වැළඳුන රෝගියෙක් බව වැටහුණා. අපි ඇයට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. 

භින්න උන්මාදය සඳහා බලපාන හේතු මොනවාද?

ඒ සඳහා නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නෑ. පාරම්පරිකව (ජානමය) මේ රෝගය කෙනෙකුට වැළදෙනවා. උදාහරණයක් විදියට සමජාතී නිවුන්නු ගත්තොත් ඔවුන්ගෙන් අයෙකුට මේ රෝගය වැළඳුණහොත් අනෙකාට වැළඳීමේ ප්‍රතිශතය 50%යි. එයට අමතරව පාරිසරික හේතු ද බලපානවා. දරුවකු බිහිවන අවස්ථාවේදී මොළයට කුමන හෝ හානියක් සිදු වුවහොත් එය භින්න උන්මාදය වැළඳීමට හේතු වෙනවා. ඒ කියන්නේ මොළයේ ඩෝපමින් හා ග්ලූටමින් රසායනික ද්‍රව්‍යවල සිදුවන අඩුවැඩිවීම් මේ සඳහා බලපෑමයි.

අපි  MRI ස්කෑන්  එකකින් බැලුවාම පෙනෙන මොළයේ මස්තිෂ්කය කියන කොටසේ පරිමාව අඩුවීම හා ඉදිරිපස ටෙම්පරල් කොටසේ ඇති අවකාශ හෙවත් වෙන්ට්‍රිකල් විශාල වීම ද මේ රෝගය  තුළ දක්නට ලැබේ.

භින්න උන්මාදයේ ලක්ෂණ කොටස් දෙකකට අනුව වර්ග කරන්න පුළුවන්. ඒවායෙන් සිදුවන ක්‍රියාකාරීත්වයේ වෙනස අනුවයි මේ කොටස් කර ඇත්තේ.

1. ධනාත්මක රෝග ලක්ෂණ

2. සෘණාත්මක රෝග ලක්ෂණ‍

ධනාත්මක රෝග ලක්ෂණ මොනවාද?

තමා පිටුපසින් කවුරුහරි එනවා කියන සිතුවිල්ල, ආහාරවලට වස දමා ඇතැයි යන සිතුවිල්ල, කිහිපදෙනකු තමා ගැන කතා කරනවා කියන සිතුවිලි ඇතිවීම, කවුරැහරි තමාගේ සිතුවිලි හොරකම් කරනවා කියලා සිතීම.

සෘණාත්මක රෝග ලක්ෂණ

පිරිසිදුකම නැති වී යෑම, පිළිවෙළ නැති වී යෑම, කළකිරුණු ගතිය, තෙහෙට්ටු ගතිය, අප්‍රාණික බව, කම්මැළි බව ආදිය ගති ඇතිවීම, ජීවිතය අවුල් වී යෑම, සංවිධානාත්මකව වැඩකිරීමේ හැකියාව හීනවීම.

ඒ වගේම භින්න උන්මාදය වැළඳුණු රෝගියෙකුට තමා අදහස් කරන දේ වචනවලින් විස්තර කිරීමට ද කළ නොහැකියි. එයට හේතුව පිළිවෙළට අදහස් ගලා නොඒමයි. මෙවැනි රෝගියෙකු සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව ද වැඩියි.

භින්න උන්මාදය රෝගය සඳහා සාර්ථක ඖෂධ  ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම ඔවුන්ට මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ද වැදගත් වෙනවා. මෙම රෝගීන්ගෙන් 25%ක ප්‍රතිශතයක් පමණ රෝගයේ මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවටම සුව වෙනවා. එසේම 50%ක් පමණ පිරිසකට යම් තරමකට සුව වෙනවා. එහෙත් නිතර නිතර රෝගය වැළඳෙන අතර ඔවුන්ගෙන් 10%ක් සියදිවි නසා ගන්නවා. ඒ නිසා මේ රෝගය කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීම හරිම වැදගත් වෙනවා. 

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක