2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

යකා නටන පුත්‍රයා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 453

අද මා කතා කරන්නේ මාපියන්ගේ අයහපත් හැසිරීම් නිසා දරුවන් ගොදුරුවන මානසික රෝගී තත්ත්වයක් පිළිබඳව. විශේෂයෙන්ම අම්මා තාත්තා අතර රණ්ඩු දබර, දෙදෙනා වෙන්ව සිටීම, කතා නොකර සිටීම වැනි පරිසරයක් තුළ දරැවන් දුකෙන් තරහෙන් වියරුවෙන් තම හැඟීම් පිට කරන්න උත්සාහ දරනවා දකින්න පුළුවන්. අද මා කතා කරන දරුවත් එවැනිම පරිසරයක් නිසා ජීවිතය පිළිබඳ අර්ථ විරහිතව බැලූ අයෙක්. ඔහු කන්ඩක්ට්ඩිසෝඩර් රෝග තත්ත්වයට ගොදුරැ වූවෙක්. මෙම රෝගයේ ලක්ෂණ තමයි සොරකම් කිරීම, බොරු කීම, අනෙක් අයට කරදර කිරීම, හිතුවක්කාර ගති ඇති කරගැනීම, අමතක වීම වගේ ලක්ෂණ. 

මේ රෝගයට ගොදුරු වූ උපුල් ගේ වයස අවුරුදු 12 යි. ඔහු කොළඹ ප‍්‍රධාන පාසලක ඉගෙනුම ලැබුවා. ඔහුගේ පියා උපුල් අප වෙත ගෙන ආවේ උපුල්ට තිබූ මෙවැනි චර්යාවන් නිසා. අවුරුද්දක වගේ කාලයක සිට උපුල්ගේ හැසිරීම හරිම ප‍්‍රචණ්ඩකාරී. ඔහු මවට කිසිසේත්ම ලැදි නෑ. ඉක්මනට කේන්ති ගන්නවා. අතට අසුවූ  ඕනෑම දෙයකින් ඔහු මවට හෝ පියාට පහර දෙනවා. ඒ වගේම ළඟදී දවසක උපුල්ගේ පියා කාර්යාලයට ගිය පසු ඔහුට දුරකථනයෙන් කතාකර තාත්තා අද හවස 5 වනවිට ගෙදර එන්න ඕනෑ කියා පවසා තිබුණා. ඒ වගේම උපුල්ගේ පියාට වෙලාවට ඒමට නොහැකි වුණොත් ඔහු කරන දෙය බලාගන්න පුළුවන් ලෙස තර්ජනය කර තිබුණා එදා ගොඩක් කාර්යබහුල වූ නිසා උපුල්ගේ පියාට ඒ වේලාවට නිවසට එන්න බැරිවෙලා. ඔහු නිවසට එනවිට හවස 6.30 වෙලා. මින් කෝප වූ උපුල් පියාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහුගේ ටයිප්රයිටරය හා කම්පියුටරය පොළවේ ගැසුවා. මේ සිදුවීමෙන් උපුල්ගේ පියාට රුපියල් ලක්ෂයකට වැඩි අලාභයක් සිදු වී තිබුණා.

