2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කෑම වේලේ තන්තු අඩු වුණොත් හැදෙන ලෙඩ

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 716

සිරුරට අවශ්‍ය පෝෂණය සපයන ආහාර අතරට අමතක නොකර තන්තු සහිත ආහාර එකතු කර ගත යුතුමයි.  පළතුරු, එළවළු, ධාන්‍ය වර්ගවලින් ප්‍රමාණවත් තරම් තන්තු  සිරුරට ලබා ගත හැකි නිසා, එය අමාරු කාර්යක් නෙවෙයි. ඒත් බොහෝ දෙනෙකු තන්තුවල ඇති වැදගත්කම නොසලකා හැරීම නිසා විවිධ ගැටලු හා රෝගී තත්ත්වයන්ට ගොදුරු වන අවස්ථා තියෙනවා.

පෝෂණය අතින් ඉහළ ආහාර වගේම අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වයට නැතුවම බැරි තන්තු බහුල ආහාර නිසි පරිදි නොලැබී යාම නිසා ඇතිවන මේ රෝගී තත්ත්වයන් ගැන ඔබ මෙතෙක් දැන සිටියේ නැත. අවශ්‍ය ප්‍රමාණයට තන්තු බහුල ආහාර නොලැබී යද්දී ශරීරය විසින් ඒ ගැන විවිධ අනතුරු සංඥා නිකුත් කරනවා. පහත විස්තර වන්නේ ඒවා ගැනයි. ඒ නිසා මේ තත්ත්වයන් ඇති වෙන්න කලින් හෝ දැනටමත් ඔබ මේ ගැටළුවලට මුහුණ දීලා ඉන්නවානම් තන්තු බහුල ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න ප්‍රමාද වෙන්න එපා.

1 - මළබද්ධය හෙවත් බඩ වේලීම

මළබද්ධය කියන්නේ බහුතරයක් දෙනෙක්ට පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන තත්ත්වයක්. ප්‍රමාණවත් තරම් කෙඳි සහිත ආහාර නොගන්නාවිට ඇතිවන රෝගී තත්ත්වයක් විදිහට මළබද්ධය හඳුන්වන්න පුළුවන්. එය එකම හේතුව නොවුනත් කෙඳි සහිත ආහාර නොලැබී යාම එම කටයුතු අසීරැ කරනවා. අවම වශයෙන් දිනකට දෙවරක් ගැටලුවකින් තොරව මළ පිට වීම සිදුවිය යුතුයි. නමුත් ඔබට ඒ සම්බන්ධ ගැටළු පවතිනවානම් ඔබට දැනටමත් මළබද්ධය ඇති වී තියෙන්නට පුළුවන්.
අපි ගන්නා ආහාරවල වගේම ජීවන රටාවේ පවතින වැරදි නිසා ඇතිවන මේ තත්ත්වය විශේෂයෙන් තන්තුමය ආහාර ඉතා අවම වශයෙන් ආහාරයට ගැනීම නිසා මේ ක්‍රියාවලිය තවත් අමාරැ කරනවා.

2 - කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම

කොලෙස්ටරෝල් ඇති වෙන්න මූලික වෙන්නේ මේදය වුනත් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්න එක් හේතුවක් තමා අඩු කෙඳි සහිත ආහාර පරිභෝජනය. ඇති ‍වෙලා තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න සහ ඇති වෙන්න තියෙන අවදානමෙන් මිදෙන්න තන්තුමය ආහාර බොහෝ ලෙස උදවු වෙනවා. සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලමින් හදවත සුරකින්නත් කිරීටක හෘද රෝගවල අවදානම අඩු කරන්නත් තන්තු සහිත ආහාර උදවු වෙනවා. 

3 - රුධිරගත සීනි මට්ටම් ඉහළ යාම

කෙඳි සහිත ආහාර නොලැබී යාම නිසා ඇතිවන තවත් අහිතකර තත්ත්වයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා තන්තු බහුල ආහාර ගැනීම ගැන අනිවාර්යෙන් අවධානය දිය යුතුයි. තන්තු මඟින් සීනි රුධිරයට අවශෝෂණය කර ගැනීම ප්‍රමාද කරවන නිසා දියවැඩියා රෝගය පාලනයට එය ඉතා වැදගත්.

4 - බඩ පිපුම

වැරදි ආහාර රටාව සහ තන්තුමය ආහාර හිඟ වීම නිසා බඩ පිපුම ඇති වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන තන්තු නොලැබී යාම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර හොඳින් දිරවීමටත් තන්තු උපකාරී වෙනවා. එය නොලැබී යාම මෙවැනි තත්ත්වයන්වලින් ඔබ අපහසුතාවයට පත් කරනවා.

5 - කෑමෙන් සුළු වෙලාවකට පසුව නැවත ඇතිවන කුසගින්න

තන්තු සහිත ආහාර ප්‍රමාණවත් තරම් නොලැබී යාම නිසා ඇතිවන තවත් අපහසුතාවයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. නමුත් කෙඳි සහිත ආහාර ඔබේ ඊළඟ කෑම වේලාව පැමිණෙන තුරැ කුසගින්නක් ඇති නොවීමට උපකාරී වෙනවා. විශේෂයෙන් තන්තුවලින් පොහොසත් ආහාර ජලය අවශෝෂණය කරන අතර ඒ මඟින් නිතර නිතර කුසගින්න ඇතිවීම වළක්වනවා.

 MRI News