2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

හදවත් පිළිකා ගැන අහලා තියෙනවාද?

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 537

ලේ පිළිකා, මොළයේ පිළිකා, බඩවැල්වල පිළිකා වැනි දේවල් අපි අසා තිබෙනවා. නමුත් හෘද වස්තුවේ පිළිකා ගැන අපි එතරම් අසා නැහැ, ඒ මොකද?

මෙම ලිපියෙන් අපි කතා කරන්නේ ඒ ගැන.

හෘද වස්තුවේත් පිළිකා ඇතිවෙනවා. උදාහරණයකට rhabdomyo sarcoma කියන්නේ හෘද වස්තුවේ ඇතිවන භයානක පිළිකාවක්. නමුත් මෙය ඉතා කලාතුරකින් දකින දෙයක්.

එහෙම හෘද වස්තුවේ දකින්න ලැබෙන පිළිකා බොහොමයක් ශරීරයේ වෙනත් ස්ථානවල හටගෙන, හෘදයට යන ඒවයි. හෘදයේම හටගන්නා පිළිකා දකින්න නැති තරම් දුර්ලභයි. එහෙම වෙලා තියෙන්නේ ඇයි? මේකට හේතුව දැනගන්න පිළිකා ඇතිවෙන්නේ කොහොමද කියලා හොයලා බලමු.

අපේ ශරීරයේ සෛල ට්‍රිලියන 37.2 ක් පමණ තිබෙනවා. අපගේ මෙම සෛල බෙදෙමින් අලුත් සෛල නිපදවනවා. පැරැණි සෛල මියගොස් ඒවා ශරීරයට අවශෝෂණය වෙනවා. නමුත් මෙම සැම ක්‍රියාවලියකම පාලනයක් තිබෙනවා. මෙසේ සෛල බෙදීම පාලනයකින් තොරව සිදු වූ විට එය පිළිකා තත්ත්වයක් ලෙස හඳුන්වනවා. එසේ එකපාරටම පාලනයකින් තොරව  සෛල බෙදීම සිදුවෙන්නේ අපේ DNAවල ඇතිවන සුළු වෙනස්කමක් නිසයි. නමුත් සාමාන්‍යයෙන් එසේ වූ විට එම අසාමාන්‍ය සෛල මියයනවා. නමුත් පිළිකා සෛල එසේ මියයන්නේ නැහැ. දිගටම බෙදෙමින් ප්‍රමාණය වැඩිකර ගන්නවා. එතකොට ඒ බෙදෙන සෛල වලින් හදන්නෙත් පිළිකා සෛල පමණයි.

නැවතත් අපේ මාතෘකාවට ආවොත්, හෘද වස්තුවට බලපාන පිළිකා බොහොමයක් ශරීරයේ වෙන ස්ථාන වලින් හටගෙන හෘදයට බලපාන ඒවා බව මුලින් කිව්වා. එහිදී සිදුවන්නේ සෛල බෙදීමේදී ඇතිවන මෙම පිළිකා සෛල රුධිරය හරහා හෘද වස්තුවට ගොස් පිළිකා ඇති කිරීමයි.

එසේ නම් හෘදය ආරක්ෂාකාරී ඇයි?

අපගේ සෛලවල වර්ණදේහ වලින් භාගයක් අම්මගෙන්ද, ඉතිරි භාගය පියාගෙන්ද ලැබෙනවා. එහෙම නම් අපේ ජාන වෙනස්කම් පසුව සිදුවෙන්න බැහැ. නමුත් ජානවලට වෙනස්කම් ඇති කිරීමට හැකි රසායන ද්‍රව්‍යයන් අපගේ ආහාර වලින් හා පරිසරයෙන් ඇතුළු වෙන්න පුළුවන්. මෙම රසායන ද්‍රව්‍යයන් වැඩිපුරම එකතු වන්නේ අපගේ මේදය තුළයි. නමුත් හෘද වස්තුවේ මේදය ඉතා අඩු ප්‍රමාණයක් පමණයි ඇත්තේ. එසේම හෘදය වටා ඇති ආරක්ෂාකාරී පටලය නිසාත් (pericardium) එසේ හෘදයට පිළිකා සෛලවලට ඇතුළු වෙන්න බැහැ. එම හේතුන් දෙක නිසා අපගේ හෘදය පිළිකාවලින් බොහෝ දුරට ආරක්ෂිතයි.

වෛද්‍ය නාමල් ප්‍රනාන්දු
     මීගමුව දිසා රෝහල 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00