උපුල්ගේ මව ඒ ගෙදර පරිසරය පිළිබඳව පැවසුවේ මෙවැනි දෙයක්. උපුල්ට ගොඩක් තරහ යනවා. අතට හසු වූ  ඕනෑම දෙයක් එයා විසි කරනවා. තරහ වැඩි වුණාම බිත්තියේ ඔළුව ගසා ගන්නවා. අපට නිතරම පරුෂ වචනයෙන් බනිනවා. පංති කාමරයේත් හරිම මුරණ්ඩුයි. ළමයි එක්ක රණ්ඩු කරනවා කියලා විදුහල්පතිත් පැවසුවා. සතුන්ටත් හරියට හිංසා කරනවා. අපේ ගෙදර මාළු ටැංකියක් තිබුණා. ඒකෙ මාළුවා මැරීමට තද කරගෙන සිටියා. මාළුවා මැරුණාම ඔහු සතුටු වුණා. ඒ වගේම තාත්තාගෙන් මුදල් සොරකම් කරන බව මට අහු වුණා. එයා යාළුවොත් එක්ක සිගරට් බොනවා. ඒ වගේම ළඟ තියෙන ඉන්ටර්නෙට් කැෆේවලට ගිහින් වීඩියෝ ගේම් ගහන්න පුරුදු වෙලා. දවසක් උපුල් ගෙදරින් අතුරුදන් වුණා. අපි එයාව හැමතැනම හෙව්වා. පස්සේ අපි දැනගත්තා උපුල් යාළුවෙක්ගෙ ගෙදර ගිහින් එයාලත් එක්කම කතරගම ගිය බව. එයා කිසිම බයක් නැතිව බොරු කියනවා. ඒ වගේම පාසලේ පාඩම් වැඩ අතපසු කරන බව එයාගේ ගුරැතුමිය කිව්වා. හැමතැනම ඇවිදිනවා. කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.

උපුල්ගේ පියාගේත් මවගේත් කතාවලට කන්දුන් මා ඊළඟට උපුල්ට කතා කළා. ඔහු මට පැවසුවේ මේ වගේ දෙයක්. 

මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු උදේ පාන්දර ගෙදරින් ගියාම ආපසු ගෙදර එන්නේ රාත‍්‍රි 8.00ත් පහුවෙලා. තාත්තා එයාගේ ව්‍යාපාරවල නියැලෙනවා මිස අපිත් එක්ක ගත කරන්න වෙලාවක් නැහැ. තාත්තා හවසට ගෙදර එන්නේ හරිම මහන්සියෙන්. ඔහුට හරියට කේන්ති යනවා. අම්මත් එක්ක රණ්ඩු නොවන දවසක් දැකලම නෑ. අම්මට බණිනවා. අම්මට ගහනවා. නිතරම අම්මා ගැන සැකයෙන් කතාකරනවා. අම්මත් තාත්තා දිහා බලන්නේ සැකයෙන්. සමහරදාට තාත්තා ගෙදර එද්දි රාත‍්‍රි 10, 11 වෙනවා. තාත්තාට අපත් එක්ක ඉන්න වෙලාවක් නෑ. ඒත් එයා මා ඉල්ලන  ඕනෑම දෙයක් අරගෙන දෙනවා. මම ළඟදි කම්පියුටරයක් ඉල්ලුවා. මට රුපියල් එක් ලක්ෂ පනස්දහසක් දීලා කම්පියුටරයක් අරගෙන දුන්නා. ඒත් මට මොන දෙයක් අරගෙන දුන්නත් මාත් එක්ක කතා කරන්න එයාට වෙලාවක් තිබුණේ නෑ. තාත්තා හවසට ක්ලබ් යනවා. සමහර දාට මාත් එක්ක යනවා. ඔහු ක්ලබ් එක ඇතුළට ගියාම මම තනියම ඩ‍්‍රයිවර්ත් එක්ක වාහනේට වෙලා ඉන්නවා. ආපහු ගෙදර යන්නේ රෑ 1ට 2ට. මට කිසිම විනෝදාංශයක් නැහැ. මම පාසල් ගියාට තාත්තලා ඉස්කෝලෙට ඇවිත් මා මොනවද කරන්නේ කියලා හොයන්නේ නෑ. අම්මයි තාත්තයි එක්ක ෆිල්ම් එකක්වත් බලන්න යන්න වෙලාවක් නෑ.

