2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

මනස සනසන සුව නින්ද

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 784

නොයෙකුත් මානසික ආතතීන් නිසා දරුවන්ට නින්ද නොයාම හා සම්බන්ධ ගැටලු ඇතිවිය හැකිය. දැඩි මානසික ආතතිය හෝ අවපීඩනය නිසා ද නින්දේ දී ගැටලු ඇතිවිය හැකිය. 

දරුවාගේ නින්ද පිළිබඳ ඔබට යම් අවබෝධයක් තිබිය යුතුය. සාමාන්‍යයෙන් මාස 06ක දරුවෙක් රාත්‍රී කාලයේ හොඳට නිදා ගනී. වෛද්‍යවරැ කියන්නේ 10%ක් පමණ දරුවන්ටත් නින්ද පිළිබඳ ගැටලු පවතින බවයි. සමහරවිට දරුවන්ගේ නින්ද පිළිබඳ ගැටලුවලට ස්ථිර හේතුවක් සොයාගන්න අපහසුයි. ඉතාමත් කුඩා අවදියේ සිටින දරුවන් පවා බාහිර පරිසරයේ තිබෙන මානසික ආතතීන් නිසා නින්ද පිළිබඳ ගැටලුවලට ගොදුරු වෙන්න පුළුවන්. අපි පුංචි කතාවකින් මෙය පැහැදිලි කර ගනිමු. 

කසුන්ගේ වයස මාස 17යි. කසුන් අපට යොමුවුණේ ඔහුගේ මව මඟින්. මව කසුන් පිළිබඳ මෙසේ පැවසුවා. දැන් මාස 02ක පමණ කාලයක සිට කසුන්ට හරියට නින්ද යන්නේ නැහැ. නිතරම නින්දෙන් අවදි වෙනවා. කසුන් වෙනදා සෙල්ලම් කළේ හරිම උනන්දුවෙන් සහ හරිම ආදරයෙන්. නමුත් දැන් එයාගේ සෙල්ලම් වලසුන් එක්ක (ටෙඩීලා) සෙල්ලම් කරන්න කසුන්ට ආශාවක් නැහැ.

අපි මෙසේ කසුන්ගේ අම්මාගෙන් ඇසුවා. ඔබේ ගෙදර පරිසරය තුළ යම් විශේෂ සිද්ධියක් පසුගිය මාස කිහිපය තුළ සිදුවුණා ද කියලා.

කසුන්ගේ මව මෙසේ කීවා.

මම මගේ ස්වාමියාගෙන් දික්කසාද වෙලා දැන් මාස 07ක් වෙනවා. කසුන් තාත්තට හරිම කිට්ටුයි. වෙනදා තාත්තා ගෙදර ආවම කසුන් තාත්තා ළඟට දුවගෙන එනවා. සුරතල් වෙනවා. මම දැන් ස්වාමියාගෙන් වෙන්වී සිටින නිසා, ඔහු වෙනම ජීවත් වෙනවා. සමහරවිට කසුන්ට තාත්තා නැති අඩුව දැනෙවාද දන්නෙ නැහැ.

කසුන්ගේ අම්මා කීවේ පසුගිය මාස කිහිපය තුළ ඇයට කරදර රාශියකට මුහුණ දෙන්න සිදුවුණා කියලා. ඇයට කිහිප වතාවක්ම ගෙවල් මාරුකරන්න සිදුවෙලා තියෙනවා. දරුවාගේ ඩේ කෙයා (දිවා සුරැකුම් මධ්‍යස්ථානය) එකත් කිහිප වතාවක්ම වෙනස් කරන්න සිදුවෙලා තියෙනවා. 

ඉතින්, කසුන් මෙම ගැටලුවෙන් එළියට ගන්නේ කෙසේද?

කසුන්ගේ මව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළා. නින්ද පිළිබඳ ගැටලුව සමථයකට පත් කර ගැනීමට මාස 05ක පමණ කාලයක් ගතවුණා. වෛද්‍යවරයා විසින්  කසුන්ගේ මව සඳහා ලබාදුන් උපදෙස් මාලාව තමා මේ.

