2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

දියවැඩියාවට හොඳම බේත

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1273

දියවැඩියාව අද බහුලවම පැතිර යන බෝනොවන රෝගයක්. සඳහා ගොදුරු වූ අයට රුධිරයේ සීනි මට්ටම හා රුධිර පීඩනය පාලනය සඳහා මේ ඇති හොඳම විකල්පය ව්‍යායාමයේ යෙදීමයි. මේ සඳහා යකඩ ඔසොවමින් හැල්මේ දුවමින් වෙහෙසකර ව්‍යායාමවල යෙදෙන්නට අවශ්‍ය නැහැ. තමන්ගේ උසට, ශරීර බරට අනුව, වගේම ශරීරයේ සෞඛ්‍ය තත්ත්වය අනුව සලකා බලා වෛද්‍ය උපදෙස් මත නිසි සැහැල්ලු ව්‍යායාමයක නිරත විය යුතුයි. ඒ තමා දියවැඩියාවට හොඳම බේත.

ව්‍යායාම සිරුරේ ශක්තිය දහනය කිරීමටත් බර පාලනය කිරීමටත් උපකාරී වෙනවා. එමෙන්ම මානසික ආතතිය, පීඩනය අඩුකර මනස සැහැල්ලු කරනවා. ඉතා ප්‍රබෝධමත් හැඟීමක් සහිතව ගත කරන්න ඉඩ සලසනවා. ඒ වගේම හොඳින් සුවදායී නින්දකටත් මඟ සලසනවා.

දිනපතා ව්‍යායාම කිරීම මගින් සිරුර ඉන්සියුලින් සඳහා දක්වන සංවේදීතාව වැඩිවෙයි. ඒ වගේම දියවැඩියා බෙහෙත්වල ක්‍රියාකාරීත්වයද හොඳින් පවත්වා ගනියි. එසේම ව්‍යායාම සිරුරේ ලේ ගමන ක්‍රමවත් කර අහිතකර කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පහළ දමයි. එය හෘදය සහ වාහිනී රෝග වැලැක්වීමට හේතුවකි. 

ඉන්සියුලින් ගන්නා රෝගීන් ව්‍යායාමයට අමතරව නිසි ආහාර රටාවක් පවත්වාගන්නටද සැලකිලිමත් විය යුතුයි. ආහාර රටාව නිසි පරිදි තිබ්බත්, ඖෂධ ගත්තත්, ව්‍යායාම නැත්නම් එය ඵලදායක නෑ.

තමන් පරිභෝජනය කරන ආහාර රටාව අනුව ව්‍යායාම හෝ ක්‍රියාශීලීත්වය පවත්වාගත යුතුයි.

සතියකදී වැඩි දින ගණනක්, අවම වශයෙන් මිනිත්තු 30ක් වෙහෙසකර ව්‍යායාමයක යෙදීම වැදගත්. ඒ සඳහා කණ්ඩායමක් ලෙස එක්වීම වඩාත් සාර්ථකත්වයක් උද්යෝගයක් ඇති කරයි.

රූපවාහිනිය, පරිගණක, පොත් පත්තර සඳහා එකතැන සිටින කාලය අඩු කරන්න.

සැලකිය යුතු කාරණාවක් තමා ව්‍යායාම තෝරාගැනීම. එහිදී යම්හෙයකින් ඔබට හෘදය සම්බන්ධ රෝග, අධිරැධිර පීඩනය, පපුවේ අමාරු, කරකැවිල්ල, ක්ලාන්තය, ආතරයිටිස් වැනි රෝග වැළඳී ඇත්නම්, එසේම ඔබ 40ට වැඩි පුරුෂයකු හෝ 50ට වැඩි කාන්තාවක් නම් ව්‍යායාම අරඹන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ආසන්න වශයෙන් කැලරි 150ක් දහනය කරන මධ්‍යම ප්‍රමාණයේ කායික ක්‍රියාකාරකම් මෙන්න

ගෘහස්ත කටයුතු

ජලයෙන් ගෙබිම මිනිත්තු 40ක් පමණ සේදීම

මිනිත්තු 30-40 ක් ගෙවතු වැඩ

මිනිත්තු 45-60 ක් මෝටර් රථයක් සේදීම

තණකොළ කපන යන්ත්‍රය මිනිත්තු 30ක් තල්ලු කිරීම

මිනිත්තු 30ක් ගෙවත්ත ඇමදීම. මිනිත්තු 30ක් කිලෝමීටර 3ක් ඇවිදීම.

මිනිත්තු 18ක් පඩිපෙළ නැගීම

රෝද පුටුවක් මිනිත්තු 30-40 ක් තමන්ම පැදවීම

ක්‍රීඩාශීලී ක්‍රියාකාරකම්

මිනිත්තු 45-60 ක් වොලිබෝල් ක්‍රීඩාව

මිනිත්තු 45ක් පාපන්දු ක්‍රීඩාව

මිනිත්තු 35ක් තුළ කිලෝමීටර් 3ක් හෝ මිනිත්තු 20ක් තුළ කිලෝමීටර් 2ක් ඇවිදීම

මිනිත්තු 30කදී කිලෝමීටර් 8ක් බයිසිකල් පැදීම

මිනිත්තු 30ක් පමණ වේගයෙන් නැටීම

මිනිත්තු 30ක් ජල ක්‍රීඩා හෝ මිනිත්තු 20ක් පිහිනීම

මිනිත්තු 15-20 බාස්කට් බෝල් ක්‍රීඩාව

මිනිත්තු 15කදී කිලෝමීටර් 6.5ක් බයිසිකලේ පැදීම

ස්කිප් ලණුවක් භාවිතයෙන් මිනිත්තු 15ක් ව්‍යායාමය

මිනිත්තු 15ක් තුළ කිලෝමීටර් 2 ½ක් හෝ මිනිත්තු 6කදී කිලෝමීටරයක් දුර දිවීම

 සුගත්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00