2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ජීවිතය අවුල් වුණු පුංචි මේනක

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

මිනිසා මත්පැනට ගොදුරුවීමේ ඉතිහාසය අවුරුදු 10000ක ඈතට දිව යනවා. ඒත් ශ්‍රී ලාංකිකයන් මේ පුරුද්දට ඇබ්බැහි වූයේ 1505 පෘතුගීසීන් ලංකාවට ආවාට පසුවයි. ඉන්පසු ලන්දේසීන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ පුරුද්ද තවදුරටත් ව්‍යාප්ත කරමින් ලෝකය තුළ වැඩියෙන්ම මත්පැන් බොන ජාතියක් බවට අපිව පත් කරලා තියෙනවා.

දෙමාපියන්ගේ බීමත්කම හෙවත් මත්පැනට ගොදුරුවුණු ප්‍රචණ්ඩ පරිසරයක වැඩෙන දරුවා නොයෙකුත් මානසික ගැටලුවලට භාජනය වන බව නොයෙකුත් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. මානසික ආතතිය, අවපීඩනය. හැසිරීම්වල නොයෙකුත් ගැටලු, අධ්‍යාපනික ගැටලු මින් කිහිපයකි.

පුංචි මේනකගේ වයස අවු.10යි. පාසලේ 5 වන පන්තියේ ඉගෙනුම ලබයි. රෝහල් සායනයට මේනක යොමුවූයේ ඔහුගේ මව සමගයි. අකැමැත්තෙන් සායනයට පැමිණ ඇති බව මේනකගේ මූණෙන් ප්‍රකාශ වුණා. එමෙන්ම කලබලකාරී බව සහ නොසන්සුන් බවද ඔහුගෙන් විද්‍යමාන විය.

“මොකද අම්මේ මේ දරුවාට....?”

“අනේ Doctor! මේ බලන්න Report එක හැම විෂයකටම ලකුණු 40ට අඩුයි. ඉස්සර පන්තියේ හොඳට වැඩකරා. ලකුණු 60ක් 70ක් තිබුණා. දැන් නිතරම හිසේ කැක්කුම කියලා ඉස්කෝලෙ යන්නත් බෑ කියනවා. හරිම නොසන්සුන්. හරියට තරහ යනවා. මට තේරෙන්නේ නෑ මේ දරුවට මොනව වෙලාද කියලා. මටත් දැන් කිසිම සැනසීමක් නෑ.”

“ඉතින් කෝ මේ දරුවගෙ තාත්තා....?”

“මම ආස නෑ ඔහු ගැන කතා කරන්න. එයා තවදුරටත් හැදෙන කෙනෙක් නෙවෙයි. හැමදාම බීලා තමයි ගෙදර එන්නේ. ගෙදර ආවම ලොකු රණ්ඩුවක්. මම ගැනවත් දරුවා ගැනවත් කිසිම හැඟීමක් නෑ. තාත්තා ගෙදර එනකොට දරුවා ඉන්නෙ හරිම බයෙන්. මේක ඉතින් මම පෙර කළ කරුමය තමයි.”

මේනකට සිදුවී ඇත්තේ කුමක්ද? මනෝ වෛද්‍ය විද්‍යාව අනුව මේනක කල් පවතින දැඩි ආතතියට ගොදුරු වී සිටින බව පේනවා. පියාගේ මත්පැන් බීමත් නිවස තුළ පවතින ප්‍රචණ්ඩකාරී පරිසරයත් නිසා මේ ආතතියට දරුවා ගොදුරුවෙලා තියෙනවා.
දරුවන් ගොදුරු වන මානසික ආතතියේ අනෙක් රෝග ලක්ෂණ විමසා බලමු.

• නිතර පවතින හිසේ කැක්කුම.

• නින්දේ ගැටලු.

• නුරුස්සනා බව සහ තරහ යාම.

• ඇඟපතේ නිතර ඇතිවන වේදනාව.

• කල්පනාව හා මතක ශක්තිය අඩුවීම.

• පාසල් යාමට මැලිවීම.

මේනක අප සායනයෙන් ප්‍රතිකාර හා උපදේශනය ලබාගෙන සාමාන්‍ය තත්ත්වයට පැමිණියා. නැවත පාසල් යාමට ආශාවද ඇතිවුණා. නමුත් පියාගේ බීමත්කම සහ ප්‍රචණ්ඩකාරී පරිසරය එසේම පැවතුණා. කෙසේ නමුත් මේනකගේ පියාට ලිඛිත පණිවිඩ යැවීමෙන් බොහොම අපහසුවෙන් සායනයට ගෙන්වා ගත්තා.

ඔහු මත්පැනට ඇබ්බැහි වූවෙක්. ඇබ්බැහි වීම යනු මානසික රෝගයකි. රෝහලේ දවස් 7ක් නවතාගෙන “විෂානුහරණය” (Detoxification) නැමති විශේෂ ප්‍රතිකාරය ලබාදුනි. ගිජු සහ ඇබ්බැහිකමෙන් එළියට පැමිණි මේනකගේ පියා උපදේශනයට යොමුකෙරුණි. මත්පැනට ගිජු වූවෙකු ඉන් එළියට ගැනීමට “මිලර් සහ රොනික්” Miller and Rollnick “වෛද්‍යවරුන් සොයාගෙන ඇති මනස දිරිගැන්වීමේ” Motivational Enhancement Therapy ක්‍රමවේදය ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නකි. උපදේශනයෙන් පසු මේනකගේ පියා මත්පැන් ගැනීමද නතර කළේය. ඔහු දැන් තම දරුවා සහ බිරිඳ සමග සතුටින් පවුල් ජීවිතය තුළට ඇතුළු වී ඇත.

අප රටේ ගෘහ ප්‍රචණ්ඩත්වය සමීක්ෂණවලට අනුව 60%කි. ගෘහ ප්‍රචණ්ඩත්වය සමග ප්‍රධානම අනෙක් ගැටලුව වනුයේ මත්පැනට ඇබ්බැහි වීමයි. අපේ දරුවන් බොහෝ දෙනා මානසික අපයෝජනයට ලක්වන්නේ මේ පරිසරය තුළයි. දරුවා ආරක්ෂක අධිකාරියට අනුව වර්ෂයකට ළමා අපයෝජන 10000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ. මෙම බොහෝ අපයෝජන මත්පැන් ආශ්‍රිත ප්‍රචණ්ඩ පරිසරයකින් නිර්මාණය වන බව බොහෝ සමීක්ෂණවලින් පෙනී යයි. දකුණු ආසියාතික රටවලින් මත්පැන් ආශ්‍රිත ගැටලුවලින් ලංකාව දෙගුණයකින් ඉදිරියෙන් සිටින බව වාර්තා වී තිබෙනවා.

ගමේ තිබෙන දුප්පත්කම නැති කිරීමට නම් මහ ලොකු ආර්ථික සැලැස්මවල් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ බුද්ධිමය ප්‍රභාව දියුණු කරන ආකල්පමය වෙනසක් ඇති කරන මනෝ විද්‍යාත්මක වැඩසටහන්ය. මේ සඳහා ඇති ජනාධිපති කාර්යසාධක බළකාය සහ අනෙකුත් සංවිධාන මෙය නිසි ලෙස අවබෝධ කරගෙන තමන්ගේ වැඩසටහන් කරනවාදැයි සැකයක් පවතී.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00