සතියකට එක් වතාවක් හෝ කසුන්ගේ පියාට දරුවා හමු වී සුරතල් කිරීමට ඉඩදීම.

කසුන්ගේ මව රැකියාවක නියැලේ. නමුත් වෛද්‍යවරයා උපදෙස් දී තිබුණේ වැඩ අවසන් වී ගෙදර පැමිණි පසු දවසට පැයක් හෝ පමණ කාලයක් දරුවා සමඟ ළඟින් දරැවාට දැනෙන ලෙස ළංවීමයි. එම අවස්ථාවේදී රෑපවාහිනිය නතර කරන ලෙසත්, දුරකථන ඇමතුම්වලින් ඈත්වන ලෙසත් උපදෙස් දී ඇත.

පදිංචිය නිතර වෙනස්වීම, ඩේ කෙයා එක නිතර වෙනස් වීම පිළිබඳව වෛද්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබුණි. (මේ නිසා දරැවා අසහනයට පත් වී ඇත)

දරුවාගේ හැසිරීම සහ රාත්‍රී කාලයේදී දක්නට ලැබෙන නින්දේ ස්වභාවය පිළිබඳ දිනපතා වාර්තා කර තබා ගන්නා ලෙස උපදෙස් දී තිබුණි.

නින්ද පිළිබඳ විද්‍යාත්මකව තේරුම් ගනිමු.

අප කොපමණ වේලාවක් නිදා ගත යුතුද?

මෙය වයස අනුව බලපායි. කුඩාම දරුවන්ට දිනකට පැය 17ක නින්දක් අවශ්‍ය වේ. නමුත් වයසින් වැඩෙත්ම නින්ද පැය 09ත් 10ත් දක්වා අඩුවනු ඇත.

වැඩිහිටියන්ට අවශ්‍ය වනුයේ පැය 07ක් 08ක් වැනි නින්දක්ය. කිසිම හේතුවක් නැතිව උදෑසන දෙකට හෝ තුනට අවදිවීම මානසික අවපීඩනයේ ලක්ෂණයක් බව හඳුනාගන්න. 

ඉතා අඩුවෙන් නින්ද යාම.

දුම්පානය, මත්පැන් පානය, අධික ලෙස ශරීරය වෙහෙසීම, අධික උෂ්ණත්වය, නිදා ගන්නා ස්ථානය වෙනස්වීම, දැඩි මානසික ආතතියකින් මනස පෙළීම, අධික ලෙස ආහාර ගැනීම ද නිසා ඔබේ නින්ද අඩුවිය හැකිය. 

සුවදායක නින්දකට අවශ්‍ය උපදෙස්

නින්දට යාම සඳහා නිශ්චිත වේලාවක් වෙන්කර ගන්න.

නින්දට යාමට පෙර සිත සැහැල්ලු කරගන්න.

ආගමික වතාවත් සඳහා යොමුවන්න.

භාවනාවක් පුරුදු කරන්න.

නිදි යහන, නිදන කාමරය ලස්සනට තබා ගන්න.

සවස් කාලයේදී යම් ව්‍යායාමයක යෙදෙන්න.

තේ සහ කෝපි වැනි පානයක් රාත්‍රී නින්දට පෙර ගැනීමෙන් වළකින්න. රාත්‍රී ආහාරය වේලාසනින් ගන්න.

මත්පැන් පානය අවම කරන්න. (අපහසුනම් වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කරන්න).

ඔබ දැඩි ලෙස මානසික පීඩා විඳින යම් කරුණක් වේනම් නින්දට යාමට පෙර එය කොළයක ලියා තබන්න.

ඔබගේ මනසට හෝ සිතට වද දෙන කරදරකාර  සිතුවිලිවලින් ගැලවීමට අපහසු නම් ඒ පිළිබඳ වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කරන්න.

වෛද්‍යවරයෙකුගේ උපදේශයෙන් තොරව නිදිපෙති ගැනීමෙන් වළකින්න. (මෙය ඉතාම හානිකර දෙයක් බව මතක තබාගන්න.)

 

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක