2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

අංශභාගයෙන් බේරෙන්නේ මෙහෙමයි

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1762

දිනෙන් දින වැඩිවෙමින් පවතින සෞඛ්‍ය අවධානමක් ලෙස අංශභාගය නැතිනම් ආඝාතය (stroke) හඳුනාගෙන තියෙනවා. සෞඛ්‍ය සම්පන්න සුව දිවියකට හුරු පුරුදු වීමෙන්ම පමණක් තමන්ගේ සිරුර තුළම තමන්ව සිරකාරයෙක් කරනා ආඝාතය මගින් වැළකි සිටිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. අංශභාගය නැතිනම් ඔත්පලවීම ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන මේ රෝගයේදී සැමවිටම සිදුවන්නේ මොළයේ සෛල මිය යාමයි. මොළයේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය නිසි පරිදි නොලැබී යාම නිසා මේ ලෙස මොළයේ යම් යම් ස්ථානවල සෛල ස්නායු මියයන්නට හැකියි. එවිට සිදුවන්නේ ඒ ස්ථානය මගින් පාලනය කළ ශරීරයේ කොටස් අඩපණ වී යාමයි. 

මොළයේ සෛල මියයාමට හේතුකාරක වන මේ තත්ත්වය ආඝාතය Stroke හැටියට හඳුන්වනවා. එයින් මොළයේ රුධිරවාහිනීවල මේද හෝ රුධිර කැටියක් හිරවීමෙන් සිදුවන අවහිරතාව වඩාත් බහුලව වාර්තාවන තත්ත්වයයි. එය වෛද්‍ය විද්‍යාත්මකව අයිෂැමික් ආඝාත තත්ත්වය (Ischemic Stroke) හැටියට හඳුන්වනවා. ඉක්මණින් රෝහලක් කරා ගියොත් මේ තත්ත්වය නිසා හට ගන්නා අනතුර අවම කරගත හැකියි.

දෙවැනිව වාර්තාවන තත්ත්වය තමා අධික පීඩනය නිසා රුධිර නාලයක් පිපිරී යාමෙන් ඇතිවන අභ්‍යන්තර ලේ ගැලීම. මෙයට නිසි මොහොතේ පිලියම් නොයෙදූ විට මරණය පවා සිදුවිය හැකියි. නමුත් ඇත්තටම අංශභාගය සියයට 80ක්ම වළක්වාගත හැකියි.

ආඝාතය වැළදෙන්නට පෙර රෝග ලක්ෂණ ගණනාවක්ම දකින්නට හැකියි. මේ නිසා එය වෛද්‍යවරයෙකුට පහසුවෙන් හඳුනාගත හැකියි. ඔබ කළයුත්තේ ඒවා ගැන අවධානයෙන් සිට එබඳු ලක්ෂණයක් ගැන සැක සිතූ වහාම රෝහලක් කරා යාමයි. සදා කාලිකව ඇඳට වැටීමෙන් බේරෙන්නට මේ ඉක්මන් පියවර ඔබට උපකාරී වෙනවා.

අංශභාග (Stroke) රෝග ලක්ෂණ
ප්‍රධාන රෝගලක්ෂණ නම් ශරීරයේ එක් පැත්තක අවයව අඩපණ වී යාම.
මුහුණේ පැත්තක් පණ නැතිව ඇදවී කඩා වැටෙන ස්වභාවය.
අත් පා අඩපණ වී යාම, අත් දෙකම ඉහළට ඔසවා බලනවිට එක් අතක් ඔසවාගෙන ඉන්නට අපහසුතාවක් උදාවෙනවා. නැත්නම් පණ නැතිව කඩා වැටෙනවා. අංශභාගය පිළිබඳ අනතුරු හැඟවීමක්.
කථා කිරීමට අපහසුවීම සහ වචන පැටලීම. මේකත් ප්‍රධාන රෝග ලක්ෂණයක්. 
හේතුවක් හිතාගන්නට බැරිව එන අධික හිසරදය.
හදිසියේම පෙනීම අඳුරු වී යාම. මෙය එක ඇසක හෝ ඇස් දෙකේම සිදුවන්නට හැකියි.
හදිසියේ ඇතිවන ඇවිදීමේ අපහසුතාවය, කැරකිල්ල සහ සමබරතාව නැතිව වැටෙන්නට මෙන් යාම.