අම්මත් සැලුන් එකක් කළා. ගෙදර එද්දී රෑ වෙනවා. එයාලා ජීවත් වුණේ ලෝක දෙකක. මට ලොකු තනිකමක් දැනුණා. මේ ලෝකේ මා තනිවෙලා. මට කවුරුවත්ම නෑ කියලා හිතුණා. හැබැයි මට ඕනෑම දෙයක් තිබුණා. ඕනෑම දෙයක් කරන්න මට අසීමිත නිදහසක් තිබුණා. නමුත් මට අම්මගේ තාත්තගේ ආදරේ ඕනෑ වෙලාවට ලැබුණේ නෑ. මට ඉක්මනට කේන්තියනවා. ඒ වගේම මට පළිගැනීමේ චේතනාවක් තිබුණා. මේ නිදහස මට වැඩක් නෑ.

උපුල් උපුල්ගේ සිතේ තිබුණ බොහෝ දේ අපට පැවසුවා. මේ කතාවේ අපට හිතන්න ප‍්‍රධාන කරුණු දෙකක් තිබුණා. මේ වගේ අවස්ථාවක් සම්බන්ධව ඩයනා බබුරන් කියන අ‍මෙරිකානු මනෝවිද්‍යාඥයා පරීක්ෂණ පවත්වලා තිබුණා. ඉන් පැහැදිලි කර තිබුණේ මව්පියන්ගේ හැසිරීම් රටා දරුවන්ට බලපාන ආකාරය පිළිබඳවයි. 

මෙවැනි පරිසරයකදී මවුපියන් දරුවාගේ හැසිරීම් ක‍්‍රියාකලාපයන් හා මානසික අවශ්‍යතා පිළිබඳ කිසිදු සොයා බැලීමක් කරන්නේ නැති බව පෙනී යනවා. දරුවා සතුටු කිරීමට ඔවුන්  ඕනෑම දෙයක් ලබාදෙනවා. ඒ වගේම මව්පියන් අතර ඇති සම්බන්ධතාව අඩු නිසා දරුවාට නිවසේ ආගන්තුක හැඟීමක් දැනෙනවා. දරුවාට ඔහු පවුලේම සාමාජිකයකු ලෙස සිතීමට නොහැකි වෙනවා. මේ වගේ හේතු නිසා එවැනි දරුවන්ට හැඟීම් පාලනය කර ගැනීමට අපහසුවෙනවා. පොඩ්ඩක් තරහගියත් ඔහුට ඒ තරහ පාලනය කරගැනීමට නොහැකිව කෑගසමින් බඩු පොළවේ ගහමින් වියරු ලෙස හැසිරෙනවා. ඒ වගේම ඔහුට තියෙන්නේ වයසට උචිත නොවන නොමේරෑ සිතුවිලි. වගකීමක් දරන්න බැහැ. අනාගත අරමුණක් නැහැ. විශේෂිත ආසාවක් නැහැ. ඒ වගේම තමන්ට අවශ්‍ය දේ නොලැබුණොත් අනවශ්‍ය ලෙස රණ්ඩුවෙනවා.

මෙවැනි දරුවෝ මානසික අවපීඩනයට ගොදුරැවිය හැකියි. ජීවිතය නැතිකර ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය වගේ දේවලට පෙළඹිය හැකියි. මෙවැනි අසනීපයන් සහිත දරුවෝ අපි කන්ඩක්ට්ඩිසෝඩර් රෝගය වැළඳුනු අය ලෙස හඳුනාගන්නවා. මේ වගේ දරුවෝ ලැබුණහම මෝහනය කිරීම හෝ වෙනත් අපලවලට කියා තෝත්තර කිරීම සුදුසු නැහැ. එවැනි දරුවෝ කවුරු හෝ මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකළ යුතුයි. මුලින්ම මෙවැනි දරුවන්ගේ රෝග ලක්ෂණ සහ සිතුවිලිත් සමඟ ඔවුන් මානසික අවපීඩනයට හෝ විශාදියට ගොදුරැවී සිටිනවද කියා සොයා බැලිය යුතු වෙනවා. ඒ වගේම වෙනත් රෝග ලක්ෂණත් තිබෙනවා ද කියා සොයා බලන්න  ඕනෑ.

