2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ඉවසන්න බැරි කනේ කැක්කුම

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 11763

සීතල කියන්නේ වායු ගෝලයේ වෙනස් වීමක්. සිරුර ඇතුළේ තිබෙන උෂ්ණත්වයත් පිටත උෂ්ණත්වයත් එකට ගැලපෙන්නේ නැති අවස්ථාවල අපි සීතලයි කියලා කියනවා. මෙය කනට උගුරට වගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බෙහෙවින්ම බලපෑම් ඇති කරනවා. කන් කැක්කුමට එක හේතුවක් විතරයි සීතල කියන්නෙ.

කනේ කැක්කුම හැදෙන ක්‍රම

මැද කනේ සිට උගුර දක්වා (නාසය පිටුපස තෙක්) ඇති යූස්ටේකීය නාලය සමබර වන්නේ පිටත වායුගෝලයේ පීඩන සහ සිරැර අභ්‍යන්තරයේ වායුපීඩනය එක ලෙස ගැලපෙන අවස්ථාවලදීයි. එවිට මැද කනේ පීඩනය සමබර වෙනවා. එසේ නොවූ විට කන් බෙරය ඇදිමකට ලක්වෙයි. එවන් අවස්ථාවක කන් කැක්කුම ඇති වෙනවා. සීතල, පවතින අවස්ථාවක කන් කැක්කුම ඇතිවන්නේ මේ නිසයි. තරමක් උත්සන්න ලෙස කන් කැක්කුම පැවතුනහොත් පැරසිටමෝල් පෙති දෙකක් පාවිච්චි කිරීම සෑහේ. එසේ විටත් වේදනාව අඩු නැත්නම් අත් බෙහෙත් නොකර වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර ලබාගත යුතුයි.

තවත් විටෙක, සීතල දේශගුණයක් පවතින අවස්ථාවල ස්වසන පද්ධතියේ ආසාදන හෝ රෝග තත්ත්වයන් ඇති රෝගීන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමට පටන් ගනී. එවන් අවස්ථාවල ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ උගුර නාසයේ ඉහළ කෙළවර සෙම සහිත තත්ත්වයක් හෝ ආසාදන තත්ත්වයක් ඇති වේ. ඒ අනුව යූස්ටේකීය නාලයේ අවහිරතා ඇති වේ. ඒ සමඟම කන් කැක්කුම ඇති වේ.

කන් කැක්කුම ඇතිවීමට බලපෑ හැකි තවත් අවස්ථාවක් නම්, කනෙහි ඉටි ඝනවීම හෝ ඉටි ඉදිමීමයි. කනට වතුර යාම හෝ පිට කනේ ඇතිවන ආසාදිත තත්ත්වයක් නිසා කනේ ඉටිවල ඝනවීම හෝ ඉදිමීම ඇති වනු ඇති.

කනට ආසන්න ඇති ඉන්ද්‍රියන්වල විවිධ ගැටලු මතද කන් කැක්කුම ඇතිවෙයි. අලුතින් දතක් ඒමේදී, අලුතින් එන දත අතර මඟ හිරවී ඇත්නම්, දතක් නරක් වී ඇත්නම්, දැනෙන්නේ කන් කැක්කුමක් පරිදිය.

තවත් විටෙක බෙල්ලේ හෝ කශේරුකාවේ හෝ ඔළුවේ ස්නායුවක හෝ හණුවල ඇතිවන කිසියම් තත්ත්වයක් මත කනේ කැක්කුම ඇති වේ. මෙම තත්ත්වය Neuralgia Pain  ලෙස ද හඳුන්වයි.

කන ආශ්‍රිතව වේදනාවක් ඇතිවන විටක උණුසුම් පරිසරයක් සහිත ස්ථානයකට යාමත්, උණුසුම් පානයක් ගැනීමටත් කටයුතු කළ යුතුයි. පැරසිටමෝල් වැනි ඖෂධයකින් සුව නොවන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යා යුතුම වෙයි. කුමන හෝ හේතුවක් මත වෛද්‍ය උපදෙසින් තොරව කන තුළට කිසිම දෙයක් ඇතුළු නොකළ යුතුයි.

 - Web MD