මෙවැනි තත්ත්වයකදී කළයුත්තේ කුමක්ද?
මෙවැනි තත්ත්වයක් ඇතිවූ වහාම වෛද්‍යාධාර පැතිය යුතුයි. ඔබට මෙබඳු රෝග ලක්ෂණයන් පහළ වූ වේලාව මතක තබාගැනීම බොහෝවිට වැදගත්. එය වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීමේදී ආධාරයක් වෙනවා.
කොහොමද වැළකෙන්නේ.
අංශභාගයට ගොඳුරු නොවී සිටින්නටනම් කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න සුවදායක දිවිපෙවෙතක් හුරුකර ගැනීමයි.
මුලින් කළ යුත්තේ හෘදය සහ රුධිර වාහනි පද්ධතියේ නිරෝගී බව රැකගැනීමයි. මෙහිදී හෘද රෝග අවධානමෙන් වළකින්නට ගන්නා පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කළ යුතුය.
ඒ සඳහා තෙල් අධික ආහාර ලුණු අධික ආහාර සීනි සහිත ආහාරවලින් වැළකීම ඉතාමත් වැදගත්.
අධි රුධිර පීඩනය, නරක LOL කොලොස්ටරෝල් මට්ටම ඉහළ යාම සහ දියවැඩියාව අංශභාගයට උඩගෙඩි දෙන කරුණු. මේ නිසා නිතර වෛද්‍ය පර්යේෂණවලට සහභාගී වී තමන්ගේ රුධිර වහනය, කොලොස්ටරෝල් සහ සීනි මට්ටම පාලනයට පියවර ගත යුතුයි.
දුම්පානය සහමුලින්ම අත්හැරිය යුතුයි.
මත්පැන් පානය ද එසේමයි. වැරදි ලෙස ඖෂධ වර්ග හිතුහැටියේ භාවිතයෙන් අමාරැවේ වැටෙනවා. අලුත් එළවළු පලතුරු වැඩියෙන් ආහාරයට ගත යුතුයි.
මේ සියල්ලටම වඩා වැදගත්වන කාරණය වන්නේ ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීමයි. දිනපතා ව්‍යයාමයේ යෙදීම. ඇවිද යන දුර වැඩි කිරීම ඉතාමත් යෝග්‍යයි. ඔක්සිජන් සිරුරට හොඳින් ලැබෙන පිහිනීම, බයිසිකල් පැදීම, ඇවිදීම වැනි සැහැල්ලු ව්‍යායාමවල යෙදෙන අතරම ශරීරය ශක්තිමත් කරන ව්‍යායාම පන්තියක් සතියකට දෙවරක් හෝ අනුගමනය කිරීම කළ යුතුයි.
දේහ බර නිසිලෙස පවත්වා ගැනීම. ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. තරබාරුව අංශභාගයට ප්‍රබල හේතු සාධකයකි.
මානසික සැහැල්ලුව ඉතා වැදගත් සාධකයක්. ශරීරයේ රසායනික වෙනස්කම් සිදුකරන දියවැඩියා අධි රුධිර පීඩන තත්ත්ව ඇතිකරන මානසික ආතතිය අධිපීඩනය බඳු තත්ත්වවලින් මිදී සිටීම ඉතා වැදගත්.
ජානමය සාධක. පවුලේ යම් අයෙක් අංශභාගයට, හෘදයාබාධයකට, දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධි කොලොස්ටරෝල් වැනි රෝගවලින් පෙලේනම් එබදු අය මේ රෝගයට ගොදුරු වීමේ අවධානම ඉහළයි. එබැවින් එබඳු අය නිසි ලෙස නිසි කලට සෞඛ්‍ය පරික්ෂාවට ලක්වී ආරක්ෂා උපක්‍රම භාවිතය වැදගත් බව මතක තබා ගන්න.

►සුගත් කුලතුංග ආරච්චි

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00