උපුල් දෙස බැලුවොත් ඔහුට මානසික අවපීඩනයේ ලක්ෂණ තිබුණා. ඔහුට ජීවිතය එපා වීම, කලකිරීම, ඉගෙනීමට ඇති ආශා නැති වීම වගේ ලක්ෂණ තිබුණා. ඒ සඳහා අප ඔහුට ඖෂධ ප‍්‍රතිකාර ලබාදුන්නා. ඊළඟට ඔහුගේ හැසිරීම් රටා හදන්න මනෝ චිකිත්සක උපදේශනයට යොමු කළ යුතු වුණා. එහි පළමු අදියර ලෙස ඔහුගේ හැසිරීම් රටාව ඔහුටම තේරුම්ගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ඔහුගේ හැසිරීම් නිසා ඔහුට වෙන හොඳ නරක ප‍්‍රතිඵල හා ඉන් අනාගතයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාදුන්නා. ඊළඟට ඔහුගේ සැඟවිලා ඇති දක්ෂතා හඳුනාගත්තා. ඊට පසු ඒ දක්ෂතා ඔස්සේ අනාගතය කරා ගමන් කිරීමට අලුත් අරමුණට යොමු කළා.

මීළඟට අපි කළේ ඔහුගේ මව්පියන්ට අධ්‍යාපනය හා අවබෝධය දීම එනම් මව්පියන් දරුවාට කොහොමද සමීප විය යුත්තේ, ඔහුගේ හැඟීම් සමග කොහොමද ගනුදෙනු කළ යුත්තේ, ඉල්ලන ඉල්ලන දේ අරන් දීම නොවෙයි. දරැවකු සතුටු කිරීමට කළ යුත්තේ දරුවා සමඟ ගත කිරීම. එකට විනෝද ගමන් යාම, දරුවාට ආදරය කිරීම වගේ දරැවාගේ මානසික අවශ්‍යතා සොයා බලා කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කළා. ඒ වගේම අම්මයි තාත්තයි අතර තිබෙන ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර කියලා දුන්නා.

උපුල්ගේ පවුලේ මේ රණ්ඩුවලට හේතුවෙලා තිබුණේ තාත්තා රෑ  බෝවී නිවසට පැමිණීම. ඔහු හිතුවේ නයිට් ක්ලබ් යනවා කියන එක සමාජ තත්ත්වය රැකගන්න හොඳ දෙයක් බව. ඒත් ඒ සිතුවිලි නිසා ඔවුන් ක‍්‍රියාකරන ආකාරයත් ඒ ක‍්‍රියාකාරකම් නිසා පවුලේ අඩදබර ඇතිවන ආකාරයත් ඉන් පවුලේ අසමගිය ඇතිවීම හා දරුවන් පීඩනයට පත්ව ඔවුන්ගේ ජීවිත වැනසී යන ආකාරයත් අවබෝධ කර දුන්නා. මේ කරැණු මේ දෙන්නට හෙමිහිට පැහැදිලි කරලා දීලා මේ අදහස් නිසා ඔවුන්ට ලැබෙන වාසි අවාසි පැහැදිලි කළා. ඔවුන් එය අවබෝධ කරගත්තා. වෙනදට වැඩියෙන් දරැවා සමඟ ගත කරන කාලය වැඩිවුණා. ඔවුන් එකට විනෝද ගමන් ගියා. ගෙදරට වේලාසන ආවා. අම්මයි තාත්තයි ආදරෙන් ජීවත්වෙන්න පටන් ගත්තා. මේ සියලුදේත් සමඟ උපුල්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. ඔහු වාහනවලට ආසයි. අද ඔහු පාසලේ ඒ සම්බන්ධ විෂය කරැණු හදාරනවා. ඔහු තාත්තා දිහා බලන්නෙත් ආඩම්බරයෙන්. ඒ පවුල අද සතුටින් ජීවත්වෙනවා.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00